Skip to content

පටුනට යන්න

 බයිබලයෙන් පිළිතුරක්

බඳින්න කලින් ලිංගික ඇසුර

බඳින්න කලින් ලිංගික ඇසුර

බඳින්න කලින් ලිංගික ඇසුර වැරදිද?

‘දෙවි කැමති වන්නේ ඔබ වේශ්‍යාකමින් වැළකී සිටිනවාටයි.’—1 තෙසලෝනික 4:3.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

සමහර රටවල විවාහ නොවූ වැඩිහිටි යුවළක් ලිංගික ඇසුරේ යෙදීම වරදක් විදිහට සලකන්නේ නැහැ. විවාහ නොවූ යොවුන් වියේ පසු වෙන යුවළක් මොනයම් ආකාරයක හෝ ලිංගික වින්දනයක් ලැබීම හෙළාදකින්නේ නැති රටවලුත් තියෙනවා.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

විවාහයෙන් පිටත ලිංගික සම්බන්ධකම් පැවැත්වීම හඳුන්වලා තියෙන්නේ “වේශ්‍යාකම” හැටියටයි. තම නමස්කාරකයන් ‘වේශ්‍යාකමින් වැළකී සිටීම’ දෙවියන් බලාපොරොත්තු වෙනවා. (1 තෙසලෝනික 4:3) බයිබලයේ වේශ්‍යාකම ඇතුළත් කර තිබෙන්නේ රූප වන්දනාව, අනාචාරය, සොරකම, බේබදුකම, මිනී මැරීම සහ භූතවාදය වැනි බරපතළ පාප සමඟයි.—1 කොරින්ති 6:9, 10; එළිදරව් 21:8.

පිළිතුරු දැනගැනීමේ වැදගත්කම.

‘වේශ්‍යාකමෙහි යෙදෙන සියලුදෙනාටම දෙවියන්ගේ විනිශ්චය ලැබෙනවා’ කියලා බයිබලයේ සඳහන් වෙනවා. (හෙබ්‍රෙව් 13:4) වැදගත්ම දේ වෙන්නේ ලිංගික කාරණා ගැන දෙවියන් දීලා තියෙන නීති හා ප්‍රමිතිවලට කීකරු වීමෙන් දෙවියන්ට තියෙන අපේ ආදරය පෙන්වන්න අවස්ථාව ලැබීමයි. (1 යොහන් 5:3) ඔහුගේ අණපනත් රකින අයට දෙවියන් ආශීර්වාද කරනවා.—යෙසායා 48:18.

 විවාහ නොවූ දෙන්නෙක් මොනම විදිහක හෝ ලිංගික ක්‍රියාවක යෙදීම වැරදිද?

“වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි.”—එෆීස 5:3.

මිනිස්සු කියන්නේ මෙහෙමයි.

විවාහ නොවූ දෙන්නෙක් ලිංගිකව එක් නොවී වෙන යම් විදිහකින් ලිංගික වින්දනයක් ලැබීමේ වරදක් නැහැ.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

දුරාචාර ක්‍රියා හැටියට වේශ්‍යාකම ගැන විතරක් නෙමෙයි බයිබලයේ සඳහන් කරන්නේ. “අපවිත්‍ර දේවල්” සහ “නින්දිත හැසිරීමත්” වැරදියි කියලා බයිබලයේ කියනවා. (2 කොරින්ති 12:21) විවාහ නොවූ දෙන්නෙක් ලිංගිකව එක් නොවුණත් ලිංගික වින්දනයක් ලැබීම සඳහා කරන වෙනත් ඕනෑම ක්‍රියාවක් දෙවියන් සම්පූර්ණයෙන් හෙළාදකිනවා.

බයිබලයේ ලිංගික ඇසුරක් පැවැත්වීමට අවසර දී තිබෙන්නේ විවාහක යුවළකට විතරයි. “කාමාශාවෙන් දැවිදැවී” සිටීමත් බයිබලයේ හෙළාදකිනවා. (1 තෙසලෝනික 4:5) එයින් අදහස් කරන්නේ මොකක්ද? උදාහරණයකට ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් බඳින්න කලින් තම පෙම්වතා හෝ පෙම්වතිය සමඟ ලිංගිකව එක් නොවීමට අදිටන් කරගෙන ඉන්නවා කියලා හිතන්න. හැබැයි ඒ දෙන්නා ලිංගික වින්දනයක් ලැබීම සඳහා වෙනත් ක්‍රියාවල යෙදෙනවා. ඇත්තෙන්ම ඔවුන් කරන්නේ අවිවාහක අය නොකළ යුතු නොහොබිනා දෙයක්. ඔවුන් “කාමාශාවෙන් දැවිදැවී” සිටිනවා. ඒ වගේ දෙයක් බයිබලයේ හෙළාදකිනවා.—එෆීස 5:3-5.

අනාචාරයෙන් වැළකෙන්නේ කොහොමද?

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න.”—1 කොරින්ති 6:18.

පිළිතුරු දැනගැනීමේ වැදගත්කම.

බයිබලයේ කියන්නේ බඳින්න කලින් ලිංගික ඇසුරේ යෙදෙන කෙනෙක්ට දෙවියන් සමඟ හොඳ මිත්‍රත්වයක් පවත්වාගන්න බැහැ කියලයි.—කොලොස්සි 3:5, 6.

බයිබලයේ කියන්නේ මෙහෙමයි.

“වේශ්‍යාකම වෙතින් පලා දුවන්න.” (1 කොරින්ති 6:18) මෙයින් අදහස් කරන්නේ ස්ත්‍රියෙක් හෝ පුරුෂයෙක් ලිංගික ක්‍රියාවකට පෙලඹෙන්න ඉඩ තියෙන ඕනෑම දෙයකින් වැළකිලා ඉන්න, තමන්ට කරන්න පුළුවන් හැම දේම කරන්න ඕනේ කියන එකයි. (හිතෝපදේශ 22:3) උදාහරණයකට ලිංගික ක්‍රියා ගැන දෙවියන් දී තියෙන ප්‍රතිපත්තිවලට ගරු නොකරන අයව කිට්ටුවෙන් ඇසුරු නොකර ඉන්න එකත් අත්‍යවශ්‍යයි. “ප්‍රඥාවන්ත අය සමඟ ඇසුරු කරන්න. එවිට ඔබත් ප්‍රඥාවන්ත වන්නෙහිය. නමුත් අඥානයන්ව ඇසුරු කරන්නා විපතට පත් වෙයි” කියලා බයිබලයේ අනතුරු අඟවනවා.—හිතෝපදේශ 13:20.

හැම තිස්සෙම කාමුක දේවල් ගැන හිතහිතා ඉන්නවා නම් ලිංගික ක්‍රියාවල නියැලෙන්න තියෙන ඉඩකඩ වැඩියි. (රෝම 8:5, 6) ඒ නිසා ලිංගික හැඟීම් අවුස්සන පින්තූර, වීඩියෝ සහ සංගීතය වැනි ඕනෑම දෙයකින් වැළකී සිටින්න. මොකද ඒ දේවල් දෙවිට පිළිකුල්.—ගීතාවලිය 101:3.