Skip to content

පටුනට යන්න

පිළිසඳරක් | රාකෙල් හෝල්

යුදෙව් කාන්තාවක් ඇගේ විශ්වාසය ගැන කියයි

යුදෙව් කාන්තාවක් ඇගේ විශ්වාසය ගැන කියයි

රාකෙල්ගේ පියා යුදෙව් ආගමට හැරුණු ඔස්ට්‍රියානුවෙක්. මව යුදෙව් ජාතිකයෙක්. මවගේ දෙමව්පියන් 1948දී, එනම් ඊශ්‍රායෙලය ස්වාධීන රාජ්‍යයක් වුණාට පස්සෙ පදිංචියට ආ අය. ඇගේ යුදෙව් විශ්වාසයන් ගැන නැවත හිතලා බලන්න පෙලඹුණේ ඇයි කියලා අපි ඇගෙන් අහලා බැලුවා.

ඔයා ගැන ටිකක් කිව්වොත්?

මම ඉපදුණේ ඇමෙරිකාවේ. ඒ 1979දී. මට අවුරුදු තුනක් වෙද්දී අම්මයි තාත්තායි දික්කසාද වුණා. අම්මා මාව හැදුවේ යුදෙව් චාරිත්‍ර වාරිත්‍රවලට අනුව. යැව්වෙත් යුදෙව් ඉස්කෝලෙකට. අවුරුදු හතේදි අපි ඊශ්‍රායෙලයට ගියා. අවුරුද්දක් විතර එහෙ ඉද්දි මං ගියෙ සාමාන්‍ය ඉස්කෝලෙකට. ඊටපස්සේ අම්මයි මායි මෙක්සිකෝවේ පදිංචියට ගියා.

ඒ රටේ සිනගෝගයක් තිබ්බෙ නැති වුණත් මං මගේ යුදෙව් චාරිත්‍ර පවත්තන එක අතහැරියේ නෑ. හැම සබත් දවසකම ඉටිපන්දම් පත්තු කෙරුවා, ටෝරා කියන යුදෙව් ආගමේ පොත කියෙව්වා. සිද්දූර් කියන පොත බලාගෙන යාච්ඤා කෙරුවා. අපේ ආගම තමයි ලෝකෙ මුල්ම ආගම කියලා පංතියේ ළමයින්ට මම හැමවෙලේම කිව්වා. හැබැයි මං කවදාවත් යේසුස්ගේ සේවය ගැන, ඉගැන්වීම් ගැන තියෙන අලුත් ගිවිසුම නං කියවලා තිබුන්නෑ. මම ඒවා කියවලා මුළා වෙයි කියලා අම්මට තිබුණු භය හින්දා මට තදින්ම කියලා තිබුණා අලුත් ගිවිසුම කියවන්න එපා කියලා.

අලුත් ගිවිසුම කියවන්න හිතුවේ ඇයි?

අවුරුදු 17ක් විතර වෙද්දී මම ආයෙත් ඇමෙරිකාවට ගියා තව ඉගෙනගන්න. එහෙදි අඳුනගත්ත ක්‍රිස්තියානි කෙනෙක් කිව්වා යේසුස් නැත්නම් අපේ ජීවිතේ වැඩක් නෑ කියලා.

“යේසුස්ව විශ්වාස කරන අය ඉන්නෙ මුළා වෙලා” කියලා මං කිව්වා.

“ඔයා අඩුම තරමෙ අලුත් ගිවිසුම කියවලා තියෙනවද” කියලා එයා ඇහැව්වා.

“නෑ” කියලා මං කිව්වා.

එතකොට එයා කිව්වා “එහෙමනං ඔයා කොහොමද දන්නැති දෙයක් ගැන ඔය විදිහට කතා කරන්නෙ?”

එයා කියපු දේ මගේ පපුවටම වැදුණා. මොකද නොදන්න දෙයක් ගැන මතයක් ඉදිරිපත් කරන එක මෝඩකමක් කියලා මං තදින්ම විශ්වාස කෙරුවා. ඉතිං මම එයාගේ බයිබලය ගෙදර ගෙනිහිං අලුත් ගිවිසුම කියවන්න පටන්ගත්තා.

ඔයා කියවපු දේ ඔයාගෙ හිතට වැදුණේ කොහොමද?

අලුත් ගිවිසුමේ ලේඛකයෝ යුදෙව් ජාතිකයෝ කියලා දැනගත්තම මට පුදුම හිතුණා. දිගටම බයිබලය කියවන කොට යේසුස් කොයි වගේ කෙනෙක්ද කියලා මට තේරුණා. එයා කාරුණාවන්ත, නිහතමානී යුදෙව්වෙක් කියලත් එයාට ඕනෙ වුණේ මිනිස්සුන්ට උදව් කරන්න මිසක් එයාලගෙන් අයුතු ප්‍රයෝජන ගන්න නෙමෙයි කියලත් මං දැනගත්තා. මම යේසුස් ගැන ලියලා තියෙන පොත් පුස්තකාලෙන් අරන් කියෙව්වා. හැබැයි යේසුස් තමයි ගැලවුම්කරු කියන එක මේ එක පොතකින්වත් මට තහවුරු වුණේ නෑ. සමහරක් පොත්වල යේසුස්ව දෙවියන් හැටියට හඳුන්වලා තිබුණා. යේසුස් දෙවියන් නම් එයා යාච්ඤා කෙරුවේ කාටද? එයාටමද? අනික යේසුස් මැරුණා. ඒත් බයිබලේ කියන්නේ දෙවියන් “කිසිදා මිය යන්නේ නැත” කියලයි. * මේ හේතු නිසා යේසුස් දෙවියන් කියන එක මං පිළිගත්තෙ නෑ.

ඒ ප්‍රශ්නවලට උත්තර ලැබුණේ කොහොමද?

සත්‍ය සරලයි. ඒකේ කිසි පැටලිල්ලක් නෑ. ඉතිං මං හිතාගත්තා කොහොමහරි සත්‍ය හොයනවා කියලා. දෙවියන්ට අඬ අඬා යාච්ඤා කෙරුවා. ජීවිතේ පළවෙනි වතාවට තමයි මං යාච්ඤා පොතක් නැතුව යාච්ඤා කෙරුවේ. යාච්ඤා කරලා ඉවර වෙනවත් එක්කම කවුදෝ දොරට තට්ටු කරනවා මට ඇහුණා. ඒ වෙන කවුරුත් නෙමෙයි යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෝ දෙන්නෙක්. එයාලා මට බයිබලය තේරුම්ගන්න උදව් වෙන පොතක් දුන්නා. ඒ පොතෙනුත් එයාලත් එක්ක කතා කරපු දේවලිනුත් මට තේරුණා ඒ අයගෙ විශ්වාසයන් පදනම් වෙලා තියෙන්නෙ බයිබලේ මත කියලා. උදාහරණෙකට සාක්ෂිකරුවන් යේසුස්ව පිළිගන්නෙ ත්‍රිත්වයේ කොටසක් හැටියට නෙමෙයි. “දෙවිගේ පුත්‍රයා” * සහ “දෙවිගේ මුල්ම නිර්මාණය” * හැටියට.

ආයෙත් මං මෙක්සිකෝවට ගිය ගමන්ම යේසුස් ගැන ලියැවිලා තියෙන අනාවැකි සාක්ෂිකරුවන් එක්ක සාකච්ඡා කෙරුවා. එච්චර අනාවැකි තියෙනවා කියලා දැනගත්තම මට පුදුමත් හිතුණා! ඒත් මට ඒ ගැන සැකයක් තිබුණා. මට හිතුණා ‘ඇත්තටම ඒ අනාවැකි අදාළ වෙන්නෙ යේසුස්ටද?’ නැත්නං යේසුස් ‘ඒ විදිහට රඟපෑවද’ කියලා.

කොහොමද ඒ සැකේ නැති කරගත්තේ?

සාක්ෂිකරුවෝ පෙන්නුවා ඒ අනාවැකිවල ඉටු වෙච්ච දේවල් නිකම්ම රඟපාන්න පුළුවන් දේවල් නෙමෙයි කියලා. උදාහරණෙකට ගැලවුම්කරු ඉපදෙන්නෙ යුදයේ බෙත්ලෙහෙමේ * කියලා එයා ඉපදෙන්න අවුරුදු 700කටත් වඩා කලින් මීකා කියන දෙවිගේ සේවකයා අනාවැකියක් කිව්වා. කාටද පුළුවන් තමන් ඉපදෙන තැන එච්චර කලින්ම කියන්න? ‘ඒක කරන්න බැරි දෙයක්නෙ’ කියලා මං කල්පනා කෙරුවා. ඒවගේම යෙසායා කියන බයිබල් ලේඛකයා කිව්වා ගැලවුම්කරුව අපරාධකාරයෙක් විදිහට මරලා දානවා, ඒත් තැන්පත් කරන්නේ ධනවතුන් එක්ක කියලා. * මේ හැම අනාවැකියක්ම යේසුස් තුළින් ඉටු වුණා.

අනිත් සාක්ෂිය තමයි යේසුස්ගේ පරම්පරාව. බයිබලේ කියනවා ගැලවුම්කරු එන්නෙ දාවිත් රජුගේ පරම්පරාවෙන් කියලා. * රෝම හමුදාව ක්‍රිස්තු වර්ෂ 70දි යෙරුසලම විනාශ කරන තුරුම යුදෙව්වන්ගේ පරම්පරාවේ නාම ලේඛන යම් තැනක ආරක්ෂා සහිතව තිබ්බා. යේසුස්, දාවිත්ගෙ පෙළපතේ කෙනෙක් නෙමෙයි නං එයාගේ සතුරො අනිවාර්යයෙන්ම ඒ ගැන කතා කරනවා. ඒකේ කතා දෙකක් නෑ.

අනික එදා හිටපු මිනිස්සු යේසුස්ට කිව්වේ “දාවිත්ගේ පුත්‍රයා” කියලා. * ඒකට හේතුව ක්‍රි.ව. 70දි ඒ කියන්නේ යේසුස් මැරිලා අවුරුදු 37ක් යන තුරුත් යුදෙව් පෙළපත් වාර්තා තිබුණ නිසයි. ඒකෙන් තේරෙනවා යේසුස් තමයි ගැලවුම්කරු කියලා.

මේ ලැබුණ අවබෝධය ඔයාට ප්‍රයෝජනවත් වුණේ කොහොමද?

ද්විතීය කතාව 18:18, 19 මෙහෙම කියලා තියෙනවා. “මාගේ නාමයෙන් ඔහු පවසන දේවලට සවන් නොදෙන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම මට ගණන් දිය යුතුයි.” එතන කතා කරන්නෙ දෙවියන් ඊශ්‍රායෙල් දේශයේ නැඟිටුවන මෝසෙස් හා සමාන අනාගතවක්තෘ කෙනෙක් ගැන. ඒ අනාගතවක්තෘවරයා වෙන කවුරුත් නෙමෙයි, නාසරෙත් නුවර යේසුස් කියලා බයිබලය සම්පූර්ණයෙන් අධ්‍යයනය කරද්දී මට හොඳටම පැහැදිලි වුණා.