Skip to content

පටුනට යන්න

එසකියෙල් යෙරුසලමේ වැටලීම රඟ දැක්කුවා

ඕනෑම පැවරුමක් කරන්න ඔයාත් ලෑස්තිද?

ඕනෑම පැවරුමක් කරන්න ඔයාත් ලෑස්තිද?

ඔයාගේ ජීවිතෙත් අතීතයේ හිටපු අනාගතවක්තෘවරුන්ගේ ජීවිතත් අතර සමානකමක් තියනවා කියලා ඔයා හිතනවද? අනාගතවක්තෘවරයෙක් කියන්නේ දෙවි වෙනුවෙන් කතා කරන කෙනෙක්ටයි. එයා අනාගතයේදී දෙවි කරන්න යන දේවල් ගැන විතරක් නෙමෙයි දෙවිගේ ඉගැන්වීම්, ආඥා, විනිශ්චයන් ගැනත් කියනවා. අනාවැකි පළ නොකළත් බයිබලේ තියෙන දේවල් අනිත් අයට කියලා දෙද්දී ඔයා කරන්නෙත් යෙහෝවා දෙවි වෙනුවෙන් කතා කරන එකයි.—මතෙ. 24:14.

යෙහෝවා දෙවි ගැනත් ඔහු අනාගතයේදී කරන්න යන දේවල් ගැනත් අනිත් අයට කියලා දෙන්න ලැබිලා තියෙන වරප්‍රසාදය මොන තරම් වටිනවද! ඒක කරන්න ‘අහස මැද පියාසර කරන දේවදූතයෙකුත්’ අපිත් එක්ක ඉන්නවා. (එළි. 14:6) ඒත් අපිට මුහුණ දෙන්න වෙන සමහර අභියෝග නිසා ඒ වරප්‍රසාදය ගැන අපිට තියෙන අගය අඩු වෙන්න පුළුවන්. වෙහෙස, අධෛර්යය වීම්, මං වටින්නේ නැහැ කියන හැඟීම ඒ අතරින් කීපයක්. අතීතයේ හිටපු අනාගතවක්තෘවරුන්ටත් ඒ අභියෝගම තිබුණා. ඒත් ඒ අය කවදාවත් තමන්ගේ පැවරුම අත්හැරියේ නැහැ. යෙහෝවා දෙවිගේ උදව්වෙන් ඒ පැවරුම සාර්ථකව ඉටු කළා. අපිට එයාලව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද?

දැඩි උත්සාහයක් ගත්තා

දවස ගානෙම කරන්න තියෙන වැඩ කන්දරාව නිසා අපිට ලොකු වෙහෙසක් දැනෙනවා. ඒ නිසා සේවයේ යන්න බැහැ කියලා හිතෙන්න පුළුවන්. ඇත්ත, අපිට විවේකය ඕනේ. යේසුස් සහ ඔහුගේ ගෝලයොත් විවේක ගත්තා. (මාක් 6:31) ඒත් බැබිලෝනියේ වහලුන් හැටියට හිටපු ඊශ්‍රායෙල්වරුන්ට අනාගතවක්තෘවරයෙක් විදිහට සේවය කරපු එසකියෙල් ගැන හිතන්න. එක අවස්ථාවකදී දෙවි එයාට කිව්වා ගඩොල් කැටයක් අරන් ඒකේ යෙරුසලමේ රූපසටහනක් කොටන්න කියලා. ඊටපස්සේ ඒ ගඩොල් කැටය ළඟ වම් පැත්තට හැරිලා දවස් 390කුත් දකුණු පැත්තට හැරිලා දවස් 40කුත් බිම දිගා වෙලා ඉන්න කිව්වා. දෙවිට ඕනෙ වුණේ නගරය වටලලා ඉන්න විදිහ එසකියෙල් ලවා රඟ දක්වලා පෙන්නන්නයි. ඒ ගැන දෙවි මෙහෙම කිව්වා. “මම ඔබව ලණුවලින් බඳින්නෙමි. එසේ කරන්නේ නුවර වටලාගෙන සිටිය යුතු දවස් අවසන් වන තුරු කිසිම පැත්තකට හැරෙන්න ඔබට නොහැකි වන ලෙසයි.” (එස. 4:1-8) එහෙම ඉද්දී ඊශ්‍රායෙල්වරුන්ගේ අවධානය අනිවාර්යයෙන්ම එසකියෙල්ට යොමු වෙන්න ඇති. අවුරුද්දකට වඩා වැඩි කාලයක් එකම ඉරියව්වෙන් ඉද්දී එසකියෙල්ගේ ඇඟට මොන තරම් වෙහෙසක් දැනෙන්න ඇද්ද! ඒත් එසකියෙල් ඒක කළා.

එයාට ඒක කරන්න පුළුවන් වුණේ තමන්ව අනාගතවක්තෘවරයෙක් විදිහට පත් කළේ ඇයි කියලා එයා තේරුම් අරගෙන හිටපු නිසයි. “ඔවුන් ඔබ කියන දෙය පිළිගත්තත් නැතත් ඔවුන් අතරෙහි සිටියේ සැබෑ අනාගතවක්තෘවරයෙකු බව අනිවාර්යයෙන්ම තේරුම්ගන්නවා” කියලා දෙවි කියපු දේ එයාගේ මතකයේ තිබුණා. (එස. 2:5) ඒ පැවරුම කැමැත්තෙන්ම කරන්න ඒක එයාට උදව් වුණා. “සතුරන් ඇවිත් අපේ නුවර අල්ලාගෙන” කියලා යෙරුසලමෙන් පණිවිඩයක් ලැබුණම ඊශ්‍රායෙල්වරුන්ට තේරුණා එසකියෙල් සැබෑ අනාගතවක්තෘවරයෙක් කියලා.—එස. 33:21, 33.

මේ දුෂ්ට සමාජය ළඟදීම විනාශ වෙනවා කියලා අද අපිත් මිනිසුන්ට කියනවා. අපේ ඇඟපතට මොන තරම් වෙහෙසක් දැනුණත් දේශනා කරන්න, නැවත බැලීම්, බයිබල් පාඩම් කරන්න පුළුවන් උපරිමය අපි කරනවා. ටිකක් හිතන්න, දුෂ්ට සමාජයේ විනාශය ගැන අපි මාර්ගයෙන් දැනුම් දෙන අනාවැකි එකිනෙක ඉටු වෙනවා දකිද්දී ඒවා ගැන දැනුම් දෙන්න දෙවි අපිව පාවිච්චි කරපු එක ගැන අපිට මොන තරම් තෘප්තියක් දැනෙයිද!

අධෛර්යය කරවන හැඟීම් පරාජය කළා

යෙහෝවා දෙවිගේ උදව්වෙන් අපේ උපරිමයෙන් අපි සේවය කළත් මිනිස්සු පණිවිඩයට ඒ තරම් හොඳ ප්‍රතිචාර නොදක්වද්දී අපි අධෛර්යය වෙන්න පුළුවන්. ඒ වෙලාවට අපි යෙරෙමියාව මතක් කරගමු. මිනිස්සු එයාට සමච්චල් කළා, අපහාස කළා. එක අවස්ථාවක එයා කොච්චර අධෛර්යය වුණාද කියනවා නම් “මින්පසු මම දෙවි ගැන කතා කරන්නේ නැහැ. ඔහුගේ නාමයෙන් මම කිසි දෙයක් ප්‍රකාශ කරන්නෙත් නැහැ” කියලා කිව්වා. ඒ ගැන අපි පුදුම වෙන්න ඕනෙ නැහැ. මොකද යෙරෙමියාත් අපි වගේ සාමාන්‍යය කෙනෙක්. ඒත් එයා දෙවිගේ පණිවිඩය දැනුම් දෙන එක නැවැත්තුවේ නැහැ. ඒ ඇයි? එයා මෙහෙම කියනවා. “ඔබේ වදන් මගේ හදවතට තදින් කාවැදී තිබූ නිසා එය ගින්නක් මෙන් මගේ ඇටකටු තුළ දැල්වුණේය. මට එය තවදුරටත් සිතේ තද කරගත නොහැකි විය. ඒ ගැන කතා නොකර සිටීම මට දරාගත නොහැකි වේදනාවකි.”—යෙරෙ. 20:7-9.

පණිවිඩයට මිනිස්සු ඇහුම්කන් දෙන්නේ නැති නිසා ඔයා තුළත් අධෛර්යය කරවන හැඟීම් ඇති වෙනවා නම් ඒවා පරාජය කරන්න පුළුවන් හොඳම විදිහ අපේ පණිවිඩය ගැන හොඳට හිතන එකයි. එහෙම හිතද්දී අපි තුළත් ලොකු උද්‍යෝගයක් ඇති වෙයි. ඒක හරියට “ගින්නක්” වගේ. ඒත් ඒ ගින්න දිගටම දැල්වෙන්න නම් අපි හැමදාම බයිබලය කියවලා ඒ ගැන හොඳට හිතන්න ඕනේ.

තමන් වටින්නේ නැහැ කියන හැඟීම එක්ක සටන් කළා

කලින් කරලා නැති, කරන විදිහ ගැන අවබෝධයක් නැති පැවරුමක් ලැබුණම සමහරු අන්දුන්කුන්දුන් වෙනවා. “ඔබ ගොස් ස්ත්‍රියක විවාහ කරගන්න. පසු කාලයකදී ඇය ඔබට ද්‍රෝහි වී වේශ්‍යාකමෙහි යෙදෙන්නීය. එමගින් ඇය දරුවන්ද බිහි කරන්නීය” කියලා යෙහෝවා දෙවි හොෂෙයාට කිව්වම එයාට හැඟුණෙත් එහෙම වෙන්න ඇති. (හොෂෙ. 1:2) ඔයා විවාහ වෙන්න යන කෙනා, පස්සේ ගණිකාවක් වෙනවා කියලා දෙවි කිව්වොත් ඔයාට කොහොම හැඟෙයිද? ඒත් හොෂෙයා ඒ පැවරුම භාර අරන් ගොමෙර්ව විවාහ කරගත්තා. පස්සේ එයාලට පුතෙක් ලැබුණා. ඊළඟට ලැබුණු දරුවන් දෙන්නා ගොමෙර් අනාචාරයේ යෙදුණු නිසා ලැබුණු දරුවන්. දෙවි හොෂෙයාට කිව්වේ එයා විවාහ වෙන කෙනා “පෙම්වතුන් පසුපස” යනවා කියලයි. ඒ කියන්නේ එක් කෙනෙක් නෙමේ එයා කීපදෙනෙක් පස්සේ යනවා කියන එක. කාලෙකට පස්සේ ගොමෙර් ආයෙත් හොෂෙයා ළඟට ආවා. ඔයා හොෂෙයා නම් ඔයා එයාව භාරගනියිද? හැබැයි දෙවි ඒ දේ කරන්න කියලා හොෂෙයාට කිව්වා. එයාව භාරගන්න ලොකු මුදලක් ගෙවන්නත් සිද්ධ වුණා.—හොෂෙ. 2:7; 3:1-5.

ඒ පැවරුම කරන එකේ ඇති ප්‍රයෝජනය මොකක්ද කියලා හොෂෙයාට එදා හිතෙන්න ඇති. ඒත් ඊශ්‍රායෙල්වරු දෙවිට ද්‍රෝහි වෙද්දී දෙවිට කොච්චර වේදනාවක් දැනෙන්න ඇද්ද කියලා තේරුම්ගන්න ඒක අපිට උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි සමහර ඊශ්‍රායෙල්වරු පසුතැවිලා ආයෙත් දෙවි වෙතට ආවා.

එදා හොෂෙයාට කරන්න කියපු දේ දෙවි අපෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒත් ඒ අමාරු පැවරුම භාරගත්ත හොෂෙයාගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද? එක දෙයක් තමයි “ප්‍රසිද්ධියේ සහ ගෙයින් ගෙට” ගිහින් දේශනා කරන එක අපිට කොච්චර අමාරු වුණත් ඒක කැමැත්තෙන් කරන්න ඕනෙ කියන දේ. (ක්‍රියා 20:20) සමහරවිට දේශනා කරන්න යොදාගන්න අලුත් ක්‍රමවලට හුරු වෙන එක ඔයාට අමාරුයි කියලා හිතෙනවා ඇති. සාක්ෂිකරුවන් එක්ක පාඩම් කරන වැඩිදෙනෙකුට හිතිලා තියෙන්නෙත් එයාලට කවදාවත් සේවයේ නම් යන්න බැහැ කියලයි. කවදාවත් කරන්න බැහැ කියලා හිතපු ඒ දේ කරන්න හුඟදෙනෙක්ට පස්සේ කාලෙකදී පුළුවන් වෙලා තියෙනවා. ඔයාටත් ඒකෙන් ඉගෙනගන්න පාඩමක් තියෙනවද?

හොෂෙයාගෙන් තවත් පාඩමක් ඉගෙනගන්න පුළුවන්. ඕනෙ නම් එයාට තිබුණා ඒ පැවරුම නොකර ඉන්න. අනික හොෂෙයා ඒ ගැන ලිව්වේ නැත්නම් ඒ වගේ පැවරුමක් එයාට ලැබුණා කියලා කවුරුත් දැනගන්නෙත් නැහැ. අපිටත් දෙවි ගැන සාක්ෂි දරන්න ලැබෙන සමහර අවස්ථා ගැන වෙන කවුරුත් දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඔයා මොකද කරන්නේ? ඇනාගේ ගුරුවරිය පන්තියේ හැමෝටම කිව්වා එයාලා තදින්ම විශ්වාස කරපු දෙයක් ගැන වාර්තාවක් ලියන්න කියලා. ඒක විශ්වාස කරන්න ඕනෙ ඇයි කියලා පන්තියේ ළමයිට පැහැදිලි කරන්න කියලත් කිව්වා. ඕනෙ නම් සාක්ෂි දරන්න ලැබුණු ඒ අවස්ථාව මඟහරින්න ඇනාට තිබුණා. ඒත් ඒ අවස්ථාව දුන්නේ දෙවියි කියලා හැඟුණු නිසා ඇනා උදව් ඉල්ලලා යාච්ඤා කළා. “පරිණාමවාදය ඇත්තක්ද” කියන මාතෘකාවෙන් වාර්තාවක් ලියලා සාක්ෂි දරන්න ලැබුණු ඒ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න ඇනා තීරණය කළා.

අපේ යෞවනයෝ අනාගතවක්තෘවරුන්ව ආදර්ශයට අරන් බය නැතුව සාක්ෂි දරනවා

වාර්තාව ඉදිරිපත් කරපු වෙලාවේ පරිණාමවාදය තදින්ම විශ්වාස කරපු ළමයෙක් ඇනාගෙන් ප්‍රශ්න වැලක් ඇහුවා. ඇනා ඒ හැම ප්‍රශ්නෙකටම උත්තර දුන්නා. ඇනාගේ වාර්තාව ගැන හුඟක් සතුටු වුණු එයාගේ ගුරුවරිය හොඳම වාර්තාවට හිමි තෑග්ග එයාට දුන්නා. ඊටපස්සේ ඇනා එයාගෙන් ප්‍රශ්න අහපු ළමයාත් එක්ක අවස්ථා කීපයකදීම නිර්මාතෘ ගැන සාකච්ඡා කළා. “දැන් මට දේශනා කරන්න කිසිම බයක් නැහැ” කියලා ඇනා කියනවා.

අපි අනාගතවක්තෘවරුන් නොවුණත් තමන්ගේ පහසුව ගැන හිතන්නේ නැතුව සේවය කරපු එසකියෙල්, යෙරෙමියා සහ හොෂෙයා වගේ අනාගතවක්තෘවරුන්ව ආදර්ශයට ගත්තොත් අපිටත් පුළුවන් දෙවි දීලා තියෙන පැවරුම හොඳින් ඉටු කරන්න. පවුලේ නමස්කාරයේදී, පෞද්ගලික අධ්‍යයනයේදී තවත් අනාගතවක්තෘවරුන් ගැන අධ්‍යයනය කරලා ඒ අයව ආදර්ශයට ගන්න පුළුවන් කොහොමද කියලා හිතන එක වටින්නේ නැද්ද?