Skip to content

පටුනට යන්න

යෞවන අය අසති

සමලිංගික සේවනය ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කෙසේද?

සමලිංගික සේවනය ගැන බයිබලයේ ඇති දේ මම විස්තර කරන්නේ කෙසේද?

සම්මාන ප්‍රදාන උලෙළකදී ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වේදිකාවේ සිට පෙම්වතුන් මෙන් සිප වැලඳගත්තා. සබයේ සිටි අය මොහොතකට පුදුමයෙන් ඒ දෙස බලා සිටියත් පසුව මුළු ශාලාවම ප්‍රීති ඝෝෂාවලින් පිරී ගියා. ඔවුන්ගේ මෙම හැසිරීම සමලිංගික අය සැලකුවේ ජයග්‍රහණයක් ලෙසයි. මේ සිද්ධිය විටින් විට රූපවාහිනියේද විකාශනය වුණ අතර බොහෝ අය අන්තර්ජාලයෙන්ද එය නැරඹුවා.

නළු නිළියන් වැනි ජනප්‍රිය අය තමන් සමලිංගිකයන් බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන විට එය දැවැන්ත පුවතක් ලෙස ලොව පුරා ව්‍යාප්ත වෙනවා. සමහර අය මෙවැනි ක්‍රියා හෙළාදකින අතර තවත් අය ඔවුන්ව පැසසුමට ලක් කරනවා. තවත් පිරිසක් කියා සිටින්නේ එය කෙනෙකුගේ පෞද්ගලික තීරණයක් බවයි. ඒ ගැන 21 හැවිරිදි ඩැනියෙල් මෙවැනි දෙයක් පැවසුවා. * “මම ඉස්කෝලේ යන කාලයේ පන්තියේ ළමයි කිව්වේ සමලිංගික අයව කොන් කරන්නවත් ඒ අයව විවේචනය කරන්නවත් අපිට අයිතියක් නැහැ කියලයි.”

සමලිංගික සේවනය ගැන විවිධ අදහස් තිබෙන අතර රටින් රටට ඒ පිළිබඳ ප්‍රතිපත්තිද වෙනස් වෙනවා. ඒත් ක්‍රිස්තියානීන් බයිබලයේ තිබෙන ප්‍රතිපත්තිවලට ඇලී සිටිනවා. ඒ නිසා ඔවුන් ‘නොමඟ යැවීමේ අදහස ඇතුව ඉතා සූක්ෂ්ම ලෙස විවිධ දේවල් උගන්වන මිනිසුන්ට හසුවන්නේ නැහැ.’—එෆීස 4:14.

ඔබ බයිබල් ප්‍රතිපත්ති අනුව ජීවත් වන කෙනෙක් නම්, ඔබ සමලිංගික අයට වෛර කරනවා කියා හෝ ඔබ දැඩි මත දරන කෙනෙක් කියා අන් අය ඔබට චෝදනා කරන්න පුළුවන්. එවැනි අවස්ථාවක ඔබේ ප්‍රතිපත්ති ඔවුන්ට පැහැදිලි කරන්නේ කෙසේද?

සමලිංගික සේවනය ගැන බයිබලයේ පවසන දෙය.

යෙහෝවා දෙවි ලිංගික සම්බන්ධකම් පැවැත්වීම තහනම් කර නැහැ. නමුත් එයට අවසර දී තිබෙන්නේ විවාහය තුළ පමණයි. (උත්පත්ති 1:27, 28; ලෙවී කතාව 18:22; හිතෝපදේශ 5:18, 19) සමලිංගික සම්බන්ධකම් වගේම විවාහ නොවුණ දෙදෙනෙක් අතර ඇති වන ඕනෑම ලිංගික සම්බන්ධකමක් බයිබලයේ හඳුන්වන්නේ වේශ්‍යාකම ලෙසයි. *ගලාති 5:19-21

කෙනෙක් ඔබෙන් ඇසුවොත්: “සමලිංගික කෙනෙක් ගැන ඔයා හිතන්නේ මොනවාද?”

ඔබට මෙසේ පැවසිය හැකියි: “ඒ වගේ අයත් එක්ක මට කිසිම තරහක් නැහැ. ඒත් ඒගොල්ලන් කරන ක්‍රියාවලට මට එකඟ වෙන්න බැහැ.”

✔ වැදගත් කරුණක්: ඔබ ජීවත් වෙන්නේ බයිබල් ප්‍රතිපත්තිවලට අනුව නම් එය ඔබේ පෞද්ගලික තීරණයක්. එහෙම කරන්න ඔබට අයිතියක් තිබෙනවා. (යොෂුවා 24:15) ඒ නිසා බයිබල් ප්‍රතිපත්තිවලට එකඟව ඔබ ගත් තීරණය ගැන කියන්න ලැජ්ජා විය යුතු නැහැ.—ගීතාවලිය 119:46.

ක්‍රිස්තියානීන් සෑම කෙනෙකුටම ගරු කරන්න ඕනේ.

එහෙමනම් සමලිංගික අයටත් ගරු කරන්න ඕනේ නේද? ඔව්. බයිබලයේ කියන්නේ “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න” කියලයි. (1 පේතෘස් 2:17) ඒ නිසා ක්‍රිස්තියානීන් කාටවත් වෛර කරන්නේ නැහැ. සමලිංගික අයට වුණත් කරුණාව පෙන්වනවා.—මතෙව් 7:12.

කෙනෙක් ඔබෙන් ඇසුවොත්: “ඔයාගේ ප්‍රතිපත්තිවලින් කරන්නේ සමලිංගික අයව පහත් කිරීමක් නේද?”

ඔබට මෙසේ පැවසිය හැකියි: “කොහෙත්ම නැහැ. අපි සමලිංගික ක්‍රියා හෙළාදකින බව ඇත්තයි. ඒත් ඒ අයව පහත් කරන්නේ නැහැ.”

✔ යෝජනාවක්: “අපි මෙහෙම සිතමු. මම දුම්පානය කරනවා. ඒත් ඔබ දුම්පානය සම්පූර්ණයෙන්ම හෙළාදකිනවා. මගේ තීරණය සහ ඔබේ තීරණය වෙනස් නිසාම ඔබ මාව පහත් කරලා සලකන්නේ නැහැ නේද? ඒ වගේම මගේ පෞද්ගලික තීරණය නිසා ඔබ මට වෛර කරන්නෙත් නැහැ නේද? සමලිංගික අය ගැනත් මම සිතන්නේ ඒ විදිහටයි.”

ඕනෑම කෙනෙක්ව පිළිගන්න කියලා යේසුස් කිව්වා.

එහෙමනම් ඒ අය කරන දේවල් ගැන අපි දැඩිව සිතීම හරිද? යේසුස් ඉන් අදහස් කළේ අනික් අයගේ වැරදි ක්‍රියාවන් අනුමත කරන්න කියලා නෙවෙයි. යේසුස් පැවසුවේ “ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම” ගැලවීම ලබන බවයි. (යොහන් 3:16) යේසුස් කෙරෙහි විශ්වාසය තබනවා කීමෙන් අදහස් කරන්නේ සෑමවිටම දෙවිගේ උසස් ප්‍රමිති රැකීමයි. ඒ නිසා දෙවි තහනම් කර තිබෙන සමලිංගික ක්‍රියා වැනි දේවල් අපිට අනුමත කරන්න බැහැ.—රෝම 1:26, 27.

කෙනෙක් මෙසේ පැවසුවොත්: “සමලිංගික අයට ඒ හැඟීම් ඇවිත් තියෙන්නේ උපතින්මයි. ඒ නිසා ඔවුන්ට වෙනස් වෙන්න අමාරුයි.

ඔබට මෙසේ පැවසිය හැකියි: “සමලිංගික අයට ඒ වගේ ආශාවන් ඇති වෙන්නේ කොහොමද කියලා බයිබලයේ විස්තර කරන්නේ නැහැ. සමහර පුරුදු අතහරින්න ලෙහෙසි නැහැ කියලා බයිබලයේ තියෙනවා. (2 කොරින්ති 10:4, 5) කොහොමවුණත් කෙනෙකුට ඒ වගේ හැඟීම් තිබුණත් සමලිංගික ක්‍රියා හෙළාදකින්න කියලා බයිබලයේ කියනවා.”

✔ යෝජනාවක්: සමලිංගික හැඟීම් ඇති වීමට හේතුව ගැන විවාද කරනවා වෙනුවට බයිබලයේ සමලිංගික ක්‍රියා තහනම් කරන බව පෙන්වන්න. එය කාවැද්දීම සඳහා ඔබට මෙසේ පැවසිය හැකියි. “සමහර අය විශ්වාස කරන්නේ සැහැසික ක්‍රියාවලට පෙලඹීමක් ඇති වන්නේ සහජයෙන්ම කියලයි. (හිතෝපදේශ 29:22) ඒ කොහොමවුණත් සැහැසික ක්‍රියා බයිබලයේ හෙළාදකිනවා. (ගීතාවලිය 37:8; එෆීස 4:31) කෙනෙකුට සැහැසික ක්‍රියාවලට පෙලඹීමක් තියෙන නිසාම බයිබලයේ තිබෙන ප්‍රතිපත්ති වැරදියි කියලා කියන්න පුළුවන්ද?”

කෙනෙකුට සමලිංගික හැඟීම් ඇති වෙලා තියෙන්නේ සහජයෙන්ම නිසා දෙවි එය තහනම් කිරීම සාධාරණද?

මෙම සිතුවිල්ල පදනම් වී තිබෙන්නේ තමන්ගේ ලිංගික ආශාවන් අනිවාර්යෙන්ම පිනවිය යුතුයි යන වැරදි අදහස මතයයි. නමුත් මිනිසුන්ට තම හැඟීම් පාලනය කරන්නත් නුසුදුසු ලිංගික ක්‍රියාවලින් වැළකී සිටිය හැකි බවත් බයිබලයේ පෙන්නුම් කරනවා.—කොලොස්සි 3:5.

කෙනෙක් මෙසේ පැවසුවොත්: “ඔයා සමලිංගික කෙනෙක් නොවෙන්න පුළුවන්. ඒත් ඔයා ඒ පිළිබඳව දරන අදහස වැරදියි.”

ඔබට මෙසේ පැවසිය හැකියි: “මෙහෙම හිතන්න. ඔයා සූදුවට කැමති නැහැ. ඔයාගේ ඒ අදහසට මම එකඟ නැහැ. ඒත් හුඟක් අය සූදුවේ නියැලෙන නිසාම, ඔයාගේ ඒ අදහස වෙනස් කරන්න කියලා මම ඔයාට බල කරනවා නම් ඒක හරිද?”

මතක තබාගන්න: අසාධාරණකම්, යුද්ධ, අයුක්තිය වැනි දේවල් බයිබලයේ හෙළාදැක තිබෙනවා. එම ප්‍රතිපත්ති සාධාරණයි කියා සමලිංගික ක්‍රියාවල යෙදෙන අයත් පිළිගන්නවා. නමුත් වැරදි ලිංගික ක්‍රියාවන් බයිබලයේ හෙළාදැක තිබීම අසාධාරණයි කියා ඔවුන් පවසනවා.—1 කොරින්ති 6:9-11.

බයිබලයේ ඇති ප්‍රමිති කිසිවිටෙකත් අසාධාරණ නැහැ. ඒ වගේම මිනිසුන්ව පහත් කර සලකන්නෙත් නැහැ. නමුත් බයිබලයේ අපට පවසන්නේ “වේශ්‍යාකම වෙතින් පලා දුවන්න” කියායි. (1 කොරින්ති 6:18) ඒ නිසා එම ප්‍රතිපත්තිය සමලිංගික ක්‍රියාවල යෙදෙන අය ඇතුළුව අපි සියලුදෙනාටම අදාළයි.

ඕනෑම කෙනෙකුට ලිංගික ආශාවන් තිබෙන බව සත්‍යයක්. නමුත් බොහෝදෙනෙක් වැරදි ආශාවන්ට ඉඩ නොදී තමාවම පාලනය කරගන්නේ බයිබලයේ ඇති ප්‍රතිපත්ති අදාළ කරගැනීමට තිබෙන ආශාව නිසයි. උදාහරණයකට සමහර අය විවාහ වී නැහැ. තවත් අය විවාහ වී සිටියත් ස්වාමිපුරුෂයා හෝ භාර්යාව යම් අසනීප තත්වයකින් පෙළෙන නිසා ඔවුන් ලිංගික සම්බන්ධකම් පවත්වන්නේ නැහැ. ඒ වුණත් ඔවුන් සතුටින් ජීවත් වෙනවා. ඒ හා සමානව සමලිංගික ආශාව තිබෙන කෙනෙකුට වුණත් දෙවිව සතුටු කිරීමට අවශ්‍ය නම් එම ආශාවන් පාලනය කරගන්න පුළුවන්.—ද්විතීය කතාව 30:19.

^ 4 ඡේ. නම් වෙනස් කර ඇත.

^ 7 ඡේ. ලිංගික සම්බන්ධකම්වලට අමතරව මුඛය හෝ ගුද මාර්ගය යොදාගනිමින් කරන ලිංගික ක්‍රියා මෙන්ම වෙන කෙනෙකුගේ ලිංගේන්ද්‍රයන් පිරිමැදීමද බයිබලයේ හඳුන්වන්නේ වේශ්‍යාකම ලෙසයි.

සිතා බලන්න

  • දෙවි මිනිසුන්ට සදාචාර නීති දී තිබෙන්නේ ඇයි?

  • දෙවි දී තිබෙන සදාචාර නීති පිළිපැදීමෙන් ඔබ ලබන්නේ මොන වගේ ප්‍රයෝජනද?