Skip to content

පටුනට යන්න

හැමදාටම වටිනා තොරතුරු

හැමදාටම වටිනා තොරතුරු

මෙහෙම හිතන්න. පෞරාණික ස්මාරක තියෙන කෞතුකාගාරයකට ඔයා යනවා. හුඟක් ඒවා කැඩිලා, බිඳිලා, නාස්ති වෙලා. හැබැයි ඒ අතරේ තියෙන එක ස්මාරකයකට කිසිම හානියක් වෙලා නැහැ. ඒ නිසා මඟ පෙන්වන කෙනාගෙන් ඔයා අහනවා “මේක අලුත් එකක්ද” කියලා. එයා මෙහෙම කියනවා. “නැහැ. මෙතන තියෙන හුඟක් ඒවාට වඩා මේක පරණයි.” ඔයා අහනවා “මේක මොකක් හරි විශේෂ ක්‍රමයකින් ආරක්ෂා කළාද” කියලා. එතකොට එයා මෙහෙම කියනවා. “නැහැ. මේක අව්වට වැස්සට දෙකටම අහු වෙලා තියෙනවා. හුඟක් අය මේක කඩන්නත් හදලා තියෙනවා.” එහෙනම් ‘මේක හදලා තියෙන්නේ මොනවාවලින්ද’ කියලා ඔයාට හිතෙයි නේද?

බයිබලයත් ඒ ස්මාරකයට සමාන කරන්න පුළුවන්. ඒක අද තියෙන හුඟක් පොත්වලට වඩා පැරණියි. අද දක්වා ඉතිරි වෙලා තියෙන තවත් පැරණි ලියවිලි තියෙනවා. හැබැයි ඒවාවලින් වැඩි හරියක් නාස්ති වෙලා, සමහර කොටස් හොයාගන්නත් නැහැ. ඒ ලියවිලිවල තියෙන සමහර තොරතුරුත් වැරදියි. උදාහරණෙකට අලුත් සොයාගැනීම් එක්ක සසඳද්දී ඒවාවල සඳහන් විද්‍යාත්මක තොරතුරු නිවැරදි නැහැ. ඒවාවල සඳහන් වෙන වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අනුගමනය කළොත් අපිට අනතුරක් වෙන්නත් පුළුවන්.

හැබැයි බයිබලය ඊට වඩා වෙනස්. බයිබලය ලියන්න පටන්ගත්තේ අවුරුදු 3,500කට විතර කලින් වුණත් අදටත් ඒකට කිසිම හානියක් වෙලා නැහැ. සියවස් ගණනාවක් පුරාම බයිබලය විනාශ කරන්න හුඟක් අය උත්සාහ කරලා තියෙනවා. සමහරු ඒක පිච්චුවා. තහනම් කළා. කිසි වැඩකට නැති පොතක් කියලා කිව්වා. හැබැයි අලුත් සොයාගැනීම්වලිනුත් තහවුරු වෙනවා ඒකේ තියෙන තොරතුරු නිවැරදියි කියලා. ඒ වගේම බයිබලය කොච්චර වටිනා පොතක්ද කියලා ඒකේ තියෙන තොරතුරුවලිනුත් පැහැදිලි වෙනවා.—“යල් පැනලාද නැත්නම් අදටත් ගැළපෙනවාද?” කියන කොටුව බලන්න.

ජීවිතයට නැතුවම බැරි මඟ පෙන්වීම්

බයිබලයේ තියෙන තොරතුරු ඇත්තටම අදට ගැළපෙනවාද? ටිකකට හිතන්න ‘අද මිනිස්සු වැඩියෙන්ම දුක් විඳින්නේ මොන වගේ ප්‍රශ්න නිසාද’ කියලා. සමහරවිට යුද්ධ, අපරාධ, අල්ලස් දූෂණ, පරිසර හානිය වගේ දේවල් ඔයාගේ මනසට එන්න ඇති. ඒ ප්‍රශ්න විසඳන්න උදව් වෙන ප්‍රතිපත්ති බයිබලයේ තියෙනවා. ඒ අතරින් කිහිපයක් අපි දැන් බලමු. එහෙම බලන අතරේ ‘මිනිසුන් හැමෝම ඒවාට අනුව ජීවත් වුණොත් අපේ ලෝකය කොයි තරම් ලස්සන වෙයිද’ කියලත් හිතලා බලන්න.

සාමයට ළැදි කෙනෙක් වෙන්න

“සාමය ඇති කිරීමට වෙහෙසෙන අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ව ‘දෙවිගේ පුත්‍රයන්’ ලෙස හඳුන්වනු ලබයි.” (මතෙව් 5:9) “මිනිසුන් සමඟ සමාදානයෙන් සිටීමට ඔබට පෞද්ගලිකව කළ හැකි උපරිමය කරන්න.”—රෝම 12:18.

දයාවන්ත, සමාව දීමට කැමති කෙනෙක් වෙන්න

“දයාවන්ත අය සන්තෝෂවත්. මන්ද ඔවුන්ට දයාව පෙන්වනු ලබයි.” (මතෙව් 5:7) “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. යෙහෝවා * දෙවි ඔබට මුළු හදවතින්ම සමාව දී තිබෙන ආකාරයටම ඔබත් සමාව දෙන්න.”—කොලොස්සි 3:13.

ජාති භේද බලන්නේ නැතුව සමඟියෙන් ඉන්න

දෙවියන් “එක මිනිසෙකුගෙන් සියලුම ජාතීන් බිහි කළා. ඒ වගේම ඔවුන්ගෙන් මුළු පොළෝතලයම ජනාවාස කළා.” (ක්‍රියා 17:26) ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකනවා. කෙනෙක් මොන ජාතියකට අයත් වුණත් ඔහු දෙවිට ගරුබිය දක්වමින් ධර්මිෂ්ඨව ක්‍රියා කළොත් දෙවි ඔහුව පිළිගන්නවා.’—ක්‍රියා 10:34, 35.

පරිසරය රැකගන්න

“යෙහෝවා දෙවි මිනිසාව ඒදන් උයනෙහි පදිංචි කළේය. උයන බලාගන්නා පිණිසද එහි වගා කරන පිණිසද මිනිසාව එහි තැබුවේය.” (උත්පත්ති 2:15) දෙවියන් ‘පොළොව විනාශ කර දමන අයව විනාශ කරනවා.’—එළිදරව් 11:18.

කෑදරකමත් අනාචාරයත් පිළිකුල් කරන්න

“ඔබ දකින දේවල් ගැන සෝදිසියෙන් සිටින්න. විවිධ හේතු නිසා තණ්හාව ඇති වෙනවා. එයින් පරෙස්සම් වන්න. මන්ද කෙනෙකුට කොතරම් දේවල් තිබුණත් ඔහුට තිබෙන දේවලින් ඔහුගේ ජීවිතය රැකගන්න ඔහුට බැහැ.” (ලූක් 12:15) “වේශ්‍යාකම ගැනවත් ඕනෑම ආකාරයක අපවිත්‍ර ක්‍රියා ගැනවත් කෑදරකම ගැනවත් ඔබ අතරේ කිසිසේත් සඳහන් නොකළ යුතුයි. ඒවා ශුද්ධ තැනැත්තන්ට සුදුසු නැත.”—එෆීස 5:3.

වෙහෙස නොබලා අවංකව වැඩ කරන්න

‘අප සෑම දෙයකදීම අවංකව කටයුතු කිරීමට කැමතියි.’ (හෙබ්‍රෙව් 13:18) ‘සොරකම් කරන තැනැත්තා තවදුරටත් සොරකම් නොකළ යුතුයි. ඒ වෙනුවට ඔහු වෙහෙස වී වැඩ කළ යුතුයි.’—එෆීස 4:28.

අවශ්‍යතා තියෙන අයට උදව් කරන්න

‘කලකිරී සිටින අයව සනසවන්න. දුර්වල වී සිටින අයට උපකාර කරන්න. සියලුදෙනා සමඟ බොහෝ ඉවසිලිවන්තකමින් කටයුතු කරන්න.’ (1 තෙසලෝනික 5:14) ‘අනාථ දරුවන් හා වැන්දඹුවන් අද්දකින පීඩාවලදී ඔවුන්ව බලාගන්න.’—යාකොබ් 1:27.

බයිබලයේ ඒ ප්‍රතිපත්ති ගැන සඳහන් වෙනවා විතරක් නෙවෙයි ඒවා කොයි තරම් වටිනවාද කියලා තේරුම් අරන් ඒවා අදාළ කරගන්න පුළුවන් විදිහත් කියලා තියෙනවා. හැම කෙනෙක්ම ඒ දේවල් පිළිපැද්දොත් හුඟක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතන්නේ නැද්ද? ඇත්තෙන්ම බයිබලයේ තියෙන තොරතුරු අදටත් හොඳින්ම ගැළපෙනවා. ඒවා පිළිපැද්දොත් ඒකෙන් ඔයාට හුඟක් ප්‍රයෝජන ලැබෙනවා.

බයිබලයේ කියලා තියෙන විදිහට ජීවත් වෙද්දී ලැබෙන ප්‍රයෝජන

බයිබලයේ කියනවා “ප්‍රඥාවන්තයෙක් ධර්මිෂ්ඨයි කියා ඔප්පු වන්නේ ඔහු කරන ක්‍රියාවලින්” කියලා. (මතෙව් 11:19) ඕනම උපදෙසක් ප්‍රඥාවන්තද කියලා ඔප්පු වෙන්නේ ඒක ක්‍රියාවට නංවද්දියි කියලා ඒකෙන් පැහැදිලියි. බයිබලේ උපදෙස් ඇත්තටම ප්‍රඥාවන්ත, ප්‍රායෝගික ඒවා නම් ඒවා ක්‍රියාවට නංවද්දී හොඳ ප්‍රතිඵල ලැබෙන්න ඕනෙ නේද? ඔයා අද්දකින ප්‍රශ්නවලට හොඳින් මුහුණ දෙන්න බයිබලයේ තොරතුරු උදව් වෙන්නේ කොහොමද? දැන් අපි ඒ ගැන බලමු.

ඩෙල්ෆින් * හරිම සතුටින් ජීවත් වුණු කෙනෙක්. හැබැයි එයාගේ මුළු ජීවිතේම කණපිට පෙරළුණා. එයාගේ දුව මැරුණා. මහත්තයා දාලා ගියා. ආර්ථිකය බිංදුවටම වැටුණා. ඒ ගැන එයා කිව්වේ මෙහෙමයි. “මගේ දුව, මහත්තයා, ගෙවල් දොරවල් හැම දෙයක්ම නැති වුණා. මට කියලා කිසිම දෙයක් ඉතුරු වුණේ නැහැ. ජීවත් වෙලා වැඩක් නැහැ කියලයි මට හිතුණේ.”

ගීතාවලිය 90:10 කියන දේ කොයි තරම් ඇත්තක්ද කියලා එයා අද්දැක්කා. එතැන කියන්නේ මෙහෙමයි. “සාමාන්‍යයෙන් අප ජීවත් වන්නේ අවුරුදු සැත්තෑවකි. ශක්තිය ඇත්නම් අවුරුදු අසූවකි. එයද කරදර සහ දුක් ගැහැටවලින් පිරී ඇත. ජීවිතය වේගයෙන් ගෙවී යයි. අපද සැණෙකින් පහව යයි.”

බයිබලයෙන් දැනගන්න ලැබුණු දේවල් නිසා ඩෙල්ෆින් ලොකු සහනයක් අද්දැක්කා. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් ජීවිතේට අදාළ කරගද්දී ලැබෙන ප්‍රයෝජන අද්දැකපු තවත් අයගේ අද්දැකීම් ඊළඟ ලිපි තුනෙන් දැනගන්න පුළුවන්. බයිබලයත් හරියට මේ ලිපියේ මුලින් සඳහන් කරපු ස්මාරකය වගේ කියලා එයාලා අද්දැකලා තියෙනවා. ඒක කොච්චර පරණ වුණත් ඒකේ තොරතුරු යල් පැනලා නැහැ. ඒක අනිත් ලියවිලිවලට වඩා වෙනස් වෙන්නේ ඒක දෙවියන්ගෙන් ලැබුණු පොතක් නිසා කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?—1 තෙසලෝනික 2:13.

අපේ ජීවිතේ හරිම කෙටියි කියලත් ඒ කෙටි කාලේ කොයි තරම් ප්‍රශ්න අද්දකිනවාද කියලත් ඔයාට හිතිලා ඇති. ප්‍රශ්න අද්දකිද්දී ඔයා සහනයක්, උපකාරයක් ලබාගන්න හදන්නේ කොහෙන්ද?

බයිබලයේ තියෙන තොරතුරු කොයි තරම් ප්‍රායෝගිකද කියලා තේරුම්ගන්න අපි මේ පැති තුන ගැන බලමු.

  1. ප්‍රශ්න දුර දිග යන එක වළක්වගන්න

  2. ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න

  3. දුක දරාගන්න

ඊළඟ ලිපිවලින් අපි ඒ පැති තුන ගැන බලමු.

^ 10 ඡේ. දෙවියන්ගේ නම යෙහෝවා කියලා බයිබලයේ තියෙනවා.—ගීතාවලිය 83:18.

^ 24 ඡේ. මේ ලිපියේ සහ ඊළඟ ලිපි තුනේ සමහර නම් වෙනස් කරලා තියෙනවා.