Skip to content

පටුනට යන්න

 මේ ඔබේ පවුලටයි | සැමියාට සහ බිරිඳට

ඔබ ඉන්නේ අමනාපයෙන් නම් . . .

ඔබ ඉන්නේ අමනාපයෙන් නම් . . .

ප්‍රශ්නය

බිරිඳ හෝ සැමියා හිත රිදෙන විදිහට කියපු කරපු දේවල් ඔබට අමතක කරන්න බැහැ. දැන් ඔහු හෝ ඇය ගැන හිතේ තියෙන්නේ ආදරයකට වඩා තරහක්. එක වහලක් යට ජීවත් වුණත් කිසිම සතුටක් නැහැ. ඒ ගැනත් ඔබ ඉන්නේ කේන්තියෙන්.

දුක් වෙන්න එපා. දේවල් හොඳ අතට හරවාගන්න පුළුවන්. මුලින්ම අමනාපය කොයි තරම් දරුණුද කියලා අපි බලමු.

ඔබ දැනගත යුතු දේ

අමනාපය විවාහ ජීවිතයට බාධාවක්

අමනාපය නිසා විවාහය දෙකඩ වෙන්න පුළුවන්. එහෙම කියන්නේ, අමනාපය හිතේ තියෙන කොට විවාහ බැඳීම ශක්තිමත් කරන ආදරය, විශ්වාසය වැනි ගුණාංග නැති වෙන නිසයි. අමනාපය කියන්නේ විවාහය දෙකඩ කරන්න පුළුවන් තරම් ලොකු ගැටලුවක්. ඒ නිසයි බයිබලයේ මේ විදිහට කියලා තියෙන්නේ. ‘දැඩි වෛරය ඔබේ ජීවිතයෙන් දුරස් කරන්න.’එෆීස 4:31.

අමනාපය නිසා ඔබ රිදවාගන්නේ ඔබවමයි. අමනාපය කියන්නේ අනිත් කෙනාට වේදනාව දැනෙයි කියලා හිතලා තමන්ට තුවාල කරගන්නවා වගේ දෙයක්. මාක් සික්කෙල් කියන ලේඛකයා ඒ ගැන මෙහෙම කියලා තියෙනවා. “අමනාප වෙලා පවුලේ කෙනෙක්ව ඔබ රිද්දන්න හැදුවත් සමහර වෙලාවට ඔහු හෝ ඇය ඒ ගැන දන්නෙවත් නැතුව ඇති. ඒ නිසා එයා සාමාන්‍ය විදිහට සතුටෙන් ඉන්නවා. අමනාපය නිසා ඔබ රිදවාගන්නේ ඔබවමයි.”Healing From Family Rifts.

අමනාපය කියන්නේ අනිත් කෙනාට වේදනාව දැනෙයි කියලා හිතලා තමන්ට තුවාල කරගන්නවා වගේ දෙයක්

අමනාප වෙන්න තීරණය කළේ ඔබයි. සමහර අය ඒක පිළිගන්නේ නැහැ. ඔවුන් කියන්නේ “එයයි මාව කේන්ති ගැස්සුවේ” කියලයි. ඒත් කෙනෙක් කරන කියන දේවල්වලට අපි කේන්ති ගන්නවාද නැද්ද කියන එක අපේ තීරණයක්. අපිට අනිත් අය කරන කියන දේවල් පාලනය කරන්න බැරි වුණත් ඒකට ප්‍රතිචාරය දක්වන විදිහ පාලනය කරන්න අපිට පුළුවන්. බයිබලයේ කියන්නෙත් “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි” කියලයි. (ගලාති 6:4) ඒ නිසා ප්‍රතිචාරය දක්වන්න පුළුවන් එකම විදිහ අමනාප වීම නෙමෙයි.

 මොනවද කරන්න පුළුවන්?

අනිත් කෙනා පිට වරද පටවන්න එපා. සහකරු පිට වරද පටවන එක ලේසියි. ඒත් අමනාප වෙන්න තීරණය කළේ ඔබයි කියලා අමතක කරන්න එපා. අමනාප නොවී සමාව දෙන්නත් තිබුණා. බයිබලයෙත් ඒ ගැන මේ වගේ වටිනා උපදෙසක් දෙනවා. “ඉර බසින්න කලින් ඔබේ කෝපය ඉවත් කරගන්න.” (එෆීස 4:26) සමාව දෙනවා නම් විවාහ ජීවිතේ ගැටලු නිරවුල් මනසකින් විසඳගන්න ඔබට පුළුවන්.කොලොස්සි 3:13 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

ඔබ කටයුතු කරන විදිහ ගැන අවංකවම හිතලා බලන්න. සමහර අය “හදිසි කෝපයෙන්” ක්‍රියා කරනවා කියලා බයිබලයෙත් සඳහන් වෙනවා. (හිතෝපදේශ 29:22) ඔබත් ඒ වගේද? එහෙමනම් ඔබෙන්ම මෙහෙම අහන්න. ‘මම හැම තිස්සේම ප්‍රතිචාරය දක්වන්නේ කේන්තියෙන්ද?’ ‘මම ඉක්මනින්ම කේන්ති ගන්නවාද?’ ‘පුංචි දේටත් ප්‍රශ්න ඇති කරගන්නවාද?’ බයිබලයේ කියන්නේ “වරදක් ගැන හැම තැනම කතා කරන්නා කිට්ටු මිත්‍රයන්ව වෙන් කරයි” කියලයි. (හිතෝපදේශ 17:9; දේශනාකාරයා 7:9) සැමියා හා බිරිඳ අතරත් ඒ වගේ දෙයක් වෙන්න පුළුවන්. අනිත් කෙනාගේ වැරදි හැම තැනම කිව්වොත් දෙන්නා අතර තියෙන බැඳීම දුර්වල වෙයි. ඒ නිසා ඔබත් ඉක්මනින්ම අමනාප වෙන්න පෙලඹීමක් තියෙන කෙනෙක් නම් මෙහෙම හිතලා බලන්න. ‘මට බැරිද ටිකක් ඉවසීමෙන් කටයුතු කරන්න.’1 පේතෘස් 4:8 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

වැදගත් දේ මොකක්ද කියලා තීරණය කරන්න. “නිහඬව සිටීමට කාලයක්ද කතා කිරීමට කාලයක්ද ඇත” කියලා බයිබලයේ සඳහන් වෙනවා. (දේශනාකාරයා 3:7) හිත රිදුණ හැම කාරණයක් ගැනම කතා කරන්න අවශ්‍ය නැහැ. සමහර වෙලාවට “කීමට ඇති දේ ඔබේ සිතේම තබාගන්න. ඔබ තනිව යහන මත සිටින විට ඒවා ඔබටම කියාගන්න.” (ගීතාවලිය 4:4) කතා කරන්න ඕනෙමයි කියලා හිතෙනවා නම් කේන්තිය නිවුණට පස්සේ ඒ ගැන කතා කරන්න. බියට්‍රිස් කියන කාන්තාව මෙහෙම කියනවා. “මගේ හිත රිදුණ වෙලාවට මුලින්ම ටිකක් කේන්තිය නිවෙන කල් ඉන්නවා. එතකොට ඒ කාරණය එච්චර බරපතළ නැහැ කියලා තේරෙනවා. වැදගත් විදිහට කතා කරන්නත් පුළුවන් වෙනවා.”හිතෝපදේශ 19:11 ඇති ප්‍රතිපත්තිය අදාළ කරගන්න.

“සමාව දෙනවා” කියන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න. බයිබලයට අනුව සමහර අවස්ථාවලදී “සමාව දෙනවා” කියන වචනයෙන් අදහස් වෙන්නේ අත්හැරලා දානවා කියන එකයි. ඒ කියන්නේ වරද සුළුවට තකනවා කියන එකවත් ඒ වරද සීයට සීයක්ම අමතක කරනවා කියන එකවත් නෙමෙයි. සිදු වූ වරදට වඩා අමනාප වීමෙන් ඔබටත් ඔබේ පවුලේ අයටත් ලොකු හානියක් සිදු වෙන නිසා ඔබ ඒක අත්හැරලා දානවා කියන එකයි.