Skip to content

පටුනට යන්න

‘මරණය සදහටම නැති කරනු ලැබේ’

‘මරණය සදහටම නැති කරනු ලැබේ’

මරණය සදහටම නැති කරනු ලැබේ’

කුඩා දැරියක් දිවි නසාගැනීම ගැන පුවත වෙනුවට ඉහත සඳහන් දෙය පුවත්පතක සිරස්තලයක පළ වී තිබෙනවා කියා සිතන්න. කිසිම පුවත්පතක එවන් පුවතක් පළ වී නැති බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ. නමුත් මීට අවුරුදු දහස් ගණනකට පෙර ලියන ලද පොතක මේ වචන සඳහන් වෙනවා. ඒ පොත තමයි බයිබලය.

බයිබලයේ මරණය ගැන පැහැදිලිව විස්තර කරලා තිබෙනවා. අපි මිය යෑමට හේතුව පමණක් නොවෙයි, මිය ගිය අය සිටින තත්වය ගැනත් ඔවුන් වෙනුවෙන් අපට තබාගත හැකි බලාපොරොත්තුව ගැනත් එහි පැහැදිලිව කතා කරනවා. “සදහටම මරණය ගිල දමන්නේය” හෙවත් මරණය සදහටම නැති කරනු ලබන්නේය යන පුවත වාර්තා කිරීමටත් හැකි වන සුවිශේෂී කාලයක් ඉදිරියට උදා වන බවත් එහි පවසා තිබෙනවා.—1 කොරින්ති 15:54.

බයිබලය අපට මරණය ගැන පහදා දෙන්නේ තේරුම්ගන්නට බැරි වචනවලින් නොවෙයි. අපට ඉතාමත් හුරු පුරුදු වචනවලිනුයි. නිදසුනක් හැටියට, කෙනෙක් මිය යෑම “නින්දට” පත්වීමක් බවත්, මිය ගිය අය “මරණයේ සැතපී සිටින” බවත් එහි විස්තර කරනවා. (ගීතාවලිය 13:3; 1 තෙසලෝනික 4:13; යොහන් 11:11-14) තවද මරණය හඳුන්වා දී තිබෙන්නේ ‘සතුරෙකු’ හැටියටයි. (1 කොරින්ති 15:26) ඊටත් වඩා වැදගත් කාරණයක් නම් පහත සඳහන් ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරු බයිබලයේ සපයා තිබීමයි. මරණය නින්දකට සමාන වන්නේ ඇයි? මිනිසුන් මැරෙන්නේ ඇයි? මෙම සතුරාව අන්තිමේදී පරාජය කරන්නේ කෙසේද?

අපි මැරෙන්නේ ඇයි?

දෙවි මුල් මිනිසා වූ ආදම්ව මවා පාරාදීස උයනක ඔහුව පදිංචි කරවූ ආකාරය ගැන බයිබලයේ පළමු පොතේ සඳහන් වෙනවා. (උත්පත්ති 2:7, 15) ඔහුගේ ජීවිතයේ ආරම්භයේදීම දෙවි ඔහුට යම් යම් කාර්යයන් කිරීමට පැවරුවත්, එක්තරා නීතියකට ඔහු යටත්ව සිටිය යුතු වුණා. ඒදන් උයනේ එක්තරා ගසක් සම්බන්ධයෙන් දෙවි ඔහුට පැවසුවේ මෙයයි. “[එයින්] නොකන්න. මක්නිසාද එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ඔබ නසින්නෙහිය.” * (උත්පත්ති 2:17) මේ නිසා, ආදම් තේරුම්ගත්තා එයින් ඔහු කෑවොත් ඔහු අනිවාර්යයෙන්ම මැරෙන බව. දිව්‍ය නීතිය කඩ කිරීම නිසා අත් වූ ප්‍රතිඵලය මරණයයි.

ආදම් සහ ඔහුගේ භාර්යාව වූ ඒව අකීකරු වුණා. ඔවුන් තම මැවුම්කරුගේ කැමැත්ත නොසලකාහැරිය නිසා එහි දුක්ඛිත ප්‍රතිඵල නෙළාගන්නට ඔවුන්ට සිදු වුණා. පාපය නිසා විඳින්නට සිදු වන ඵල විපාක ගැන සඳහන් කරමින් දෙවි ඔවුන්ට මෙසේ පැවසුවා. “ඔබ ධූලිය. ධූලියට හැරී යන්නෙහිය.” (උත්පත්ති 3:19) ඔවුන් අසම්පූර්ණ පව්කාර මිනිසුන් බවට පත් වුණා. ඔවුන්ට මරණය විඳින්නට සිදු වුණේ ඔවුන්ගේ අසම්පූර්ණකම හෙවත් පව්කාරකම නිසයි.

මෙම අසම්පූර්ණකම හෙවත් පාපය ආදම් සහ ඒවගේ දරුවන්ටත් මුළු මිනිස් සංහතියටත් උරුම වුණා. එක් අතකින් බලන කල, එය හරියට පරම්පරාගත රෝගයක් වගෙයි. මරණයෙන් තොර ජීවිතයක් ගත කිරීමට ආදම් තමාට තිබූ ප්‍රස්තාව අහිමි කරගත්තා විතරක් නොවෙයි, ඔහු තමන්ගෙන් පැවතෙන්නන්ටත් තමාගේ අසම්පූර්ණකම උරුම කළා. මේ නිසා මිනිස් පවුලම පාපයේ වහල්ලු බවට පත් වුණා. බයිබලයේ ඒ ගැන පවසන්නේ මෙහෙමයි. “එක් මිනිසෙකුගෙන් ලොවට පාපයත්, පාපය නිසා මරණයත් ඇතුල් වුණාක් මෙන් සියලුදෙනාම පව් කළ බැවින් මරණය සියලුදෙනා කෙරෙහි පැතිර ගියේය.”—රෝම 5:12.

‘ලොවට පාපය ඇතුල් වුණා’

පාපය කියන්නේ කුමක්ද කියා අපි සලකා බලමු. අපි සියලුදෙනාටම දෙවි බලාපොරොත්තු වන ලෙස ජීවත් වීමටත්, ඔහුගේ උසස් සදාචාර ප්‍රමිති සියයට සීයක් සම්පූර්ණයෙන් පැවැත්වීමටත් නොහැකියි. මීට හේතුව අපගේ මුල් දෙමාපියන් වන ආදම් සහ ඒවගෙන් පාපය උරුම වී තිබීමයි. අපි දුක් වේදනා විඳ මිය යන්නෙත් මේ නිසයි. එහෙත්, දෙවි මේ සඳහා යම් විසඳුමක් සැලසුම් කළ බව බයිබලයේ අපට හෙළි කරනවා. යේසුස්ගේ ගෝලයෙකු වූ පාවුල් එය පැහැදිලි කළේ මෙහෙමයි. “පාපය සඳහා ගෙවන කුලිය නම් මරණයය. නමුත් අපේ ස්වාමීන් වන ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් දෙවි දෙන තෑග්ග නම් සදාකාල ජීවනයය.” (රෝම 6:23) කොරින්තිවරුන්ට ලියන ලද තම ලිපියේ පාවුල් ඒ කාරණය ගැන මෙලෙසත් පැවසුවා. “ආදම් තුළ සියල්ලන් මැරෙන්නාක් මෙන්, ක්‍රිස්තුස් තුළ සියල්ලෝ ජීවත් කරනු ලබන්නෝය.”—1 කොරින්ති 15:22.

මේ නිසා පාපය සහ මරණය ඉවත් කිරීමෙහිලා යේසුස් ක්‍රිස්තුස් ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව පාවුල් පැහැදිලි කළා. තමා පොළොවට පැමිණියේ “බොහෝදෙනෙකු වෙනුවෙන් තම ජීවිතය මිදීමේ මිලයක් ලෙස දීමට” බව යේසුස් ප්‍රකාශ කළා. (මතෙව් 20:28) අප සිටින තත්වය, කෙනෙකුව පැහැරගෙන ගිය අවස්ථාවකට සමාන කරන්න පුළුවන්. කෙනෙකුව පැහැරගෙන ගිය කල්ලියක් එම තැනැත්තාව නිදහස් කිරීම සඳහා ඔහුගේ ඥාතීන්ගෙන් මුදලක් ඉල්ලනවා වගේ දෙයකට මෙම තත්වය සමාන කරන්න පුළුවන්. මිනිස් වර්ගයා දැන් සිටින තත්වය ගැන කල්පනා කරන විට, මිනිසාව පාපයෙන් හා මරණයෙන් නිදහස් කරන්නට මිලක් ගෙවන්න අවශ්‍ය වුණා. ඒ මිල වන්නේ යේසුස්ගේ පරිපූර්ණ මිනිස් ජීවිතයයි. *ක්‍රියා 10:39-43.

මනුෂ්‍ය වර්ගයාව ගලවාගැනීම සඳහා තම ජීවිතය පූජා කිරීමට දෙවි සිය පුත්‍රයාව මේ පොළොවට එව්වා. “දෙවි ලෝකයට මොන තරම් ප්‍රේම කළාද යත්, ඔහු තමාගේම ඒකජාතක පුත්‍රයාව දුන්නේය. එසේ කළේ ඔහු කෙරෙහි ඇදහිල්ල පෙන්වන සැමදෙනාම . . . සදාකාල ජීවනය ලබන පිණිසය.” (යොහන් 3:16) තම ජීවිතය පූජා කිරීමට පෙර, ක්‍රිස්තුස් ‘සත්‍යය ගැන සාක්ෂි දැරුවා.’ (යොහන් 18:37) තවද යේසුස් තමාගේ දේවසේවයේදී මරණය පිළිබඳ සත්‍යය හෙළි කිරීමට යම් යම් සිද්ධීන් ප්‍රයෝජනයට ගත්තා.

‘දැරිය නිදා සිටිනවාය’

යේසුස් පොළොව මත විසූ කාලයේදී මරණය කියන දේ ඔහුට නුහුරු නුපුරුදු දෙයක් නොවෙයි. වියෝ දුකින් පෙළෙන්නන්ගේ දුක ශෝකය ඔහුට හොඳට දැනුණා. ඒ විතරක් නොවෙයි, තමාද වැඩි කල් නොගොස් මරණයට පත් වන බවත් ඔහු හොඳින් දැන සිටියා. (මතෙව් 17:22, 23) පෙනෙන විදිහට, ඔහුගේ කිට්ටු මිතුරෙකු වූ ලාසරුස් මිය ගියේ යේසුස් මිය යෑමට මාස කිහිපයකට පෙරාතුවයි. ලාසරුස්ගේ මරණයේදී සිදු වූ දේ හොඳින් බලන විට අපිට පුළුවන් යේසුස් මරණය ගැන දැක්වූ ආකල්පය කොයි වගේද කියා දැනගන්න.

ලාසරුස්ගේ මරණය ගැන ආරංචි වීමත් සමඟම, යේසුස් මෙසේ පැවසුවා. “අපේ මිත්‍ර ලාසරුස් නිදාගෙන සිටියි. නමුත් මම ඔහුව නින්දෙන් අවදි කරන්න එතැනට යමි.” ඔහුගේ ගෝලයන් සිතුවේ ලාසරුස් නින්දෙහි විවේක ගනිමින් සිටිනවා නම් ඔහුට සනීප වෙයි කියායි. එවිට යේසුස් ඔවුන්ට කෙළින්ම මෙසේ කීවා. “ලාසරුස් මිය ගොස් ඇත.” (යොහන් 11:11-14) යේසුස් මරණය නින්දක්යයි තේරුම්ගෙන සිටි බව මින් මනාව පැහැදිලි වෙනවා. මරණය කියන්නේ මොකක්ද කියා තේරුම්ගැනීමට අපට අමාරු වෙන්න පුළුවන්. නමුත් අපි හොඳින් දන්නවා නින්ද යනු කුමක්ද කියා. රාත්‍රියේ සුව නින්දක පසු වන විට, අපට කාලය ගත වෙනවා තේරෙන්නේ නැහැ. ඒ වගේම අප අවට කුමක්ද සිදු වෙන්නේ කියා අපි දන්නෙත් නැහැ. මන්ද අපි සිටින්නේ තාවකාලිකව සිහි නැති තත්වයකයි. මළ අය සිටින තත්වය ගැන බයිබලය විස්තර කරන්නෙත් ඒ විදිහටයි. දේශනාකාරයා 9:5හි මෙසේ කියනවා. “මළාහු කිසිවක් නොදනිති.”

තවද යේසුස් මරණය නින්දකට සමාන කළේ මිනිසුන්ව මරණයෙන් නැවත නැඟිටුවීමට හැකි නිසයි. එය සිදු වෙන්නේ දෙවිගේ බලයෙන් නිසා අපට ඒ ගැන දෙවිට ස්තුතිවන්ත විය හැකියි. එක් දවසක් යේසුස් එක්තරා නිවසකට ගිය අවස්ථාවේදී ඒ ගෙදර කුඩා දියණියක් මිය ගොස් සිටියා. ඇගේ දෙමාපියන් සිටියේ ඉමහත් ශෝකයෙන්. “දැරිය මැරිලා නැත. ඈ නිදා සිටිනවාය” කියා යේසුස් පැවසුවා. පසුව ඔහු දැරියගේ මිනිය වෙතට ගොස් ඇගේ අත ඇල්ලුවාම ඇය “නැඟිට්ටා.” වෙනත් වචනවලින් කියනවා නම් ඇය මළවුන්ගෙන් නැඟිට්ටා.—මතෙව් 9:24, 25.

යේසුස් ඔහුගේ මිත්‍ර ලාසරුස්ව මරණයෙන් නැඟිට්ටෙව්වෙත් ඒ විදිහටමයි. ඒ ප්‍රාතිහාර්යය සිදු කිරීමට පෙර යේසුස් ලාසරුස්ගේ සහෝදරිය වූ මාර්තාට පැවසුවේ මෙසේයි. “ඔබේ සහෝදරයා නැඟිටින්නේය.” ඇය ඉතා තද විශ්වාසයකින් කීවේ “අන්තිම දවසේ නැවත නැඟිටීමේදී ඔහු නැඟිටින බව මම දනිමි.” (යොහන් 11:23, 24) දෙවිගේ සේවකයන් සියල්ලන්ම අනාගතයේ යම් දවසක නැවත නැඟිටිනු ඇතැයි මාර්තා විශ්වාස කළ බව මින් පැහැදිලිව පේනවා.

නැවත නැඟිටීම කීමෙන් හරියටම අදහස් කරන දේ කුමක්ද? “නැවත නැඟිටීම” (ආනාස්ටාසිස්) සඳහා දී ඇති ග්‍රීක වචනයෙන් අදහස් කරන්නේ කෙනෙක් “නැඟිට සිටීම” යන්නයි. ඉන් මරණයෙන් නැඟිටීම අඟවනවා. මෙය ඇතමුන්ට විශ්වාස කිරීමට බැරි දෙයක් වෙන්න පුළුවන්. නමුත් මළවුන්ට තම කටහඬ ඇසෙන අවස්ථාව ගැන සඳහන් කරමින් යේසුස් පැවසුවේ “මේ ගැන මවිත නොවන්න” කියායි. (යොහන් 5:28) යේසුස්ම පුද්ගලයන් කිහිපදෙනෙක්ව නැවත නැගිට්ටෙව්වා. මේ නිසා දෙවිගේ මතකයේ සිටින මළවුන්ව දීර්ඝ ‘නින්දකින්’ අවදි කරනු ලබන බවට බයිබලයේ දී ඇති පොරොන්දුව අපට විශ්වාසයි. එළිදරව් 20:13හි මෙසේ පුරෝකථනය කර තිබෙනවා. “මුහුද එහි සිටි මළවුන්ව භාර දුන්නේය. මරණය සහ මිනී වළ එහි සිටි මළවුන්ව භාර දුන්නේය.”

නැවත නැඟිටවනු ලැබූ ලාසරුස් නැවත මිය ගියා. එසේනම්, මෙම මිය ගිය අය නැවත නැඟිටින්නේ ඔහු මෙන් නැවතත් මහලු වී මිය යෑමටද? නැහැ. දෙවිගේ අරමුණ එය නොවෙයි. ‘මරණය තවත් නොවන’ කාලයක් පැමිණෙන බවත්, කිසිම කෙනෙක් මහලු වී මිය යන්නේ නැති බවත් බයිබලය අපට සහතික වෙනවා.—එළිදරව් 21:4.

මරණය යනු සතුරෙක්. ඒ වගේම මිනිස් වර්ගයාට වෙනත් පොදු සතුරන්ද ඉන්නවා. අසනීප හා මහලු වීමත් මිනිස් වර්ගයාගේ සතුරන්. ඊට හේතුව මරණයෙන් වගේම අසනීප වීමෙන් හා මහලු වීමෙන්ද මිනිසුන් දුක් විඳිමයි. මේ සතුරන් සියල්ලන්වම අපෙන් තුරන් කිරීමට දෙවි පොරොන්දු වෙනවා. අන්තිමේදී මිනිස් වර්ගයාගේ ප්‍රධාන සතුරාට වන දේ ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. “ඉන්පසු අන්තිම සතුරා වන මරණය නැති කර දමන්නේය.”—1 කොරින්ති 15:26.

එම පොරොන්දුව ඉෂ්ට වීමත් සමඟම මිනිසුන් පාපයෙන් සහ මරණයෙන් තොර වූ පරිපූර්ණ ජීවිතයක් භුක්ති විඳිනවා. මේ අතර, අප ආදරය කළ මිය ගිය අය නිදාගෙන සිටින බවත් ඔවුන් දෙවිගේ මතකයේ සිටිනවා නම් ඔවුන්ව නියමිත කාලයේදී දෙවි නැවත නැඟිටුවනු ලබන බවත් අපට නිසැක විය හැකියි.

මරණය ගැන නිසි අවබෝධයක් ලැබීමෙන් ජීවිතයට අරුතක් ලැබෙයි

මරණය ගැන සහ මළවුන් සඳහා තිබෙන බලාපොරොත්තුව ගැන නිසි අවබෝධයක් ලබාගැනීමෙන් ඔබ ජීවිතය දෙස බලන ආකාරය වෙනස් විය හැකියි. මීට පෙර ලිපියේ සඳහන් වූ ඉයන්, මරණය පිළිබඳ නිසි අවබෝධය ලබාගත්තේ ඔහුට වයස අවුරුදු 20දීයි. “මගේ තාත්තා කොහේ හරි ජීවත් වෙනවා කියා මට හිතුණා. නමුත් ඒ කොහේද කියලා මම දැනගෙන හිටියේ නැහැ. නමුත් ඔහු මරණය නමැති නින්දේ සැතපී සිටිනවා කියා මම දැනගත්තාම මුලින්ම මට දැනුණේ කලකිරීමක්” කියා ඔහු කියනවා. එහෙත්, මළවුන් සඳහා දෙවි දී තිබෙන පොරොන්දුව ගැන ඉයන් ඉගෙනගත්තාම, තම පියාව නැවත දැකගන්නට හැකි බව දැනගත්තාම ඔහු ඉමහත් ප්‍රීතියට පත් වුණා. “මගේ ජීවිතයේ පළමුවෙනි වරට මට මහත් සැහැල්ලුවක් දැනුණා” කියා ඔහු මතක් කරනවා. මේ අනුව මරණය ගැන නිසි අවබෝධයක් ලැබීමෙන් ඔහුට මානසික සාමයත් සිතේ සැනසීමත් සැහැල්ලුවත් අද්දකින්න පුළුවන් වුණා.

පෙර ලිපියේ සඳහන් පාපන්දු ක්‍රීඩකයන් මුහුණ දුන් හදිසි අනතුරින්, ක්ලයිව් සහ බ්‍රෙන්ඩා යන යුවළට තම 21 හැවිරිදි පුතා ස්ටීවන් අහිමි වුණා. මරණය ගැන බයිබලයේ සඳහන් වන දේ ඔවුන් දැන සිටියත්, තම පුතාගේ හදිසි වියෝවෙන් ඔවුන් ඉමහත් සේ කම්පාවට පත් වෙලයි සිටියේ. ඇත්තෙන්ම කියනවා නම්, මරණය කියන්නේ සතුරෙක්. එය හරිම වේදනාකාරීයි. මරණය ගැන බයිබලයේ කියා ඇති දේ දැනගැනීමෙන් පසුව ටිකෙන් ටික ඔවුන්ගේ ශෝකය තුනී වෙන්නට පටන්ගත්තා. බ්‍රෙන්ඩා මෙසේ කියනවා. “අපි මරණය ගැන හරි අවබෝධයක් ලබාගෙන තිබෙන නිසා යළිත් වරක් ජීවිතය අලුතින් පටන් අරගෙන ඉස්සරහට යන්න අපට පුළුවන් වෙලා තියෙනවා. මොනවා වුණත්, අපේ පුතා නැවත නැඟිටින දවස ගැන අපි හැමදාම හිතනවා.”

“මරණය, ඔබේ විෂ දළ කොතැනද?”

මරණය ගැන නිසි අවබෝධයක් ලබාගැනීමෙන් අපේ ජීවිතවලට අලුත් අරුතක් ලැබෙන බවට කිසිම සැකයක් නැහැ. මරණය පිළිබඳ සත්‍යය අභිරහසක් නොවෙයි. අපට මහත් වේදනාවක් ඇති කරන මරණය කියන සතුරාගෙන් ඉවත් වී අපට නිදහසේ ජීවිතය භුක්ති විඳින්න පුළුවන්. කෙනෙක් මරණය කියන්නේ අපේ අවසානය නොවෙයි කියා දැනගත් පසු “ජීවත් වෙන්නේ ටික කාලයයිනේ. මැරුණායින් පස්සේ සේරම ඉවරයි” කියා සිතමින් සැප සෙල්ලමෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒ වෙනුවට ජීවිතය ගැන බැරෑරුම් ලෙස සිතන්නට දැන් අපිට පුළුවන්. තවද අප ආදරය කළ අය දෙවිගේ මතකයේ සිටිනවාය, ඒ වගේම ඔවුන්ට නැවත නැඟිටීමත් තිබෙනවාය යන්නත් දැනගැනීම නිසා අපි තුළ ජීවත් වීමට තිබෙන ආශාව තවත් වැඩි වෙනවාට කිසිම සැකයක් නැහැ.

ජීවනයේ උල්පත වන යෙහෝවා දෙවි මරණය සදහටම නැති කර දමන කාලය ගැන අපිට ඉතා ආශාවෙන් බලා සිටින්නට පුළුවන්. එදාට අපිට මෙහෙම අහන්න පුළුවන්. “මරණය, ඔබේ ජය කොතැනද? මරණය, ඔබේ විෂ දළ කොතැනද?”—1 කොරින්ති 15:55.

[පාදසටහන්වල]

^ 6 ඡේ. මරණය ගැන බයිබලයේ ප්‍රථම වරට සඳහන් වෙන්නේ මෙතැනයි.

^ 11 ඡේ. මිනිස් වර්ගයාව බේරාගැනීමට මිලක් හැටියට ගෙවීමට සිදු වූයේ පරිපූර්ණ මිනිස් ජීවිතයක්. ආදම්ගෙන් පැවතෙන සියලුදෙනාම අසම්පූර්ණ නිසා කිසිම මිනිසෙකුට එම මිල ගෙවන්න හැකියාවක් තිබුණේ නැහැ. මේ නිසයි, දෙවි තම පුත්‍රයාව ස්වර්ගයේ සිට මේ පොළොවට එව්වේ. (ගීතාවලිය 49:7-9) මේ විෂය පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක් වන සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම පොතේ 7වන පරිච්ඡේදය බලන්න.

[5වන පිටුවේ පින්තූරය]

ආදම් සහ ඒවගේ අකීකරුකම මරණයට හේතු වුණා

[6වන පිටුවේ පින්තූරය]

යේසුස් මිය ගිය දැරියගේ අත ඇල්ලූ විට ඇය නැඟිට්ටා

[7වන පිටුවේ පින්තූරය]

ලාසරුස් නැවත නැඟිට්ටා වගේ, තමන් ආදරය කළ මිය ගිය අය නැවත නැඟිටින තෙක් බොහෝදෙනා බලා සිටිනවා