Skip to content

පටුනට යන්න

බයිබලයෙන් පිළිතුරක්

සූදුව

සූදුව

සමහරු හිතන්නේ ඒක විනෝදයට කරන දෙයක් කියලයි. ඒත් තවත් අය හිතන්නේ භයානක දෙයක් කියලයි.

සූදුව ඇත්තටම භයානකද?

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සමහර සූදුවලට රජයෙන් අවසර දීලා තියෙන නිසා ඒ වගේ සූදුවල නියැලෙන එක හානියක් නැහැ. මොකද රජයේ අනුමැතිය තියෙන ලොතරැයි වගේ දේවල්වලින් ලැබෙන ආදායමෙන් රජය, රටටත් සේවයක් කරනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

බයිබලයේ සූදුව ගැන කෙලින්ම සඳහන් කරලා නැහැ. ඒත් සූදුවේ නියැලෙන එක ගැන දෙවියන්ට හැඟෙන්නේ කොහොමද කියලා තේරුම්ගන්න පුළුවන් ප්‍රතිපත්ති ගණනාවක්ම බයිබලයේ සඳහන් වෙනවා.

සූදුවේ නියැලෙන කෙනෙක් බලන්නේ අනිත් අයගේ මුදල් තමන්ට අයිති කරගන්නයි. ඒකට ඔහුව පොලඹවන්නේ තණ්හාව. ඒත් බයිබලයේ කියන්නේ “විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න” කියලයි. (ලූක් 12:15) සූදුවට පොලඹවන ආයතන, විශාල මුදල් තෑගි ගැන ප්‍රචාරය කරනවා. ඔවුන් දන්නවා ලොකු ගාණක් පෙන්නුවාම ඒකට තියෙන තණ්හාව නිසා මිනිස්සු ඒක දිනාගන්න ගොඩක් මුදල් වැය කරනවා කියලා. ඒත් ඒක දිනාගන්න පුළුවන් අවස්ථාව කොච්චර අඩුද කියලා ඒ ආයතන පෙන්නන්නේ නැහැ. එහෙම බැලුවාම සූදුවෙන් කරන්නේ කෙනෙක්ට තියෙන තණ්හාව වැඩි කරන එකයි.

සූදුවේ නියැලෙන කෙනෙක් ආත්මාර්ථකාමීයි. එයා බලන්නේ අනිත් අයව පරාජය කරලා ඔවුන්ගේ සල්ලි තමන්ට ලබාගන්නයි. ඒත් බයිබලයේ කියන්නේ “තමාගේම සතුට ගැන නොසිතා අන් අයට ප්‍රයෝජනවත් වන දේ ගැන සැලකිලිමත් විය යුතුයි” කියලයි. (1 කොරින්ති 10:24) ඒ වගේම දසපනතේ මෙහෙම කියලා තියෙනවා. ‘වෙනත් කෙනෙකුට අයිති දෙයකට ආශා නොකරන්න.’ (නික්මයාම 20:17) ඒත් ඇත්තටම සූදුවේ යෙදෙන කෙනෙක් කරන්නේ අනිත් අයගේ මුදල්වලට ආශා කරන එකයි.

වාසනාව කියන ගුප්ත බලවේගය නිසා ජය ලැබෙනවා කියලා සමහර අය විශ්වාස කරනවා. සමහර ඊශ්‍රායෙල්වරුන්ට දෙවියන් ගැන තිබුණු විශ්වාසය අඩු වුණාම “වාසනාවේ දෙවියන්ට” නමස්කාර කළා කියලා බයිබලයේ කියනවා. දෙවියන් ඒ ගැන ඔවුන්ට මෙහෙම කිව්වා. “මා පිළිකුල් කරන දේවල් ඔබ දිගටම කළහුය. ඔබ තෝරාගත්තේ මා කැමති නැති දේමය.”යෙසායා 65:11, 12.

සමහර රටවල්වල අධ්‍යාපනයට රටේ දියුණුවට එහෙම නැත්නම් මහජනයාට පහසුකම් ලබා දෙන්න රජයේ අනුමැතිය තියෙන සූදුවලින් ලැබෙන මුදල් යොදාගන්නවා. සූදුවෙන් ලැබෙන මුදල් හොඳ දේකට පාවිච්චි කළත් ඒ මුදල් හොයාගන්නේ මිනිසුන් තුළ තණ්හාව ආත්මාර්ථකාමීකම වගේ නරක හැඟීම් ඇති කරලයි කියලා අපි අමතක කරන්න හොඳ නැහැ.

‘වෙනත් කෙනෙකුට අයිති දෙයකට ආශා නොකරන්න.’නික්මයාම 20:17.

සූදුවේ යෙදෙන අයට වෙන්නේ මොකක්ද?

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

‘පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කරන්න පෙලඹෙනවා. ඔවුන් හසු වන්නේ උගුලකට. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් හටගන්නා අතර එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.’ (1 තිමෝති 6:9) සූදුව නිසා කෙනෙක් කෑදරයෙක් වෙනවා. කෑදරකම කොච්චර භයානකද කියනවා නම් බයිබලයේ නොකළ යුතුයි කියලා සඳහන් වෙන දේවල් අතරට ඒකත් අයිතියි.එෆීස 5:3.

සූදුවේ යෙදෙන අය මුදල්වලට ගොඩක් ආස කරනවා. බයිබලයේ කියන්නේ “සෑම හානිකර දෙයකටම මුල් වන්නේ මුදල්වලට තිබෙන දැඩි ආශාව” කියලයි. ඒ ආශාව තියෙන කෙනෙක් නිතරම ඉන්නේ කනස්සල්ලෙන්. අන්තිමේදී දෙවි එක්ක තියෙන බැඳීමත් පලුදු වෙනවා. මුදලට දැඩි ආශාවක් තියෙන අයට වෙන්නේ “තමාටම පිහියකින් ඇනගත් විට ඇති වන වේදනාවට සමාන බොහෝ වේදනා අද්දැකීමටයි” කියලා බයිබලයේ කියනවා.1 තිමෝති 6:10.

කෑදර අයට කොච්චර මුදල් තිබුණත් ඉන් සෑහීමට පත්වෙන්නෙවත් සතුටක් ලබන්නෙවත් නැහැ. ‘රිදීවලට ඇලුම් වන්නාට රිදී ලැබුණත් ධනයට ඇලුම් වන්නාට කොපමණ ආදායමක් ලැබුණත් සෑහීමට පත් නොවෙයි’ කියලා බයිබලයෙත් කියනවා.දේශනාකාරයා 5:10.

සූදුවේ යෙදෙන අය ඒකට ඇබ්බැහි වෙනවා. මේක ලෝකය පුරාම තියෙන ප්‍රශ්නයක්. වාර්තාවකින් පෙන්නන්නේ ඇමරිකාවේ මිලියන ගණනක් සූදුවට ඇබ්බැහි වෙලා තියෙනවා කියලයි.

බයිබලයේ මෙහෙම කියනවා. “කෑදරකමින් උරුමයක් ලබාගත්තත් අනාගතයේදී එයින් කිසිදු ආශීර්වාදයක් ලැබෙන්නේ නැත.” (හිතෝපදේශ 20:21) සූදුවේ නියැලෙන අය ණයකාරයන් වෙනවා, බංකොලොත් වෙනවා විතරක් නෙමෙයි ඔවුන්ට රැකියාව, විවාහ ජීවිතය වගේ දේවල්වලින් වන්දි ගෙවන්නත් වෙනවා. ඒත් බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගන්නවා නම් සූදුවෙන් මිදිලා සතුටින් ඉන්න පුළුවන්.

පොහොසත් වීමට අදිටන් කරගෙන සිටින අය වැරදි දේවල් කරන්න පෙලඹෙනවා. ඔවුන් හසු වන්නේ උගුලකට. ප්‍රතිඵලයක් ලෙස ඔවුන් තුළ කිසි තේරුමක් නැති, හානිකර ආශාවන් හටගන්නා අතර එයින් බොහෝදෙනෙකුගේ ජීවිත සම්පූර්ණයෙන්ම නාස්ති වී යයි.’1 තිමෝති 6:9.