Skip to content

පටුනට යන්න

“බලන්න! මහත් සමූහය!”

“බලන්න! මහත් සමූහය!”

සම්පූර්ණවද, ස්ථිර විශ්වාසයෙන්ද සිටින්න

“බලන්න! මහත් සමූහය!”

යෙහෝවාග් සේවකයන්ට දශක ගණනාවක් පුරා මහත් ප්‍රහේළිකාවක්ව තිබූ ප්‍රශ්නයක් විය. ශුද්ධ ලියවිලිවල උපකාරය ඇතුව එයට විසඳුමක් සෙවීමට දිගු කලක් පුරා මහත් වෑයමක් දරන ලදි. මෙම ප්‍රශ්නය හා සම්බන්ධ විෂය බොහෝ සාකච්ඡාවලට භාජන විය. කෙසේවෙතත්, අවසානයේදී එම ප්‍රශ්නයට බයිබලය මත පදනම් පිළිතුර සොයාගන්නා ලදි. වර්ෂ 1935දී වොෂිංටන්, ඩී.සී.හි පවත්වන ලද සමුළුවකදී එම පිළිතුර දැනුම් දුන් අවස්ථාවේදී, රැස්ව සිටි අය තුළ දරාගත නොහැකි ප්‍රීතියක් ඇති විය.

බොහෝ සාකච්ඡාවලට භාජන වූ ප්‍රශ්න වූයේ, එළිදරව් 7:9හි සඳහන් “මහත් සමූහය” කවුද? මේ ඇදහිලිවන්තයන් කණ්ඩායම ස්වර්ගයේ ජීවත් වනු ඇද්ද? යන්නයි.

දිගු කලක් පුරා පැවති ප්‍රශ්නයක්

“මහත් සමූහය” කවුරුන්ද යන්න පිළිබඳ ප්‍රශ්නය ප්‍රේරිත යොහන්ගේ කාලයේ සිට අපගේ කාලය දක්වා මහත් ප්‍රහේළිකාවක් වී තිබිණ. බයිබල් ශිෂ්‍යයන් මහත් සමූහය සැලකුවේ, බයිබල් සත්‍යය පිළිබඳ දැනුමක් තිබුණත්, එය පතුරුවාහැරීමේ කාර්යයෙහි ජ්වලිතව හවුල් නොවූ ස්වර්ගික ජීවිතය පිළිබඳ අපේක්ෂාවෙන් සිටින පහත් මට්ටමක සිටින කණ්ඩායමක් ලෙසයි.

කෙසේවෙතත් ආලේප ලත් ක්‍රිස්තියානීන් ලෙස සැලකූ ඇතැම් අය දේශනා කිරීමේ කාර්යයෙහි ජ්වලිතව හවුල් වුවත්, ස්වර්ගයට යෑමට කිසිදු බලාපොරොත්තුවක් ඔවුන්ට නොතිබිණ. ඇත්තෙන්ම ඔවුන්ගේ බලාපොරොත්තුව, යෙහෝවාගේ සෙනඟ විසින් 1918 සිට 1922 දක්වා කාලය අතරතුර කැපීපෙනෙන්න සලස්වන ලද ප්‍රසිද්ධ කථාවේදී ඉදිරිපත් කළ කරුණු සමඟ එකඟ විය. එහි මාතෘකාව වූයේ “දැන් ජීවත් වන මිලියන ගණනක්දෙනා කිසිදා මිය නොයනු ඇත” යන්නයි. එම බලාපොරොත්තුව තිබෙන අය පොළොව මත සදාකල් ජීවත් වනු ඇත.

එළුවන් සහ බැටළුවන් පිළිබඳ යේසුස්ගේ උපමාව සාකච්ඡාවට ලක් කර තිබූ 1923 ඔක්තෝබර් 15 වොච්ටවර් කලාපයේ මෙසේ සඳහන් විය. “බැටළුවන්ගෙන් නියෝජනය වන්නේ ආත්මයෙන් උත්පාදනය ලැබූ අය නොව, නමුත් ධර්මිෂ්ඨකමට නැඹුරුවාවක් දක්වන සියලුම ජාතීන්ට අයත් මිනිසුන්ය. මොවුන් ස්වාමීන් වශයෙන් යේසුස් ක්‍රිස්තුස්ව පිළිගන්න අතර, ඔහුගේ පාලනය යටතේ වඩාත් හොඳ කාලයක් අපේක්ෂාවෙන් සිටී.”—මතෙව් 25:31-46.

තව තවත් ආලෝක ධාරා

වර්ෂ 1931දී ප්‍රකාශයට පත් කරන ලද වින්ඩිකේෂන් නමැති පොතේ පළමු කාණ්ඩයේ එසකියෙල් 9වන පරිච්ඡේදය සාකච්ඡාවට ලක් කර තිබූ අතර, ලෝක විනාශයේදී බේරී ජීවත් වීම සඳහා නළලේ ලකුණක් දැමූ අය යේසුස්ගේ උපමාවෙහි සඳහන් බැටළුවන්ට සමාන බව එහි සඳහන් විය. පසුව, 1932දී ප්‍රකාශයට පත් කළ වින්ඩිකේෂන් නමැති පොතේ තුන්වන කාණ්ඩයේ ඉශ්‍රායෙල් ජාතිකයෙකු නොවූ යෙහෝනාදාබ්ගේ අවංක ආකල්පය ගැන විස්තර කර තිබිණ. එදා තිබූ බොරු නමස්කාරය නැති කර දැමීමේදී ඉශ්‍රායෙල්හි අභිෂේක ලත් රජු වූ යේහු විදහාපෙන්වූ ජ්වලිතය දැකබලා ගැනීම සඳහා යේහු සමඟ යෑමට යෙහෝනාදාබ් ඔහුගේ අශ්ව රථයට ගොඩ විය. (2 රාජාවලිය 10:15-28) එම පොතේ මෙසේ සඳහන් විය. “යෙහෝනාදාබ්ගෙන් නියෝජනය වන්නේ, නැතහොත් පෙර ඡායාවක් කොට දක්වන්නේ, දැන් පොළොව මත ජීවත් වන මිනිසුන් කණ්ඩායමකි. ඔවුන් සාතන්ගේ සංවිධානයෙන් ඉවත් වී, ධර්මිෂ්ඨකමේ පැත්ත ගෙන තිබේ. අර්මගෙදොන් යුද්ධය පවතින කාලයේදී ස්වාමීන් ඔවුන්ව ආරක්ෂා කර, පොළොව මත සදාකාල ජීවනයට මඟ පෙන්වනු ඇත. ‘බැටළුවන්ගේ’ කණ්ඩායමට අයත් වන්නේ මොවුන්ය.”

භූමික බලාපොරොත්තුවක් තිබෙන ක්‍රිස්තියානීන් යෙහෝවාට කැප වී බව්තීස්ම විය යුතු බව 1934දී පළ වූ වොච්ටවර් සඟරාවක පැහැදිලි කරන ලදි. එම කාලයේදී භූමික බලාපොරොත්තුවක් තිබෙන මේ කණ්ඩායම සම්බන්ධයෙන් ලැබූ ආලෝකය වෙන කවරදාකටත් වඩා දීප්තිමත් විය.—හිතෝපදේශ 4:18.

අවබෝධය වැඩි කළ දීප්තිමත් ආලෝක ධාරාවක්

එළිදරව් 7:9-17 දක්වා සඳහන් දේවල් තේරුම්ගැනීමට උපකාරවත් වන දීප්තිමත් ආලෝක ධාරාවක් නිකුත් වීමට තිබිණ. (ගීතාවලිය 97:11) වර්ෂ 1935 මැයි 30වනදා සිට ජූනි 3වනදා දක්වා අමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩී.සී.හිදී පැවැත්වීමට කටයුතු පිළියෙළ කර තිබූ සමුළුව ගැන වොච්ටවර් සඟරාව මගින් නිවේදනය කර ලදි. එම සමුළුවේදී යෙහෝනාදාබ්ගෙන් නියෝජනය වන අයට “සැබෑ සැනසිල්ලක් මෙන්ම ප්‍රයෝජන” ලැබෙයි කියා බලාපොරොත්තු වන බව එම නිවේදනයේ සඳහන් විය. ඒ බලාපොරොත්තුව එලෙසම ඉටු විය!

“මහත් සමූහය” නමැති හැඟීම් පුබුදුවාලන තේමාව යටතේ ජේ. එෆ්. රදෆ’ඩ් සමුළුවට පැමිණ සිටි 20,000ක් පමණ පිරිසක්ව ඇමතුවේය. එහිදී ඔහු නවීන දින ‘වෙනත් බැටළුවන්’ එළිදරව් 7:9හි සඳහන් ‘මහත් සමූහයට’ සමාන බව ශුද්ධ ලියවිලි මත පදනම් සාක්ෂි සපයමින් පෙන්වා දුන්නේය. (යොහන් 10:16) මෙම කතාවේ උච්චාවස්ථාවේදී කථිකයා මෙසේ ඇසුවේය. “පොළොව මත සදාකල් ජීවත් වීමේ බලාපොරොත්තුව තිබෙන අයට කරුණාකර සිටගන්න පුළුවන්ද?” රැස්ව සිටි අයගෙන් විශාල පිරිසක් සිටගත් අවස්ථාවේදී, රදෆ’ඩ් මෙසේ පැවසුවේය. “බලන්න! මහත් සමූහය!” මේ අවස්ථාවේදී මීයට පිම්බාක් මෙන් දැඩි නිහඬතාවක් සබයේ තිබුණත්, පසුව මහත් අත්පොළසන් හඬකින් සබයේ සිටි අයගේ ප්‍රීතිය ප්‍රකාශ විය. පසුදින යෙහෝවාගේ සාක්ෂිකරුවන් ලෙස 840දෙනෙකු බව්තීස්ම වූ අතර, මොවුන්ගෙන් බොහෝදෙනෙක් මහත් සමූහයට අයත් වූහ.

කැපීපෙනෙන සංඛ්‍යාවක්

වර්ෂ 1935 වෙද්දී බයිබලයේ පණිවිඩය පිළිගෙන, ශුභාරංචිය ජ්වලිතව දේශනා කරමින් සිටි අයගේ ගණන වැඩි වෙන්න පටන්ගත් අතර, පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමට ඔවුන් තුළ මහත් ආශාවක් තිබිණ. ස්වර්ගික ජීවිතය පිළිබඳ බලාපොරොත්තුව දෙවි ඔවුන් තුළ ඇති කර නොතිබූ නිසා ස්වර්ගයට යෑමට ආශාවක් ඔවුන්ට තිබුණේ නැත. තමන් මහත් සමූහයට අයත් බව ඔවුන් විසින්ම හඳුන්වා දීමෙන් ඇඟවෙන්නේ, 1935 වන විට 1,44,000දෙනාට අයත් ආලේප ලත් ක්‍රිස්තියානීන්ගේ ගණන බොහෝදුරට සම්පූර්ණ වී තිබූ බවයි.—එළිදරව් 7:4.

දෙවන ලෝක මහා යුද්ධය ආරම්භ වූ කාලයේදී මහත් සමූහයට අයත් අයව එක්රැස් කිරීම නවතා දමන්න සාතන් දැඩි ප්‍රයත්නයක් දැරීය. බොහෝ රටවල රාජ්‍යය දේශනා කිරීමේ වැඩකටයුතුවලට සීමා තහංචි පනවනු ලැබීය. එම කාලය පීඩා සහිත කාලයක් විය. සහෝදර ජේ. එෆ්. රදෆ’ඩ් 1942 ජනවාරි මාසයේදී මිය ගිය අතර, ඊට ටික කලකට පෙර ඔහු මෙසේ පැවසුවේය. “පෙනෙන විදිහට ‘මහත් සමූහය’ සිතුව තරම් විශාල නැහැ.”

එහෙත් දෙවිගේ ආශීර්වාදය තිබූ නිසා දේවල් වෙනස් අතට හැරිණ. ආලේප ලත් ක්‍රිස්තියානීන් හා මහත් සමූහය නියෝජනය කරන ඔවුන්ගේ සමීපතම ආශ්‍රිතයන් ‘සම්පූර්ණව හා ස්ථිරව විශ්වාසයෙන් යුක්තව’ ගෝලයන් සෑදීමේ පැවරුම දිගටම ඉටු කරමින් සිටී. (කොලොස්සි 4:12NW; මතෙව් 24:14; 28:19, 20) වර්ෂ 1946 වන විට ලොව පුරා දේශනා කිරීමේ කාර්යයෙහි හවුල් වෙමින් සිටි යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ගණන 1,76,456ක් වූ අතර, ඔවුන්ගෙන් වැඩිදෙනෙක් මහත් සමූහයට අයත් වූහ. වර්ෂ 2000දී ලොව පුරා රටවල් හා දූපත් 235ක 60,00,000කට වැඩි සාක්ෂිකරුවන් පිරිසක් යෙහෝවාට විශ්වාසවන්තව සේවය කරමින් සිටියහ. මොවුන් ඇත්තෙන්ම මහත් සමූහයකි! මොවුන්ගේ ගණන දිනෙන් දින වැඩි වෙමින් පවතී.