Skip to content

පටුනට යන්න

 අතීතයෙන් සටහනක්

ජෙං හෝ

ජෙං හෝ

“අහස උසට නැඟී බිඳී යන මුහුදු රළ හා පොරබදිමින් ලි * ලක්ෂයකට වඩා දුර ප්‍රමාණයක් අප තරණය කළේ ඈත එපිට දේශ දේශාන්තර බලායි. රැයක් දවාලක් නොබලා රුවල් නග්ගමින් රුවල් බාමින් නෞකා යාත්‍රා කළේ විශාල වළාකුළු රොත්තක් ගමන් කරන්නාක් මෙනි. චණ්ඩ රළ පෙළ කපාගෙන මහ සයුරේ අප යාත්‍රා කළේ මහ පාරක ගමන් ගන්නා සේය.”—චීනයේ ෆූජියාන් පළාතේ 15වන සියවසට අයත් ජෙං හෝ ගැන සඳහන් ලේඛනයෙන්.

ලොකු ලොකු දේවල් ගැන කතා කරද්දී චීනය පැත්තකට දාන්න බැහැ. ලෝකයේ ලොකුම රටවල් අතරින් එකක් චීනය. වැඩිම ජනගහනයක් ඉන්නෙත් චීනයෙයි. ලෝකයේ දැවැන්තම ඉදි කිරීම් ව්‍යාපෘතිවලින් එකක් වන චීන මහ ප්‍රාකාරය ගොඩනැඟුවෙත් එහි වැසියන්. අතීතයේදී අති විශාල නැව් තැනුවෙත් ඔවුනුයි. මිංග් රාජ වංශයේ යොංග්ලේ සහ ස්වංදෝ යන අධිරාජ්‍යවරුන්ගේ කාලයේදී තැනූ ඒ විශාල නැව් ගණන හා සමාන නැව් සංඛ්‍යාවක් ඉන් සියවස් පහක් යන තුරුත් කිසිවෙක් සතු වුණේ නැහැ. ඒ නැව්වලට අණ දුන්නේ චීනයේ නිරිතදිග ප්‍රදේශයේ සිටි මුස්ලිම් ජාතිකයෙක් වූ ජෙං හෝ නමැති නාවික සෙන්පතියායි.

දේශපාලන බලය, වෙළඳාම සහ පඬුරු

ජෙං හෝගේ සංචාරයේ අරමුණ වුණේ රාජ වංශයේ “ගුණ ධර්ම ඈත එපිට දේශවල සිටි ජනයන්ට හඳුන්වා දීමත් ඔවුන්ට කරුණාවෙන් සැලකීමත්” කියා මෙම ලිපියේ මුලින් සඳහන් කළ ලේඛනයේ තවදුරටත් සඳහන් වුණා. එම මුහුදු ගමන්වල ප්‍රතිඵලය ගැන එහි කියා තිබුණේ මෙහෙමයි. “ඈත ක්ෂිතිජයෙන් එහා දේශ දේශාන්තරවල සිටි ජනයා [චීනයේ] යටත්වැසියන් වුණා. . . . විදේශිකයන් තුටු පඬුරුත් රැගෙන අධිරාජ්‍යයාව බැහැදකින්න ආවා.”

ජෙං හෝගේ නෞකා යාත්‍රා කළ වරායන්

එවැනි මුහුදු සංචාර සැලසුම් කළ මිංග් අධිරාජ්‍යයා කුමන අරමුණකින්ද යන්න විවාදයකට ලක් වූවක්. රාජ දූතයෙක් වූ ජෙං හෝව  සමහරු දකින්නේ චීන අධිරාජ්‍යයත් අනෙක් රටවලුත් අතර හොඳ හිත පැතිර වූ කෙනෙක් හැටියටයි. තවත් අය ඔහුව දකින්නේ දේශ යටත් කරගෙන අධිරාජ්‍යයේ බලය පතුරුවපු දරුණු කෙනෙක් හැටියටයි. ඇත්තටම ජෙං හෝ තමන්ව සාදරයෙන් පිළිගත් පාලකයන්ට වටිනා තෑගිබෝග වගේම දේශපාලනික සහයෝගය පිරිනැමුවා. නමුත් ඔහුව පිළි නොගත් අයව වගේම අධිරාජ්‍යයාට පඬුරු දීමට අකමැති වූ පාලකයන්ව අත්අඩංගුවට ගත්තා. ඉන්දියන් සාගරය අවට සිටි බොහෝ පාලකයන් අධිරාජ්‍යයාව බැහැදකින්න රාජ නියෝජිතයන්ව පවා යැව්වේ ඔහුගේ සංචාරවල ප්‍රතිඵලයක් විදිහටයි.

ජෙං හෝ චීනයෙන් ගියේ ලැකර් පින්තාරු කළ ලී සැරසිලි, පෝසිලේන් බඩු, සේද වැනි දෑ බොහෝමයක් රැගෙන. ඔහු නැවත එන විට මැණික්, ඇත්දළ, කුළු බඩු, වටිනා දැව වර්ග සහ ඉතාම මිල අධික බඩු චීනයට රැගෙන ආවා. එක් අවස්ථාවක ජිරාෆ් කෙනෙක්ව පවා ඔහු රැගෙන ආවා. චීන වැසියන්ද ඒ ගැන පුදුම වුණා. මේ විදිහට භාණ්ඩ හා ඔවුන්ගේ සංකල්ප අවට ලෝකය සමඟ හුවමාරු වෙද්දී 15වෙනි සියවස වන විට චීනයේ ශිෂ්ටාචාරය මොන තරම් උසස් මට්ටමක තිබුණද කියලා අවට ලෝකය දැනගන්න ඇති.

ඒත් දශක තුනකට ආසන්න කාලයක් පුරා කෙරුණු ජෙං හෝගේ සංචාරවලට තිත වැටුණේ හදිසියේමයි. අවට ලෝකය සමඟ වෙළඳ ගනු දෙනු හා මිත්‍ර සබඳතා චීනය නතර කර දැමුවා. ‘චීනයට පිටින් කිසිවක් අවශ්‍ය නැහැ’ කියා සිතූ අලුත් අධිරාජ්‍යයා සහ ඔහුගේ කොන්ෆියුෂියානු මත දැරූ උපදේශකයන් අවට ලෝකයත් සමඟ චීනයට ගනු දෙනු කිරීමට තිබූ සියලු දොරටු වසා දැමුවා. ජෙං හෝ දීර්ඝ සංචාරවල යෙදුණු නෞකා සහ ඒ සංචාර ගැන තිබූ වාර්තාවලට මොකද වුණේ? පෙනෙන විදිහට ඒ සියල්ලම විනාශ කර තිබෙනවා. වළාකුළු රොත්තක් මෙන් ගමන් කළ මහ සයුර තරණය කළ ඒ දැවැන්ත නෞකා සමූහය ගැනත් එහි අතීතය ගැනත් පසුගිය සියවස වන තුරු කිසිවෙකුටත් දැනගන්න නොලැබුණේ ඒ නිසයි.

^ 3 ඡේ. “ලි” යනු චීන මිනුම් ක්‍රමයක්. සියවස් ගණනාවක් පුරා එයින් නියෝජනය වූ දිග ප්‍රමාණය වෙනස් වී තිබෙනවා. ජෙං හෝගේ කාලයේදී “ලි” එකක් කිලෝ මීටර භාගයක් පමණ වූ බව සිතනවා.