Skip to content

පටුනට යන්න

යෙහෝවාව සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට අපි ඉගෙනගත්තා

යෙහෝවාව සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට අපි ඉගෙනගත්තා

ජීවිත කතාව

යෙහෝවාව සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට අපි ඉගෙනගත්තා

පැවසුවේ නැටලී හොල්ට්‍රොෆ්

ඒ 1945 ජූනි මාසයයි. ඒ මාසයේ එක් දවසක, සුදුමැලි පෙනුමකින් යුත් මිනිසෙක් අපේ නිවසට ඇවිත් ගේ දොරකොඩ සිටගත්තා. පුදුමයෙන් තිගැස්සී මා දෙසට දිව ආ මගේ බාලම දියණිය වන රූත්, “අම්මා, අන්න කවුදෝ ඇවිල්ලා” කියා කෑගැසුවා. ඒ ඇගේ පියා බව ඇය දැන සිටියේ නැහැ. ඒ මගේ දයාබර සැමියා වන ෆර්ඩිනන්ඩ්. මීට අවුරුදු දෙකකට ඉස්සරවෙලා, ෆර්ඩිනන්ඩ් ගෙදරින් පිටතට ගිය වෙලාවක ඔහුව අත්අඩංගුවට අරන්, නාට්සි කඳවුරකට ගෙනිච්චා. එතකොට රූත් ඉපදිලා දවස් තුනක් විතරයි. නමුත් දැන් සෑහෙන කාලයකට පස්සේ රූත්ට එයාගේ තාත්තාව හම්බ වෙලා. අපේ පවුල ආයෙත් එකතු වෙලා. ඉතින් ෆර්ඩිනන්ඩ්ටයි මටයි කතා කරන්නට හුඟාක් දේවල් තිබුණා!

ෆර්ඩිනන්ඩ් ඉපදුණේ 1909 ජර්මනියේ කීයල් නගරයේ. මම ඉපදුණේ ජර්මනියේ තවත් නගරයක් වන ඩ්‍රෙස්ඩන් නගරයේ 1907දීයි. මට වයස අවුරුදු 12 වෙනකොට තමයි අපිට පළමුවෙනි වතාවට බයිබල් ශිෂ්‍යයන් වශයෙන් එවකට හැඳින්වූ යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව හම්බ වුණේ. වයස අවුරුදු 19දී මම එවැන්ජලිස්ත සභාවෙන් ඉවත් වෙලා මගේ ජීවිතය යෙහෝවාට කැප කෙරුවා.

මේ අතරතුර ෆර්ඩිනන්ඩ් නාවික පාසැලෙන් උපාධි ලැබ නැවියෙක් ලෙස සේවය කරන්න පටන්ගත්තා. ඔහුගේ නාවික ගමන්වලදී ඔහු නිතරම කල්පනා කළ දෙයක් තමයි මැවුම්කරුවෙක් ඉන්නවාද කියන එක. ආපසු ජර්මනියට ගොඩ බැස්ස ඔහු බයිබල් ශිෂ්‍යයෙකු වූ ඔහුගේ අයියාව හමු වෙන්නට ගියා. ඔහුගේ සිතට වද දුන් ප්‍රශ්නවලට පිළිතුරු බයිබලයේ තිබෙන බව ඔහුගේ අයියා සමඟ කතා බහ කළායින් පස්සේ ෆර්ඩිනන්ඩ්ට ඒත්තු ගියා. ඉන්පසු ඔහු ලුතරන් පල්ලියෙන් අයින් වුණා. ඒ වගේම නාවික වෘත්තියෙන්ද ඉවත් වෙන්නට ඔහු තීරණය කළා. දේශනා සේවයේ ගිය පළමු දවසේදීම ඔහුට ලොකු ආශාවක් ඇති වුණා, තමාගේ මුළු ජීවිත කාලය පුරාම දේශනා සේවයේ යෙදෙන්නට. ඒ රාත්‍රියේදීම ෆර්ඩිනන්ඩ් ඔහුගේ ජීවිතය යෙහෝවාට කැප කළා. අන්තිමේදී 1931 අගෝස්තු මාසයේදී ඔහු බව්තීස්ම වුණා.

නැවියෙක් සහ දේශනාකරුවෙක්

වර්ෂ 1931 නොවැම්බර් මාසයේදී, ෆර්ඩිනන්ඩ් නෙදර්ලන්තය බලා දුම්රියකින් ගියේ එහි සිදු වන දේශනා සේවයට සහයෝගය දැක්වීමටයි. එම රටේ දේශනා සේවය සංවිධානය කළ සහෝදරයාට ෆර්ඩිනන්ඩ් පැවසුවා තමා නැවියෙකුව සිටියා කියලා. ඒ සහෝදරයා එකපාරටම කීවා, “ඔයා වගේ කෙනෙක් තමයි අපිට ඇත්තටම දැන් ඕනෑ වෙලා තියෙන්නේ” කියලා. මේ සහෝදරයෝ බෝට්ටුවක් කුලියට අරන් තිබුණා. ඒකෙන් තමයි ඒ රටේ උතුරු ප්‍රදේශයේ ජලාශ්‍රිත ප්‍රදේශවල දේශනා කරන්නට පුරෝගාමීන් (පූර්ණ කාලීන දේවසේවකයන්) කණ්ඩායමක් අරගෙන යන්නට ලැහැස්ති කරලා තිබුණේ. බෝට්ටුවේ ගමන් කරන්නට පස්දෙනෙක් හිටියා. නමුත් ඒ එක් කෙනෙකුටවත් බෝට්ටුව පදවන්නට හැකිකම තිබුණේ නැහැ. ඉතින් ෆර්ඩිනන්ඩ්ව තමයි බෝට්ටුව පදවන්න තෝරාගත්තේ.

මාස හයකට පස්සේ ෆර්ඩිනන්ඩ්ට පුරෝගාමියෙක් ලෙස දකුණු නෙදර්ලන්තයේ ටිල්බර්ග් නුවර සේවය කරන්නට කියා ඉල්ලීමක් කෙරුණා. ඒ කාලයේදී වගේ මමත් පුරෝගාමියෙක් හැටියට ටිල්බර්ග් නගරයේ සේවය කරන්නට ආවා. මට එහිදී ෆර්ඩිනන්ඩ්ව මුණගැහුණා. ඒ එක්කම වාගේ ඒ රටේ උතුරු ප්‍රදේශයේ ගෘවනිනන් නගරයට පදිංචියට යන්න කියා අපෙන් ඉල්ලා තිබුණා. එහිදී අපි 1932 ඔක්තෝබර් මාසයේදී විවාහ වුණා. එහේ පුරෝගාමීන් කිහිපදෙනෙක් පදිංචි වෙලා හිටිය ගෙදරක අපි මධුසමය ගත කළා, පුරෝගාමි සේවය කරන ගමන්ම!

වර්ෂ 1935දී අපේ දුව එස්තර් මෙලොව එළිය දුටුවා. අපිට තිබුණේ ඉතා සුළු ආදායමක්. ඒත් පුරෝගාමි සේවය කරන්නට අපි ගත් අධිෂ්ඨානය අපි අත්හැරියේ නැහැ. අපි එක්තරා ගමක පුංචි ගෙදරක පදිංචි වුණා. මම ගෙදර ඉඳන් මගේ දුවව බලාගන්න අතරතුර මගේ සැමියා පැය ගණනාවක් දේවසේවයේ නිරත වුණා. ඊළඟ දවසේ මමයි සේවයේ ගියේ. එයා ගෙදර ඉඳන් දුවව බලාගත්තා. දුව ලොකු වෙලා දේවසේවයේ අපිත් එක්ක එන්න පුළුවන් වෙන තෙක්ම මේ විදිහට තමයි අපේ දිනචරියාව ගෙවුණේ.

වැඩි කලක් යන්න ඉස්සරවෙලා, යුරෝපයේ දේශපාලන තත්වය එන්න එන්නම දරුණු අතට හැරුණා. ජර්මනියේ සිටි සාක්ෂිකරුවන්ට මුහුණ දීමට සිදු වූ පීඩා ගැන අපිට ආරංචි වුණා. ඊළඟට අපිටත් ඒ තත්වයටම මුහුණ දෙන්න වෙයි කියලා අපිට හිතුණා. අපි කල්පනා කළේ දරුණු පීඩාවලට අපි කොහොම මුහුණ දෙයිදෝ කියලයි. වර්ෂ 1938දී නෙදර්ලන්ත බලධාරීන්, තහනම් නියෝගයක් නිකුත් කළා. ඒකෙන් කියැවුණේ ආගමික ප්‍රකාශන බෙදා දෙමින් ආගමික ප්‍රචාරක කටයුතු කිරීම විදේශිකයන්ට තහනම් බවයි. නෙදර්ලන්ත සාක්ෂිකරුවන් අපිට දුන්නා උනන්දුව දක්වන අයගේ නම් කිහිපයක්. ඉතින් ඒ අයගෙන් කිහිපදෙනෙක් සමඟ බයිබල් පාඩම් පටන්ගන්න අපිට පුළුවන් වුණා. අපිට අපේ දේවසේවය දිගටම කරගෙන යන්න එය ලොකු පිටුවහලක් වුණා.

ඒ කාලයේ, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ සමුළුවක් පැවැත්වීමට නියමිතව තිබුණා. සමුළුව පැවැත්වෙන ස්ථානයට දුම්රියෙන් ගමන් කරන්න අපිට සල්ලි තිබුණේ නැතත්, අපිට ලොකු ආශාවක් තිබුණා කොහොමහරි සමුළුවට යන්න. ඉතින් අපි දවස් තුනක්ම ගියේ බයිසිකලයෙන්. අපේ දුව එස්තර්ව අපි බයිසිකලයේ හැඬලයේ වාඩි කරගෙන තමයි අරගෙන ගියේ. යන පාර දෙපස පදිංචි වෙලා හිටිය සාක්ෂිකරුවන්ගේ ගෙවල්වල තමයි අපි රාත්‍රිය ගත කළේ. මේ විදිහට අපේ පළමු ජාතික සමුළුවට සහභාගි වෙන්න ලැබුණු එක ගැන අපි කොච්චර සන්තෝෂ වුණාද! මේ වැඩසටහනෙන් අපිව හරියට ශක්තිමත් වුණා, ඉස්සරහට තිබෙන පරීක්ෂාවලට මුහුණ දෙන්න. මේ සියල්ලටම වඩා, දෙවි කෙරෙහි දැඩි විශ්වාසයක් තබන ලෙසට අපිට එහිදී මතක් කෙරුණා. ගීතාවලිය 31:6හි සඳහන් “මම යෙහෝවා කෙරෙහි විශ්වාස කරමි” යන වදන් අපේ ආදර්ශ පාඨය බවට පත් වුණා.

නාට්සිවරු අපි පිටුපස

වර්ෂ 1940දී නාට්සිවරු නෙදර්ලන්තය ආක්‍රමණය කළා. ඊට ටික කලකට පස්සේ, ගෙස්ටාපෝ කියන රහස් පොලිසිය, අපිට ලැබුණු බයිබල් පොත් පත් වගයක් තෝරමින් ඉන්නකොට එකපාරටම අපිව වැටලුවා. ඔවුන් ෆර්ඩිනන්ඩ්ව ගෙස්ටාපෝ මූලස්ථානයට අරගෙන ගියා. එස්තරුත් මමත් නිතිපතා එහේ ගියා ඔහුව බලන්න. සමහර අවස්ථාවලදී ඔහුගෙන් ප්‍රශ්න කෙරුණා විතරක් නොවෙයි අපි ඉස්සරහම ඔවුන් ඔහුට පහර දුන්නා. දෙසැම්බර් මාසයේදී ෆර්ඩිනන්ඩ්ව හදිසියේම නිදහස් කෙරුණත්, වැඩි කලක් ඔහුට නිදහසේ ඉන්න ලැබුණේ නැහැ. එක හැන්දෑවක අපි ගෙදර එනකොට අපි දැක්කා ගෙස්ටාපෝ පොලිසියේ කාරෙකක් අපේ ගේ ගාව නවත්වලා තියෙනවා. ෆර්ඩිනන්ඩ්ට එතැනින් පලා යන්න හැකි වුණා. ඊට පස්සේ එස්තරුයි මමයි ගෙට ඇතුල් වුණා. ගෙස්ටාපෝ පොලිසිය අපි එනකම් තමයි බලාගෙන ඉඳලා තියෙන්නේ. ඔවුන්ට වුවමනා කරලා තිබුණේ ෆර්ඩිනන්ඩ්ව. ඒ රාත්‍රියේ ගෙස්ටාපෝ පොලිසිය ගියහම, නෙදර්ලන්ත පොලිසිය ඇවිත් මාව අරන් ගියා ප්‍රශ්න කරන්න. පහුවදා එස්තරුත් මමත් ගිහින් අලුත බව්තීස්ම වූ සාක්ෂිකාර පවුලක් වූ නෝඩර් යුවළගේ ගෙදර හැංගුණා. ඒ අය තමයි අපිට ඉන්න තැනක් හා ආරක්ෂාව ලබා දුන්නේ.

වර්ෂ 1941 ජනවාරි මාස අවසානයේදී පුරෝගාමී යුවළක්ව අත්අඩංගුවට ගත්තා. පසුවදා චාරිකා අවේක්ෂක (සංචාරක දේවසේවකයෙක්) සහ මගේ සැමියා ඔවුන්ගේ නිවසට ගියා ඒ යුවළගේ බඩු මුට්ටු අරගෙන එන්න. නමුත් ගෙස්ටාපෝ පොලිසිය ඔවුන්ටත් ඇහැ ගහගෙනයි හිටියේ. ෆර්ඩිනන්ඩ් කොහොමහරි බේරිලා ඔහුගේ බයිසිකලයෙන් පලා ගියා. නමුත් ඔවුන් චාරිකා අවේක්ෂකව අත්අඩංගුවට අරන් සිරගත කළා.

වගකිව යුතු සහෝදරයන් ෆර්ඩිනන්ඩ්ට කිව්වා චාරිකා අවේක්ෂකගේ පැවරුම භාරගන්න කියලා. ඒ නිසා ඔහුට මාසයකට දවස් තුනකට වඩා ගෙදර එන්න ලැබෙන්නේ නැහැ. මේක අපිට අලුත් අභියෝගයක් වුණා. නමුත් මම දිගටම පුරෝගාමි සේවය කළා. ගෙස්ටාපෝ පොලිසිය සාක්ෂිකරුවන්ව සෙවීම වේගවත් කර තිබූ නිසා, අපිට සිදු වුණා තැනින් තැන පදිංචියට යන්න. අපි 1942දී තුන් වතාවක් අපේ පදිංචිය මාරු කළා. අන්තිමේදී අපි ගිහින් නතර වුණේ රොටර්ඩෑම් නගරයේ. ෆර්ඩිනන්ඩ් දේවසේවය රහසිගතව කරගෙන ගිය ප්‍රදේශයේ ඉඳලා හුඟාක් ඈතකයි ඒ නගරය තිබුණේ. මේ කාලයේදී මට දෙවෙනි දරුවාත් ලැබෙන්න හිටියා. එක්තරා පවුලක් ඉතාම ප්‍රේමණීය ලෙස අපිට උපකාර කළා. ඒ සහෝදර කෙම්ප් සහ ඔහුගේ බිරිඳයි. ඔවුන්ගේ පුතුන් දෙදෙනාව ගාල් කඳවුරුවලට අරන් ගිහින් තිබුණා. මේ යුවළ අපිට ඔවුන්ගේ ගෙදර නතර වෙන්න ඉඩ දුන්නා.

ගෙස්ටාපෝ පොලිසිය යළිත් අපි පිටුපස

වර්ෂ 1943 ජූලි මාසයේ අපේ දෙවෙනි දුව වන රූත් ඉපදුණාට පස්සේ, ෆර්ඩිනන්ඩ්ට හැකි වුණා අපි එක්ක දවස් තුනක් ගත කරන්න. නමුත් ඔහුට ආපහු යන්න සිදු වුණා. ඊට පස්සේ හුඟාක් කාලෙකට අපි ඔහුව දැක්කේ නැහැ. සති තුනකට පස්සේ, ෆර්ඩිනන්ඩ්ව ඇම්ස්ටර්ඩෑම් නගරයේදී අත්අඩංගුවට ගත්තා. ඔහුව ගෙස්ටාපෝ මූලස්ථානයට අරන් ගියාම එහිදී ඔහුව හඳුනාගනු ලැබුවා. ගෙස්ටාපෝ පොලිසිය බලවත් උත්සාහයක් ගත්තා ෆර්ඩිනන්ඩ්ගෙන් තදින් ප්‍රශ්න කරලා අපේ දේශනා වැඩකටයුතු ගැන විස්තර ලබාගන්න. ඒත් ඔවුන්ට ෆර්ඩිනන්ඩ්ගෙන් ගන්න පුළුවන් වුණු එකම තොරතුර වුණේ ඔහු යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් බවත් ඔහු දේශපාලනය අතින් කිසිම දේකට සම්බන්ධ නැති බවත් විතරයි. ජර්මානු ජාතිකයෙකු වූ ෆර්ඩිනන්ඩ් හමුදා සේවයට ගියේ නැති එක ගැන ඉතා කෝප වුණු ගෙස්ටාපෝ නිලධාරීන් රාජ ද්‍රෝහියෙකු හැටියට ඔහුව මරා දමනවා කියා තර්ජනය කළා.

ඊළඟ මාස පහ තුළ, ෆර්ඩිනන්ඩ්ව සිර කුටියක දාලයි තිබුණේ. එහිදී ඔහුට නිතර නිතර තර්ජන එල්ල වුණා වෙඩි තියලා ඔහුව මරා දානවා කියලා. එහෙත්, ඔහු කොහොමවත් යෙහෝවාට තිබෙන පක්ෂපාතකම නැති කරගත්තේ නැහැ. ආත්මිකව ශක්තිමත්ව සිටීමට ඔහුට උපකාරවත් වුණේ දේවවචනය වන බයිබලයයි. සාක්ෂිකරුවෙක් නිසා ෆර්ඩිනන්ඩ්ට බයිබලයක් තබාගන්නට ඉඩ දී තිබුණේ නැහැ. එහෙත්, වෙනත් සිරකරුවන්ට නම් බයිබලයක් ඉල්ලා සිටින්න පුළුවන්කම තිබුණා. ඒ නිසා ෆර්ඩිනන්ඩ් ඔහු සමඟ සිටි සිරකරුවෙකුගෙන් ඉල්ලීමක් කළා, තමාට බයිබලයක් එවන්න කියා ඔහුගේ පවුලේ අයට දන්වා යවන ලෙස. ඔහු ඒ ඉල්ලීම ඉටු කළා. අවුරුදු ගණනාවකට පසුව, ෆර්ඩිනන්ඩ් මේ සිද්ධිය ගැන කතා කළ හැම අවස්ථාවකදීම දීප්තිමත් ඇස්වලින් යුතුව පැවසුවේ, “ඇත්තටම ඒ බයිබලය මට කොච්චර සැනසීමක් වුණාද!” කියලයි.

වර්ෂ 1944 ජනවාරි මාසයේ මුල්භාගයේදී, නෙදර්ලන්තයේ වෝක්ට් නුවර පිහිටි ගාල් කඳවුරකට ෆර්ඩිනන්ඩ්ව හදිසියේම ගෙන ගියා. ඔහු කිසිවිටෙකත් හිතුවේ නැහැ එහිදී තවත් සාක්ෂිකරුවන් 46දෙනෙක්ව ඔහුට හමු වෙයි කියලා. ඇත්තටම මේක හරිම ආශීර්වාදයක් වුණා. ඔහුව වෙනත් තැනකට ගෙන ගියා කියලා මම දැනගත්තහම, ඔහු ඒ වන විටත් ජීවතුන් අතර සිටීම ගැන මට මොන තරම් සතුටක් ඇති වුණාද!

ගාල් කඳවුරේ අත් නෑර දේශනා කිරීම

ගාල් කඳවුරේ ජීවිතය හරිම කටුකයි. බොහෝදෙනෙක් දරුණු මන්දපෝෂණයෙන් පෙළුණා. ඒ වගේම ඔවුන්ට සීතලට අඳින ඇඳුම් තිබුණෙත් නැහැ. ඒ දවස්වල තද සීතලක් තිබුණා. ඒ නිසා ෆර්ඩිනන්ඩ්ට දරුණු විදිහට සෙම්ගෙඩි අමාරුව හැදුණා. නම් හඬගැසීමට සීතලේ එළිමහනේ පැය ගණනාවක් සිටගෙන සිටීමෙන් පසුව ඒ අමාරුව වැඩි වූ නිසා, අසනීපවූවන්ව වෙන් කර තබන කාමරයට ඔහු ගියා. නමුත් ඔහුට එහි රැඳී සිටින්නට ඉඩ ලැබුණේ නැහැ. මීට හේතුව එහි රැඳී සිටීමට අවසර දී තිබුණේ ෆැරන්හයිට් අංශක 104ට හෝ ඊට වඩා වැඩියෙන් උණ තිබුණු අයට විතරයි. නමුත් ෆර්ඩිනන්ඩ්ට උණ තිබුණේ අංශක 102ටයි. ඒ නිසා ආයෙත් ගිහින් වැඩ කරන්න කියා ඔහුට කිව්වා. ඒත්, ඔහු සමඟ වැඩ කළ සෙසු සිරකරුවන් ඔහුට අනුකම්පා කරලා වැඩ කරන අතරතුර, ඔහුව ටිකක් රස්නේ තිබෙන තැනක විටින් විට සඟවලා තිබ්බා. ඒ වගේම පරිසරය ටිකක් උණුසුම් වෙනකොට ඔහුට තවත් සහනයක් දැනුණා. ඒ වගේම, අපේ සමහරක් සහෝදරයන්ට ආහාර ලැබෙනකොට ඔවුන් අනික් අය සමඟ ඒවා බෙදාගත්තා. ඒ නිසා ෆර්ඩිනන්ඩ්ට නැවතත් ටිකක් ශක්තිය ලැබුණා.

මගේ සැමියාව සිරගත කිරීමට පෙර, හැමදාම දේශනා කිරීම ඔහුගේ ජීවිතයේ පුරුද්දක් වී තිබුණා. ඒ නිසා ඔහු කඳවුර තුළ කළෙත් ඔහුගේ විශ්වාසයන් අනික් අය සමඟ බෙදාගන්න එකයි. ඔහුගේ ඇඳුමේ ඔහුව සාක්ෂිකරුවෙකු හැටියට හඳුන්වා දෙන එක්තරා සංකේතයක් තිබුණා. ඒ දම් පාට ත්‍රිකෝණයක්. කඳවුරේ නිලධාරීන් ඒ සංකේතය නිසා ඔහුට සමච්චල් කරමින් එක එක දේවල් කිව්වා. එහෙත් ෆර්ඩිනන්ඩ් ඒ වගේ වෙලාවලදී කළේ ඔවුන්ට සත්‍යය ගැන කතා කරන එකයි. මුලින්ම සහෝදරයන්ට දේශනා කිරීමට ඉඩ ලැබුණේ වැඩි හරියක් සාක්ෂිකරුවන්ව රඳවා තිබුණු හමුදා බැරැක්කවල සිටි අයට විතරයි. ‘අපිට තවත් සිරකරුවන්ට දේශනා කරන්නට පුළුවන් කොහොමද?’ කියා සහෝදරයන් කල්පනා කරන්නට වුණා. මෙයට විසඳුමක් දුන්නේ කඳවුරේ කාර්ය මණ්ඩලයමයි. ඒ අය නොදැනුවත්ම ඒ අය තුළින්මයි මේ විසඳුම ලැබුණේ. ඒ කොහොමද?

සහෝදරයන්ට රහසේම බයිබල් පොත් පත් සහ බයිබල් 12ක් ලැබී තිබුණා. එක් දවසක් මුර භටයන්ට ඉන් සමහරක් පොත් පත් අහු වුණත්, ඒවා කාගේද කියලා සොයාගන්නට ඔවුන්ට බැරි වුණා. ඉතින් කඳවුරේ සිටි නිලධාරීන් සිතාගත්තා, සාක්ෂිකරුවන්ගේ එක්සත්කම බිඳින්න ඕනෑ කියලා. ඒ නිසා, දඬුවමක් හැටියට ඔවුන් කළේ මොකක්ද, සියලුම සහෝදරයන්ව සාක්ෂිකරුවන් නොවන වෙනත් සිරකරුවන් සිටි හමුදා බැරැක්කවල රැඳවීමයි. ඒ විතරක් නොවෙයි, කෑම ගන්නා විට සාක්ෂිකරුවන් නොවන අය සමඟ වාඩිවීමටත් ඔවුන්ට නියම කෙරුණා. මේ සැලැස්ම ඇත්තටම සහෝදරයන්ට හරිම ආශීර්වාදයක් වුණා. මේ නිසා සහෝදරයන්ට පුළුවන් වුණා හැකි තරම් සිරකරුවන්ට දේශනා කරන්න. අන්න ඒකයි සහෝදරයන්ට ඇත්තටම ඕනෑ කරලා තිබුණෙත්.

දියණියන් දෙදෙනාව තනිවම හදා වඩා ගැනීම

මම මගේ දියණියන් දෙදෙනාත් එක්ක ඒ වනකොටත් ජීවත් වෙමින් සිටියේ රොටර්ඩෑම් නගරයේ. වර්ෂ 1943 සහ 1944 අතර කාල වකවානුව තුළ සීත කාලය අතිශයින්ම දරුණු වුණා. අපේ නිවස පිටුපස ජර්මානු සොල්දාදුවන් වැඩ කරන ගුවන්යානා නාශක අවි නිපදවන කම්හලක් තිබුණා. අපේ ගේ ඉදිරිපිට තිබුණේ වෝල් වරාය. ඒක සතුරු හමුදාවන්ගේ ප්‍රධාන ඉලක්කයක් වෙලා තිබුණා. ඒ නිසා, එය නම් සැඟවෙන්න කොහොමටවත් සුදුසු ස්ථානයක් වුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි, අපිට තිබුණු කෑමත් හරි හිඟයි. ඒ නිසා වෙන කවරදාටත් වඩා, අපි යෙහෝවාව සම්පූර්ණයෙන් විශ්වාස කරන්නට ඉගෙනගත්තා.—හිතෝපදේශ 3:5, 6.

වයස අවුරුදු අටක් වූ එස්තර් තමයි, අපේ කුඩා පවුලට කුකුල් මස් සුප් ලබාගන්න පෝලිමේ හිටියේ. හුඟක් අවස්ථාවල පෝලිමේ සිටියත් ඇයට කිසිම ආහාරයක් ලබාගන්න හැකි වුණේ නැහැ. එක් දවසක් ඇය ආහාර ගේන්න ගිය වෙලාවේ ගුවන් ප්‍රහාරයකට මැදි වුණා. වෙඩි සද්දේ ඇහුණාම මම හොඳටම කලබල වුණා. නමුත් ටික වෙලාවකට පස්සේ එස්තර් කිසිම කරදරයක් නැතිව බීට් අල වර්ගයක්ද අතැතිව ගෙදර ආපු වෙලේ තමයි මගේ ඇඟට ලේ ඉණුවේ. “මොකද්ද දුවේ වුණේ?” මට එකපාරටම ඇහුණා. “තාත්තා කියලා තිබුණානේ, බෝම්බ වැටෙනකොට ‘බිම දිගා වෙලා යාච්ඤා කරන්න’ කියලා. ඉතින් මම එහෙම කළා. මට මුකුත් වුණේ නැහැ!” කියා ඇය ඉතා සන්සුන්ව කිව්වා.

මම ජර්මන් කෙනෙක් නිසා, මගේ භාෂා විලාසය හේතුවෙන් මාව ලෙහෙසියෙන්ම හමුදා භටයන්ට අහු වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා එස්තර්ම බඩු ගේන්න කඩපිලට යන එක තමයි වඩාත්ම ආරක්ෂාකාරී දේ වුණේ. ජර්මානු හමුදා භටයන්ගේ අවධානයට මෙය ලක් වුණු නිසා, ඔවුන් ඇයගෙන් ඒ ගැන ප්‍රශ්න කරන්නට පටන්ගත්තා. නමුත් ඇය නෙමෙයි කට වරද්ද ගත්තේ! මම එස්තර්ට ගෙදරදී බයිබලය ගැන ඉගැන්නුවා. ඇයට ඉස්කෝලේ යන්න අවස්ථාව නොලැබුණු නිසා, මමමයි ඇයට ලියන්න කියවන්න පුරුදු කළේ.

දේවසේවය කරද්දිත් එස්තර් මට උපකාර කළා. කෙනෙක් එක්ක බයිබල් පාඩමක් කරන්න යන්න කලින්, කවුරු හරි සැක සහිත කෙනෙක් ඉන්නවද කියලා බලන්න එස්තර් මට කලින් ගියා. මම බයිබල් පාඩම කරන කෙනාට යම් ලකුණක් දීලා තිබුණා. ඒ ලකුණ ඒ විදිහටම තියෙනවාද කියලාත් ඇය බැලුවා. ඒක හරියට මේ වගේ. මං එක්ක පාඩම් කරන කෙනා, එයාගේ ගෙදර ජනෙල් පඩිය උඩ මල් පෝච්චියක් තියලා තිබුණා නම්, ඉන් අදහස් කළේ මට එන්න පුළුවන් බවයි. බයිබල් පාඩම පවත්වන අතරේදී, එස්තර් හිටියේ එළියේ. එයා කළේ කුඩා රූත්ව පොඩි කරත්තෙක නංවාගෙන පාරේ එහාට මෙහාට යන එකයි. ඒ ගමන්ම ඇය සැක සහිත පුද්ගලයන් ගැනත් විපරමින් සිටියා.

සාක්සන්හවුසන් කඳවුරට

මේ අතරතුර ෆර්ඩිනන්ඩ්ට මොකද වුණේ? වර්ෂ 1944 සැප්තැම්බර් මාසයේදී, ඔහු සමඟ තවත් බොහෝදෙනෙක්ව දුම්රිය ස්ථානයකට ගෙනිච්චා. එහිදී සිරකරුවන්ව 80දෙනෙකුගෙන් යුත් කණ්ඩායම්වලට බෙදා දුම්රිය බඩු පෙට්ටිවලට පටවනු ලැබුවා. මේ හැම දුම්රිය පෙට්ටියකටම තිබුණේ පනිට්ටු දෙකයි. එකක් තිබුණේ වැසිකිළියක් හැටියට පාවිච්චි කරන්න. අනික් පනිට්ටුවේ තිබුණේ බීමට වතුර. ගමනට හරියටම දවස් තුනක් ගත වුණත්, ඉඩ තිබුණේ හිටගෙන යන්න විතරයි. හරියට හුස්ම ගන්නවත් ඉඩක් තිබුණේ නැහැ. මේ පෙට්ටිවල දොර ජනෙල් ඔක්කොම වහලයි තිබුණේ. එළිය දැකගත හැකි වුණේ කුඩා සිදුරුවලින් පමණයි. රස්නේ, බඩගින්න, පිපාසය, දුර්ගන්ධය වගේ විඳදරාගන්න තිබුණු දේවල් ගැන නම් කියලා වැඩක් නැහැ!

දුම්රිය ගාට ගාට ඇවිල්ලා අන්තිමේදී නතර වුණේ මහත් අප්‍රසාදයට ලක් වී තිබුණු සාක්සන්හවුසන් ගාල් කඳවුර ළඟයි. සියලුම සිරකරුවන් සන්තකයේ ඉතුරු වී තිබුණු හැම දෙයක්ම ඔවුන්ගෙන් අරගත්තා. ගත්තේ නැත්තේ සාක්ෂිකරුවන් ගෙනාපු කුඩා බයිබල් 12 විතරයි!

ෆර්ඩිනන්ඩ්ව සහ තවත් සහෝදරයන් අටදෙනෙකුව රටේනෝ නගරයේ තිබුණ උපකඳවුරකට යවනු ලැබුවා, යුධ අවි නිපදවීම සඳහා. නිතර නිතර ඔවුන්ට මරණ තර්ජනවලට මුහුණ දෙන්න සිදු වුණත් එම සහෝදරයෝ එහි වැඩ කිරීම ප්‍රතික්ෂේප කළා. ඇදහිල්ලේ ස්ථිරව සිටීම සඳහා ඔවුන් සෑම උදෑසනකම ගීතාවලිය 18:2 වගේ බයිබල් පදයක් කියෙව්වා. මේ නිසා ඒ බයිබල් පදය ගැන මෙනෙහි කරමින් ආත්මික මනසක් ඇතුව මුළු දවස පුරාම සිටින්නට ඔවුන්ට පුළුවන් වුණා.

අන්තිමේදී, විශාල වෙඩි හඬවල් ඇහෙන්න පටන්ගත්තා. ඒකෙන් පැහැදිලි වුණේ මිත්‍ර සහ රුසියානු හමුදා පැමිණෙමින් තිබූ බවයි. රුසියානුවන් මුලින්ම ආවේ ෆර්ඩිනන්ඩ් සහ ඔහුගේ මිතුරන් සිටි කඳවුරටයි. ඔවුන් සිරකරුවන්ට ආහාර ටිකක් දී කඳවුරෙන් පිට වී යන්න අණ කළා. වර්ෂ 1945 අප්‍රියෙල් මාසය අවසාන වෙද්දී රුසියානු හමුදාව ඔවුන්ට ගෙවල්වලට යන්න අවසර දුන්නා.

විසුරුණු පවුල එකතු වෙයි

ජූනි 15වනදා ෆර්ඩිනන්ඩ් නෙදර්ලන්තයට පැමිණියා. ගෘවනිනන් නගරයේ සිටි සහෝදරයෝ ඔහුව පිළිගත්තේ ඉතා උණුසුම් විදිහටයි. ඔහුට දැනගන්න ලැබුණා ගමේ කොහේ හරි අපි ජීවතුන් අතර ඉන්නවා කියලා. ඒ වගේම අපිටත් ආරංචි වුණා ඔහු ඇවිල්ලා ඉන්නවා කියලා. අපි ඔහු එනකම් මඟ බලා හිටියේ හරියට කල්ප ගාණක් බලා සිටිනවා වගේ. අන්තිමේදී එක දවසක් “අම්මා, අන්න කවුදෝ ඇවිල්ලා” කියලා රූත් කෑගැහැව්වා. ඒ ඇවිල්ලා හිටියේ මගේ දයාබර සැමියා සහ දරුවන්ගේ ආදරණීය පියායි!

ආයෙත් පවුලක් හැටියට ජීවිතය පටන්ගන්න ඉස්සරවෙලා ප්‍රශ්න ගැටලු රාශියක් විසඳගන්න අපිට ඕනෑ වෙලා තිබුණා. අපිට ඉන්න තැනක් තිබුණේ නැහැ. ඒ වගේම ලොකුම ප්‍රශ්නය වුණේ පුරවැසිභාවය ලබාගැනීමයි. අපි ජර්මානු ජාතිකයන් නිසා නෙදර්ලන්තයේ නිලධාරීන් අපිව සැලකුවේ පිටස්තරයන් හැටියටයි. එහෙත්, අන්තිමේදී අපිට පුළුවන් වුණා ස්ථිර තැනක පදිංචි වෙලා අපි බොහෝ කාලයක් ආශාවෙන් බලා සිටිය ජීවිතය නැවත පටන්ගන්න. ඒ තමයි, පවුලක් හැටියට යෙහෝවාට සේවය කිරීම.

“මම යෙහෝවා කෙරෙහි විශ්වාස කරමි”

පසු කාලවලදී, ෆර්ඩිනන්ඩුයි මමයි අපි වගේම දුෂ්කරතා වින්ද යහළුවන් සමඟ එකතු වුණහම, එම දුෂ්කර කාලවලදී යෙහෝවා අපිට ප්‍රේමණීයව මඟ පෙන්වූ ආකාරය ගැන සිහි කළා. (ගීතාවලිය 7:1) ගත වූ වසර ගණනාව පුරා දේවරාජ්‍යය සම්බන්ධ වැඩකටයුතුවල හවුල් වීමට යෙහෝවා අපිට අවස්ථාව දීම ගැන අපි හුඟක් සතුටු වුණා. යෙහෝවාගේ පරිශුද්ධ සේවය තුළ අපේ යෞවනය ගත කිරීමට හැකිවීම ගැන අපි කොතරම් සන්තෝෂ වුණාද යන්න ගැනත් අපි බොහෝවිට කතා කළා.—දේශනාකාරයා 12:1

නාට්සි පීඩාවල් තිබූ කාල පරිච්ඡේදයෙන් පසුව, ෆර්ඩිනන්ඩ් සහ මම එකට වසර 50කට අධික කාලයක් පුරා යෙහෝවාට සේවය කළා. වර්ෂ 1995 දෙසැම්බර් 20වනදා ඔහු තමාගේ භූමික දේවසේවය අවසන් කළා. ළඟදීම මට වයස අවුරුදු 98 පිරේවි. මම හැමදාම යෙහෝවාට ස්තුති කරන්නේ එම දුෂ්කර කාලය පුරා අපේ දරුවන් අපිට සහයෝගය ලබා දීම ගැනයි. ඒ වගේම ඔහුගේ නාමය මහිමවත් කිරීම සඳහා ඔහුගේ සේවය තුළ මට තවමත් කරන්න පුළුවන් දේ ගැනත් මම ඔහුට ස්තුති කරනවා. යෙහෝවා මට කර තිබෙන හැම දෙයක් ගැනම මම ඔහුට කෘතඥ වෙනවා. මගේ ආශාව තමයි, “මම යෙහෝවා කෙරෙහි විශ්වාස කරමි” යන මගේ ආදර්ශ පාඨයට අනුව දිගටම ජීවත් වීම.—ගීතාවලිය 31:6.

[19වන පිටුවේ පින්තූරය]

ෆර්ඩිනන්ඩ් සමඟ, 1932 ඔක්තෝබර් මාසයේදී

[19වන පිටුවේ පින්තූරය]

දේශනා කිරීම සඳහා යොදාගත් “ඈල්මීනා” නමැති බෝට්ටුව සහ එහි ගමන් කළ අය

[22වන පිටුවේ පින්තූරය]

ෆර්ඩිනන්ඩ් සහ දරුවෝ