එසකියෙල් 4:1-17

4  “මනුෂ්‍ය පුත්‍රය, ගඩොල් කැටයක් ගෙන එය ඔබ ඉදිරියේ තබා යෙරුසලම් නුවරේ+ රූපසටහනක් ඒ මත කැටයම් කරන්න.  ඊළඟට ඔබ එය වැටලිය යුතුය.+ එය වටා පස් වැටියක් හා පවුරක් ගොඩනඟන්න.+ එයට විරුද්ධව කඳවුරු බැඳගෙන එහි පවුරු බිඳ දැමීමට+ එය වටේටම යුධෝපකරණත් සිටුවා තබන්න.+  ඊළඟට ඔබ යකඩ තැටියක් ගෙන පවුරක් මෙන් නුවර හා ඔබ අතරේ තබන්න. ඉන්පසු නුවර දෙසට ඔබේ මුහුණ හරවන්න. නුවර වැටලීමේ කාර්යය භාර දී තිබෙන්නේ ඔබටයි. මේ සියල්ල ඊශ්‍රායෙල්වරුන්ට ලකුණක් පිණිස කරන්න.+  “ඔබ වම් පැත්තට හැරී දිගා වී සිටිය යුතුයි. ඔබ ඊශ්‍රායෙල් ජනයාගේ වැරදි ඔබේ වම්පසින් තබාගන්න.+ වම් පැත්තට හැරී දිගා වී සිටින දවස් ගණන පුරාම ඔවුන්ගේ වැරදි ඔබ දරනවා ඇත.  ඔවුන් වැරදි කරමින් ගත කරන වර්ෂ ගණන මම ඔබට දවස් ලෙස ප්‍රකාශ කරන්නෙමි.+ එය නම් දවස් තුන්සිය අනූවකි.+ ඒ කාලය පුරාම ඔබ ඊශ්‍රායෙල් ජනයාගේ වැරදි දැරිය යුතුයි.  ඒ කාලය අවසන් වන තෙක්ම ඔබ එයාකාරයෙන් සිටිය යුතුයි. “ඊළඟට ඔබ දකුණු පැත්තට හැරී දිගා වී සිටින්න. යූදා රාජ්‍යයේ අයුතුකම දවස් හතළිහක් පුරා දැරීමට ඔබට සිදු වේ.+ ඒ එක් දවසකින් නියෝජනය වන්නේ එක් අවුරුද්දකි.+  ඉන්පසුව ඔබේ මුහුණ යෙරුසලමේ වටලෑම දෙසට යොමු කර,+ ඔබේ අත* ඒ දෙසට දිගු කරමින් එයට විරුද්ධව අනාවැකි පවසන්න.  “මම ඔබව ලණුවලින් බඳින්නෙමි.+ එසේ කරන්නේ නුවර වටලාගෙන සිටිය යුතු දවස් අවසන් වන තුරු කිසිම පැත්තකට හැරෙන්න ඔබට නොහැකි වන ලෙසයි.  “ඔබ තිරිඟු,+ බාර්ලි, බෝංචි,+ පරිප්පු,+ මෙනේරි හා තණ හාල්*+ ගෙන, ඒවා බඳුනකට දමා ඔබේ ආහාරය සඳහා එයින් රොටි සාදාගන්න. ඔබ වම් පැත්තට හැරී දිගා වී සිටින දවස් තුන්සිය අනූව පුරාම රොටි සාදා අනුභව කළ යුතුයි.+ 10  ඔබ දවසකට ෂෙකෙල්* විස්සක බරින් යුත් ආහාර අනුභව කළ යුතුයි.+ එම ආහාර දවස පුරාම විටින් විට අනුභව කරන්න. 11  “ඔබ දවසකට පානය කරන ජලයත් මැනිය යුතුයි. එනම්, හින මිනුමෙන්* හයෙන් කොටසක්ය. ඔබ විටින් විට එයින් පානය කළ යුතුයි. 12  “ඔබ රවුම් බාර්ලි රොටි+ හා සමානව රොටි පිළියෙල කර කන්න. ඔබ ඒ රොටි පිලිස්සිය යුත්තේ ඔවුන් ඉදිරියේමය. ඒ සඳහා ඔබ ඉන්ධන ලෙස භාවිත කළ යුත්තේ මිනිසුන්ගේ අසූචිය.”+ 13  “මා ඊශ්‍රායෙල්වරුන්ව ජාතීන් අතරට විසුරුවාහරින විට+ ඔවුන්ටද එලෙසින්ම අපවිත්‍ර රොටි+ අනුභව කරන්න සිදු වෙනවා ඇත” කියා යෙහෝවා දෙවි පැවසීය. 14  එවිට මම මෙසේ කීවෙමි. “අනේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවියනි, මා අපවිත්‍ර කෙනෙක් නම් නොවේ.+ මගේ තරුණ කාලයේ සිට මේ දක්වාම මිය ගිය සතෙකුගේ හෝ ඉරා දමා මරනු ලැබූ කිසිම සතෙකුගේ හෝ මස් මාංස මම ආහාරයට ගෙන නැත.+ අපවිත්‍ර වූ මස් මම කෙදිනකවත් අනුභව නොකළෙමි.”+ 15  එවිට දෙවි මට මෙසේ පැවසීය. “මිනිස් අසූචි වෙනුවට ගොම යොදාගැනීමට මම ඔබට අවසර දෙන්නෙමි. ඔබ එම ගොම යොදාගෙන රොටි පුලුස්සාගන්න.” 16  ඔහු මට මෙසේද පැවසුවේය. “මනුෂ්‍ය පුත්‍රය, මම යෙරුසලමේ පිහිටා ඇති ආහාර ගබඩාවන්* කඩා බිඳ දමන්නෙමි.+ මහත් කනස්සල්ලකින් යුතුව කෑම කිරා කන්න ඔවුන්ට සිදු වේ.+ ඔවුන්ට ජලය පානය කරන්න සිදු වන්නෙත් මහත් භීතියකින් යුතුවය. ඔවුහු එයද මැන බොන්නෝය.+ 17  ඒ කාලයේදී ආහාර හිඟයක්ද ජල හිඟයක්ද ඇති වන්නේය. ඔවුහු එකිනෙකා දෙස පුදුමයෙන් බලා සිටින අතර, තමන් කළ වැරදි නිසා වැහැරී යන්නෝය.+

පාදසටහන්

මූ.අ., “නොවැසූ අත.”
නික් 9:32හි පාදසටහන බලන්න.
ෂෙකෙලයක් යනු ග්‍රෑම් 11.4කි.
හින මිනුමක් යනු ලීටර් 3.67කි.
ලෙවී 26:26හි පාදසටහන බලන්න.