Skip to content

පටුනට යන්න

පීඩා ජයගැනීමට වැන්දඹුවන්ට උපකාර කිරීම

පීඩා ජයගැනීමට වැන්දඹුවන්ට උපකාර කිරීම

පීඩා ජයගැනීමට වැන්දඹුවන්ට උපකාර කිරීම

වැන්දඹුවන් පිළිබඳව තිබෙන ප්‍රසිද්ධම කතාවලින් එකකි, රූත් හා ඇගේ නැන්දම්මා වන නායොමි පිළිබඳ බයිබල් වාර්තාව. මෙම ස්ත්‍රීන් දෙදෙනාම වැන්දඹුවන්ය. කෙසේවුවත්, නායොමිගේ සැමියා පමණක් නොව ඇගේ දරුවන් දෙදෙනාද මියගියෝය. ඔවුන්ගෙන් එක්කෙනෙක් රූත්ගේ සැමියාය. ඔවුන් ජීවත් වූයේ බොහෝදුරට පුරුෂයන් අතින් වැඩි මෙහෙවරක් ඉටු වූ කෘෂිකාර්මික සමාජයක බැවින් ඔවුන්ගේ තත්වය ඇත්තෙන්ම ඛේදජනක එකක් විය.—රූත් 1:1-5, 20, 21.

කෙසේවුවත්, නායොමිට අගනා මිතුරියක් මෙන්ම සනසන්නියක් සිටියාය. ඇය වෙන කවුරුත් නොව ඇයව දමා යෑමට අකමැති වූ ඇගේම ලේලිය වූ රූත්ය. කල් යත්ම, නායොමිට “පුත්‍රයන් සත්දෙනෙකුට වඩා [රූත්] යහපත්” බව ඔප්පු වූයේ නායොමි වෙත ඇය දැක්වූ ආදරය නිසාම පමණක් නොව නමුත් ඇය දෙවි කෙරෙහි දැක්වූ ප්‍රේමයද නිසාය. (රූත් 4:15) රූත්ට ඇගේ මෝවබීය පවුල හා මිත්‍රයන් වෙතට ආපසු හැරී යන්නයයි නායොමි කියූ විට, එදා මෙදා තුර පක්ෂපාතකම සම්බන්ධයෙන් ලියැවී ඇති ප්‍රියතම වදන් වැලකින් රූත් පිළිතුරු දුන්නාය. “නුඹ යන තැනට මමත් යමි, නුඹ නවතින තැන මමත් නවතිමි. නුඹේ සෙනග මාගේ සෙනග වන්නේය, නුඹේ [දෙවි] මාගේ [දෙවි වන්නේය]. නුඹ නසින තැන මමත් නැසී, එතැනම තැන්පත්කරනු ලබන්නෙමි. මරණය මිස වෙන කිසිවක් නුඹත් මාත් වෙන්කළොත්, [යෙහෝවා] එසේද ඊට වැඩියෙන්ද මට [කරන්නේයයි] කීවාය.”—රූත් 1:16, 17.

රූත්ගේ ආකල්පය යෙහෝවා නොදැක සිටියේ නැත. ඔහු නායොමිට හා රූත්ට ආශීර්වාද කළ අතර, අන්තිමේදී ඉශ්‍රායෙලිතයෙකු වූ බෝවස් රූත්ව විවාහ කරගත්තේය. යේසුස් ක්‍රිස්තුස්ගේ මුතුන්මිත්තෙකු බවට පත් වූ ඔවුන්ගේ දරුවාව නායොමි බලාගත්තේ තමාගේම දරුවෙකු ලෙසිනි. මෙම ඉතිහාස කතාවෙන් දෙවිට සමීප වන හා ඔහුව විශ්වාස කරන වැන්දඹුවන්ව යෙහෝවා ආදරයෙන් රැකබලා ගන්නා අයුරු මනා සේ පිළිබිඹු වේ. එපමණක්ද නොව, අසීරු තත්වයන්ට මුහුණ පා සිටින වැන්දඹුවන්ට ප්‍රේමනීය ලෙස උපකාර කරන්නන්වද ඔහු අගය කරන බව බයිබලය අපට පවසයි. මෙබැවින්, අප අතරේ සිටින වැන්දඹුවන්ට ආදරෙන් සලකන්න අපට පුළුවන් වන්නේ කෙසේද?—රූත් 4:13, 16-22; ගීතාවලිය 68:5.

මූලික පියවර ගත්තද පාලනය නොකරන්න

වැන්දඹුවකට උපකාර කිරීම සඳහා ඉදිරිපත් වන විට උපකාරය දීමට කැමති කුමන පැත්තෙන්ද කියා පැහැදිලිව පවසන්න. එහෙත් ඇයව පාලනය කිරීමට නොයන්න. “ඔයාට මොනවා හරි ඕනෙ නං මට කියන්න” වැනි අවිනිශ්චිත වදන් පැවසීමෙන් වළකින්න. එවැනි අවිනිශ්චිත වදන් පැවසීම, සීතලෙන් හා කුසගින්නෙන් සිටින කෙනෙකුට කිසි උපකාරයක් නොකර “උණුහුම්වෙන්න, කෑම කා තෘප්තියට පැමිණෙන්න” කියා පවසන්නාක් මෙනි. (යාකොබ් 2:16) බොහෝදෙනෙක් තමන්ට යමක් වුවමනා වූ විට උපකාර නොඉල්ලා එය සිතේ තද කරගෙන දුක් විඳිමින් සිටිති. එවැන්නවුන්ට උපකාර කිරීම සඳහා විචාර බුද්ධිය හා තේරුම්ගැනීමේ ශක්තිය අවශ්‍යයි. අනික් අතට, වැන්දඹුවකගේ ජීවිතය තමන් අතට ගනිමින් අනිසි ලෙස මූලිකත්වය ගෙන ක්‍රියා කිරීමට යෑමෙන් සිත රිදවීම් හෝ ඝට්ටනයන් ඇති විය හැක. මෙබැවින්, අන්‍යයන් සමඟ අප කටයුතු කරන විට සමබර වීමේ අවශ්‍යතාව බයිබලයේ අවධාරණය කෙරේ. අන්‍යයන් කෙරෙහි පරාර්ථකාමී හා පෞද්ගලික උනන්දුවක් දැක්වීමට අපට දිරිගන්වා ඇතත්, අන්‍යයන්ගේ කාරණාවලට ඇඟිලි නොගසා සිටිය යුතු බවද එය අපට සිහිගන්වයි.—පිලිප්පි 2:4; 1 පේතෘස් 4:15.

රූත් නායොමි කෙරෙහි එවන් සමබර ආකල්පයක් විදහාපෙන්වූවාය. රූත් තම නැන්දම්මාට පක්ෂපාතව සිටියාය. එහෙත් ඇයට යම් දේවල් කිරීමට බල කළේ හෝ ඇයව පාලනය කළේ නැත. නායොමිට හා ඇයට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාගැනීම වැනි දේවලදී ඇය නැණවත්ව මූලික පියවර ගත්තත් ඒ සඳහා නායොමි ලබා දුන් උපදෙස්ද පිළිපැදීමට අමතක නොකළාය.—රූත් 2:2, 22, 23; 3:1-6.

ඇත්තවශයෙන්ම, එක්කෙනෙකුට අවශ්‍ය වන දෙයක් තවත් කෙනෙකුට කොහෙත්ම අවශ්‍ය නොවිය හැක. කලින් සඳහන් කළ සැන්ඩ්‍රා මෙසේ පවසන්නීය. “මගේ විපත්තියේදී මට හුඟක් ලැදි, ප්‍රේමනීය මිතුරු මිතුරියන් මාව වට කරගෙන හිටිය නිසා තනිකම මකාගන්න මට පුළුවන් වුණා.” එහෙත් කලින් සඳහන් කළ ඉලේන්ට වුවමනා වූයේ හුදකලාවේ සිටීමටයි. එබැවින්, උපකාර කරනවා කීමෙන් අදහස් කරන්නේ විචාර බුද්ධියෙන් කටයුතු කිරීම මෙන්ම තවත් කෙනෙකුගේ නිදහසට ගරු කරමින් හා අවශ්‍ය අවස්ථාවේදී උපකාර කිරීමට ඉදිරිපත් වෙමින් සමබරතාව පවත්වාගැනීමය.

පවුලේ සාමාජිකයන්ගෙන් උපකාරය

වැන්දඹුවකට උණුසුම්, ප්‍රේමනීය පවුල් සාමාජිකයන් සිටී නම්, ඇයට සාර්ථක ජීවිතයක් ගත කළ හැකි බව සහතික කිරීමට ඔවුන්ට හැක. පවුලේ ඇතැම් සාමාජිකයන්ට වැඩි උපකාරයක් පිරිනැමිය හැකි වුවත් පවුලේ සියලුදෙනාටම යම් ආකාරයකින් දායක විය හැක. “යම් වැන්දඹු ස්ත්‍රියෙකුට දරුවෝවත් මුණුබුරෝවත් සිටිත් නම්, ඔව්හු පළමුකොට තමුන්ගේම පවුල ගැන භක්තිවන්ත ලෙස හැසිරෙමින් ස්වකීය මවුපියන්ට ප්‍රත්‍යුපකාරකරන්ට ඉගෙනගනිත්වා. මක්නිසාද ඒක දෙවි ඉදිරියෙහි ප්‍රසන්නව තිබේ.”—1 තිමෝති 5:4.

බොහෝ වැන්දඹුවන්ට මූල්‍යමය ආධාර හෝ “ප්‍රත්‍යුපකාර” අවශ්‍ය නොවිය හැක. ඇතැම් වැන්දඹුවන්ට තම අවශ්‍යතා පිරිමසාගැනීමට ප්‍රමාණවත් මුදලක් තිබෙන අතර තවත් අයට, ඔවුන්ගේ රටවල රජයන් මගින් ලබා දෙන දීමනා ලබාගැනීමට හැකියාවක් ඇත. එහෙත් එවැනි වරප්‍රසාද අහිමි වැන්දඹුවන්ට උපකාර කිරීම පවුලේ සාමාජිකයන්ගේ වගකීමකි. උපකාර පිරිනැමීමට කිට්ටු නෑදෑයන් නොමැති නම් හෝ නෑදෑයන් සිටියත් උපකාර කිරීමට නොහැකි තත්වයක ඔවුන් සිටී නම්, ඇයට සරණ වන්න කියා සෙසු ඇදහිලිවන්තයන්ට ශුද්ධ ලියවිල්ලෙහි දිරිගන්වා තිබේ. “අපගේ පියවූ [දෙවියන්] ඉදිරියෙහි පිරිසිදුවූ නොකිලුටුවූ භක්තිය නම්, මවුපියන් නැති දරුවන්ද වැන්දඹු ස්ත්‍රීන්ද ඔවුන්ගේ විපත්තියේදී බලාගැනීමත්, ලෝකයෙන් කිලුටු නොවන ලෙස තමාම ආරක්ෂාකරගැනීමත්ය.”—යාකොබ් 1:27.

මෙම බයිබල් ප්‍රතිපත්තිවලට අනුව ක්‍රියා කරන අය ඇත්තෙන්ම “වැන්දඹුවන්ට ගෞරව” කරති. (1 තිමෝති 5:3) කෙනෙකුට ගෞරව කරනවා නම් එම තැනැත්තාට සලකන ආකරයෙන් එය පැහැදිලි විය යුතුයි. තමන්ව අගය කරන බවත්, ආදරෙන් රැකබලා ගන්නා බවත්, තමන්ව වටිනා පුද්ගලයෙකු ලෙස සලකන බවත් ගෞරවය ලබන අයට හැඟේ. එවිට වගකීමක් ඉටු කිරීමට වුවමනා නිසා අන්‍යයන් තමන්ට උපකාර කරන බවක් ඔවුන්ට හැඟෙන්නේ නැත. වැන්දඹුවක වී සිටි කාලය තුළදීත් රූත් කැමැත්තෙන්ම නායොමිට ගෞරවයෙන් සැලකූ අතර ප්‍රේමනීය ලෙස නායොමිගේ ශාරීරික හා චිත්තවේගීය අවශ්‍යතා පිරිමැසීමටද වගබලා ගත්තාය. ඇත්තවශයෙන්ම, තම ක්‍රියාකලාපය නිසා රූත්ට ඉතා ඉක්මනින්ම හොඳ නමක් දිනාගත හැකි විය. මෙබැවින් ඇයව විවාහ කරගැනීමට සිටි පුරුෂයාට මෙසේ පැවසීමට ඇයට හැකි විය. “මාගේ නුවර සියලු මනුෂ්‍යයෝ නුඹ සුශීලවත් ස්ත්‍රියක් බව දනිති.” (රූත්ගේ කථාව 3:11) මේ අතරතුර, දෙවි කෙරෙහි තිබූ නායොමිගේ ප්‍රේමය, යම් දේවල් කිරීම සඳහා බල නොකිරීමේ ස්වභාවය හා ඇය වෙනුවෙන් රූත් දැරූ වෑයම්වලට ඈ පෙන්වූ ගැඹුරු අගය කිරීම සතුටෙන් ඇයට උපකාර කිරීමට රූත්ට හේතු වූවාට සැකයක් නැත. අදදින වැන්දඹුවන්ට නායොමි මොනතරම් කදිම ආදර්ශයක්ද!

දෙවිට ළං වන්න

කලත්‍රයෙකුගේ වියෝවෙන් ඇති වූ පාඩුව හා තනිකම නැති කිරීමට පවුලේ සාමාජිකයන්ට හා මිත්‍රයන්ට නොහැකි බව නොකිවමනාය. මේ හේතුව නිසා වියෝ දුකින් පෙළෙන පුද්ගලයා ‘සියලු පීඩාවලදී අප සනසන දයාබර කරුණාවල පියා සහ සෑම සැනසිල්ලේ දෙවි’ වෙත විශේෂයෙන්ම සමීප වීම වැදගත්. (2 කොරින්ති 1:3, 4) යේසුස් උපදින විට 84වන වියේ පසු වූ කැප වූ වැන්දඹුවක්ව සිටි ආනාගේ ආදර්ශය සලකා බලන්න.

ආනා විවාහ වී වසර හතකින් ඇගේ සැමියා මියගිය විට, සැනසීම ලබාගැනීම සඳහා ඇය යෙහෝවා වෙත ගියාය. “ඈ දේවමාළිගාවෙන් අහක්ව නොගොස්, රෑ දාවල් දෙක්හි නිරාහාරයෙන් ඉඳ යාච්ඤාකරමින් නමස්කාරකළාය.” (ලූක් 2:36, 37) ආනාගේ භක්තිවන්තකමට යෙහෝවා ප්‍රතිචාරය දැක්වූවාද? ඔව්! ඉතා විශිෂ්ට ආකාරයකින් ඔහු ඇයට තම ප්‍රේමය පෙන්වූයේ ලෝකයේ ගැළවුම්කාරයා වීමට සිටි බිළිඳාව දැකබලා ගැනීමට සැලැස්වීමෙනි. මෙය ආනාට මොනතරම් සතුටක් හා සැනසීමක් වන්න ඇද්ද! පැහැදිලිවම, ඇය ගීතාවලිය 37:4හි සත්‍යතාව අද්දැක්කාය. ‘යෙහෝවා කෙරෙහි ප්‍රීතිමත් වෙන්න. ඔහුද ඔබගේ සිතෙහි ආශාවන් ඉෂ්ට කරන්නේය.’

දෙවි සෙසු ක්‍රිස්තියානීන් තුළින් උපකාරය සපයයි

ඉලේන් මෙසේ පවසයි. “ඩේවිඩ් මැරිලා හුඟ කාලයක් යනකම්ම මගේ පපුවේ පිහියෙන් අනින්නා වගේ දැඩි වේදනාවක් තිබුණා. මම හිතුවේ අජීර්ණයක් නිසා එහෙම වෙන්න ඇති කියලයි. දවසක් වේදනාව දරාගන්න බැරිම තැන මම හිතුවා දොස්තර කෙනෙක්ව හම්බ වුණොත් හොඳයි කියලා. මාව හොඳින් තේරුම්ගත් ආත්මික සහෝදරියක් වගේම මිතුරියක් ලෙඩේට හේතුව මගේ ශෝකය වෙන්න ඇතියි කියලා උපකාරයයි, සැනසීමයි ඉල්ලලා යෙහෝවාට යාච්ඤා කරන්න කියලා මට දිරිගැන්නුවා. ඒ මොහොතේම මම ඇගේ උපදෙසට අනුව හදපත්ලෙන්ම යෙහෝවාට නිහඬව යාච්ඤා කරමින් මගේ ශෝකය දරාගන්න මට උපකාර කරන්න කියලා ඉල්ලුවා. ඇත්තෙන්ම ඔහු එහෙම කළා!” ඉලේන්ට සහනයක් දැනෙන්න පටන්ගත් අතර ඉන් වැඩි කල් නොයා ඇගේ වේදනාවද පහව ගියේය.

ශෝකයේ ගිලී සිටින වැන්දඹුවන්ට කරුණාවන්ත ආකාරයකින් හා මිත්‍රශීලිව සලකන්න විශේෂයෙන්ම සභාවේ වැඩිමහල්ලන්ට හැක. ආත්මික දේවලට නිතිපතා උපකාර කිරීමෙන් හා උපායශීලීව, විචාර බුද්ධිය ඇතුව සැනසීම ලබා දීමෙන් ඔවුන්ගේ අසීරු තත්වයන් මැද පවා යෙහෝවාට ළංවීමට උපකාර කරන්න වැඩිමහල්ලන්ට පුළුවන. අවශ්‍ය අවස්ථාවලදී ද්‍රව්‍යමය දේවලින් උපකාර පිරිනැමීම සඳහා සැලසුම් කිරීමටද ඔවුන්ට හැකිය. එවැනි දයානුකම්පිත, විචාර බුද්ධිය ඇති වැඩිමහල්ලෝ ඇත්තෙන්ම “සුළඟෙන් මුවාවෙන ඉඩමක්” බවට පත් වෙති.—යෙසායා 32:2; ක්‍රියා 6:1-3.

පොළොවේ නව රජුගෙන් සදාකාලික සැනසීමක්

මීට වසර දෙදාහකට පමණ පෙර මහලු ආනා දැකීමට මහත් ප්‍රීතියෙන් සිටි පුද්ගලයා අද දෙවිගේ ස්වර්ගීය රාජ්‍යයේ මෙසියානු රජ බවට පත් වී සිටී. දුකට හේතු වන සියලු දෑ ඇතුළු මරණය පවා ළඟදීම මෙම ආණ්ඩුව මගින් සම්පූර්ණයෙන්ම ඉවත් කර දමනු ඇත. මේ සම්බන්ධයෙන් එළිදරව් 21:3, 4හි මෙසේ පවසයි. “මෙන්න, [දෙවියන්ගේ] මණ්ඩපය මනුෂ්‍යයන් සමඟය, . . . [ඔහු] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු [පිස දමන්නේය]; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.” මෙම කොටස යොමු දක්වන්නේ ‘මනුෂ්‍යයන්ට’ නොවේද? ඇත්තෙන්ම මනුෂ්‍යයන්ටය. ඔවුන් මරණයෙන් සහ එමගින් ඇති වන සියලු දුක් වේදනාවලින් නිදහස් වනු ඇත.

එහෙත් ඊටත් වඩා ශුභාරංචියක් ඇත! බයිබලයේ මළවුන්ගේ නැවත නැඟිටීමක් සම්බන්ධයෙන්ද පොරොන්දුවක් දී තිබේ. “සොහොන්ගෙවල්හි සිටින සියල්ලන්ට [යේසුස්ගේ] හඬ ඇසෙන පැය පැමිණ, . . . පිටත්ව එන්නෝය.” (යොහන් 5:28, 29) ඔවුන් පිටතට එන්නේ ආත්ම පුද්ගලයන් වශයෙන් නොව යේසුස් විසින් මළවුන්ගෙන් නැඟිටවනු ලැබූ ලාසරුස් මෙන් මනුෂ්‍යයන් ලෙසිනි. (යොහන් 11:43, 44) ඉන්පසු ‘යහපත් දේවල් කරන’ අයව පරිපූර්ණත්වයට පත් කරනු ලබන අතර, යෙහෝවා “ස්වකීය හස්තය විදහා, ජීවමාන සියල්ලන්ගේ ආශාව පූර්ණ කරන” විට පියෙකු මෙන් ඔවුන් කෙරෙහි ඔහු දක්වන සැලකිල්ල ඔවුන් පෞද්ගලිකවම අද්දකිනු ඇත.—ගීතා. 145:16.

ප්‍රේමනීයයෙකු මියගොස් සිටින හා මෙම ස්ථිර බලාපොරොත්තුව කෙරෙහි ඇදහිල්ල තබා තිබෙන අයට එය අතිමහත් සැනසීමක් ලබා දෙන උල්පතක් වේ. (1 තෙසලෝනික 4:13) එබැවින් ඔබ වැන්දඹුවක් නම්, ඔබේ විවිධ පීඩා දරාගනිමින් දෛනිකව අවශ්‍ය සැනසීම හා උපකාරය ලබාගැනීම සඳහා “නොකඩව යාච්ඤාකරන්න.” (1 තෙසලෝනික 5:17; 1 පේතෘස් 5:7) එමෙන්ම දෙවිගේ සිතුවිලිවලින් සැනසීමක් ලබාගැනීමට හැකි වන පිණිස සෑම දවසකම දෙවිගේ වචනය කියවීමට කාලය මිඩංගු කරන්න. ඔබ මෙම දේවල් ක්‍රියාවට නංවනවා නම්, වැන්දඹුවක් හැටියට ඔබ විඳින සියලු පීඩා හා මුහුණ දෙන සියලු අභියෝග මධ්‍යයෙහි වුවත්, වියවුල් නොවී සිටීමට ඔබට උපකාර කරන්න ඇත්තෙන්ම යෙහෝවාට හැකි බව ඔබ අද්දකිනු ඇත.

[5වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

උපකාරවත් වෙනවා කීමෙන් අදහස් කරන්නේ විචාර බුද්ධියෙන් කටයුතු කිරීම මෙන්ම තවත් කෙනෙකුගේ නිදහසට ගරු කරමින් හා අවශ්‍ය අවස්ථාවේදී උපකාර කිරීමට ඉදිරිපත් වෙමින් සමබරතාව පවත්වාගැනීමය

[7වන පිටුවේ පින්තූරය]

මහලු වැන්දඹුවක වූ ආනා දෙවිගෙන් ආශීර්වාද ලැබ