Skip to content

පටුනට යන්න

මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

සමාව දෙන්නේ කොහොමද?

සමාව දෙන්නේ කොහොමද?

ප්‍රශ්නය

ඔයාලා දෙන්නා අතරේ බහින් බස් වීමක් ඇති වුණාම කලින් වෙච්ච සිද්ධිත් ඇදලා ගන්නවාද? එහෙමනම් ඔයාලා සමාව දෙනවා කියන එකේ තේරුම හරියට දන්නේ නැහැ.

සමාව දෙන හැටි ඔයාට ඉගෙනගන්න පුළුවන්. හැබැයි ඊට කලින් එකිනෙකාට සමාව දෙන එක සැමියටයි බිරිඳටයි මේ තරම් අමාරු ඇයි කියලා බලමු.

ඇයි එහෙම වෙන්නේ?

අතකොළුවක් කරගන්න හිතාගෙන. සමහර බිරින්දෑවරුන් හා සැමියන් එකිනෙකාට යම් කාරණයකදී සමාව දෙන්නේ නැත්තේ තවත් දවසක ප්‍රශ්නයක් ඇති වුණාම පරණ සිද්ධිය අතකොළුවක් කරගන්න හිතාගෙනයි.

අමනාපය හිතේ තියෙන නිසා. යම් වරදක් නිසා ඇති වුණ සිත් වේදනාව නැති වෙන්න සෑහෙන කාලයක් යන්න ඉඩ තියෙනවා. සමහරවිට ‘මම එයාට සමාව දුන්නා’ කියලා ඔබ කිව්වත් හිතේ තාම අමනාපය තියෙනවා ඇති.

කඩ වුණු බලාපොරොත්තු නිසා. සමහර අය බඳින්නේ විවාහ ජීවිතේ රෝස මල් යහනාවක් කියලා හිතාගෙන. හැබැයි එකඟ නොවීම් ඇති වෙද්දී එයාලට හිතාගන්න බැහැ ඇයි එහෙම වුණේ කියලා. මොකද බඳින්න කලින් හිතුවේ දෙන්නා ‘හොඳට මැච් වෙනවා’ කියලා. යථාර්ථවාදීව හිතන්නේ නැති කෙනෙක්ට පෙනෙන්නේ අනිත් කෙනාගේ වැරදි විතරයි. එතකොට සමාව දෙන්න අමාරුයි.

වැරදි විදිහට හිතන නිසා. හුඟක් අය සමාව දෙන්නේ නැත්තේ සමාව දුන්නොත් මේ විදිහට වෙයි කියලා හිතලා.

මම සමාව දුන්නොත් ඒකෙන් වැරැද්දේ බරපතළකම අඩු වෙනවා.

මම සමාව දුන්නොත් මට වෙච්ච දේ අමතක කරන්න වෙනවා.

මම සමාව දුන්නොත් මේ විදිහට මට තව වධ දෙයි.

ඇත්තටම සමාව දීමෙන් එහෙම දෙයක් වෙන්නේ නැහැ. සමාව දෙන එකත් ලේසි නැහැ තමයි. විශේෂයෙන්ම සැමියයි බිරිඳයි අතර.

මොනවද කරන්න පුළුවන්?

සමාව දෙනවා කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න. බයිබලයට අනුව සමහර අවස්ථාවලදී ‘සමාව දෙනවා’ කියන එකෙන් අදහස් කරන්නේ ‘අතෑරලා දානවා’ කියන එකයි. සමහර වැරදිවලට සමාව දෙන එකෙන්, වරද සුළුවට තකනවා කියලවත් ඒ වරද සීයට සීයක්ම අමතක කරනවා කියලවත් අදහස් කරන්නේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී ඔබ ඒ කාරණාව අතෑරලා දාන්නේ ඔබෙත් ඔබේ පවුලේ අයගෙත් යහපත ගැන හිතන නිසයි.

සමාව නොදීමෙන් ඇති වෙන ඵල විපාක ගැන හිතන්න. සමහර විද්වතුන් කියන්නේ සමාව නොදීමෙන් ගතත් සිතත් ලෙඩ වෙනවා කියලයි. උදාහරණයකට මානසික අවපීඩනය, අධිරුධිර පීඩනය වගේ තවත් ගොඩක් ලෙඩ හැදෙන්න පුළුවන්. ඔක්කොටම වඩා ඔබේ විවාහයට ඒකෙන් හානි වෙනවා. ඒ නිසා තමයි බයිබලේ අපිට මේ වගේ උපදෙසක් දීලා තියෙන්නේ. “එකිනෙකාට කරුණාවද ඉමහත් දයානුකම්පාවද පෙන්වන්න. . . . එකිනෙකාට කැමැත්තෙන්ම සමාව දෙන්න.”—එෆීස 4:32.

සමාව දීමෙන් සිදු වෙන ප්‍රයෝජන ගැන හිතන්න. සමාව දීමෙන් වෙන්නේ සැමියා හෝ බිරිඳ වැරදි චේතනාවකින් හිතාමතාම ඒ වරද තමන්ට විරුද්ධව කෙරුවේ නැහැයි කියලා විශ්වාස කරනවා කියන එකයි. එතකොට පවුල තුළ වර්ධනය වෙන්නේ අමනාපය නෙමෙයි, ප්‍රේමය.—කොලොස්සි 3:13 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

යථාර්ථවාදී වෙන්න. ඔබේ සැමියාව හෝ බිරිඳව නිවැරදි විදිහට අවබෝධ කරගත්තොත් සමාව දෙන්න ලේසියි. එයාගේ අතිනුත් අඩුපාඩු වෙනවා කියලා තේරුම්ගන්න. එක පොතක මෙහෙම කියලා තිබුණා. “සැමියාගේ හෝ බිරිඳගේ අඩුපාඩු ගැනම හිතහිතා ළත වෙනවා නම් ඔහුගේ හෝ ඇගේ හොඳ දකින්න ඔබට බැරි වෙනවා. ඔබ කැමති හොඳ දකින්නද නරක දකින්නද?” (Fighting for Your Marriage) වැරදි නොකරන කෙනෙක් මිහිපිට නැහැ. ඔබේ අතිනුත් වැරදි වෙනවා කියලා මතක තියාගන්න.යාකොබ් 3:2 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

සාධාරණ වෙන්න. තවත් දවසක ඔබේ සැමියා හෝ බිරිඳ ඔබේ හිත පෑරෙන විදිහට යමක් කිව්වොත් එහෙමත් නැත්නම් කෙරුවොත් මේ විදිහට හිතන්න. ‘කියපු දේ එච්චර ගණන් ගන්න ඕනේ දෙයක්ද? සමාව ගන්න කියලා බල කරන්න ඕනෙද? මට බැරිද ඒක අමතක කරලා දාන්න?’1 පේතෘස් 4:8 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

අවශ්‍ය නම් කාරණය සාකච්ඡා කරන්න. ඔබේ හිත රිදුණේ ඇයි කියලා සන්සුන්ව පැහැදිලි කරලා දෙන්න. අනිත් කෙනාට චෝදනා කරන විදිහට කතා කරන්න එපා. එතකොට එයා බලන්නේ චෝදනාව ප්‍රතික්ෂේප කරන්න මිසක් කාරණේ විසඳගන්න නෙමෙයි. ඒ නිසා වෙච්ච දේ ගැන ඔබට දැනුණ විදිහ විතරක් කියන්න.