Skip to content

පටුනට යන්න

පාඩම් ලිපිය 34

ඔයාව සභාවට ගොඩක් වටිනවා

ඔයාව සභාවට ගොඩක් වටිනවා

“මිනිස් ශරීරයේ අවයව බොහොමයක් තිබේ. අවයව බොහොමයක් තිබුණත් එය එකම ශරීරය වේ. ක්‍රිස්තුස්ගේ ශරීරය ගැනත් එසේම පැවසිය හැක.”—1 කොරි. 12:12.

ගීතිකාව 101 එක්සත්ව සේවය කරමු

මේ ලිපියෙන් *

1. අපිට ලැබිලා තියෙන වරප්‍රසාදය මොකක්ද?

යෙහෝවා දෙවියන්ගේ සෙනඟට එකතු වෙන්න ලැබුණ එක අපිට ලැබුණු මොන තරම් වටින වරප්‍රසාදයක්ද! සභාවේ ඉන්න සහෝදර සහෝදරියන් එක්ක එකතු වෙලා දෙවියන්ට නමස්කාර කරද්දී අපි මොන තරම් සතුටක්, සාමයක් අද්දකිනවාද! සභාවේ ඔයාට පැවරිලා තියෙන කාර්යය මොකක්ද?

2. පාවුල් ලියපු ලිපි කීපයකම එයා පාවිච්චි කරපු උදාහරණය මොකක්ද?

2 සභාවේ අපිට තියෙන කාර්යය පැහැදිලි කරන්න පාවුල් උදාහරණයක් පාවිච්චි කළා. එයා ඒ උදාහරණය එයාගේ ලිපි කීපයකම සඳහන් කරලා තියෙනවා. පාවුල් ඒ ලිපිවල ක්‍රිස්තියානි සභාව මිනිස් සිරුරකට සමාන කරනවා. සභාවේ ඉන්න එක් එක් කෙනාව සිරුරේ තියෙන අවයවවලට සමාන කළා.—රෝම 12:4-8; 1 කොරි. 12:12-27; එෆී. 4:16.

3. අපි මේ ලිපියෙන් බලන්නේ මොනවා ගැනද?

3 පාවුල් සඳහන් කරපු උදාහරණයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම් තුනක් ගැන මේ ලිපියෙන් බලමු. ඒ මොනවාද? (1) සභාවේ අපි එක් එක් කෙනාට කරන්න වැදගත් කාර්යයක් * තියෙනවා. (2) සභාවේ අපිට කරන්න තියෙන කාර්යය මොකක්ද කියලා අපිට තේරුම්ගන්න අමාරුයි නම් අපි මොනවාද කරන්න ඕනේ? (3) අපි ඒ කාර්යය උද්‍යෝගයෙන් කරන්න ඕනෙ ඇයි?

අපි එක් එක් කෙනාට කරන්න කාර්යයක් තියෙනවා

4. රෝම 12:4, 5 අපි ඉගෙනගන්නේ මොකක්ද?

4 පාවුල් පාවිච්චි කරපු උදාහරණයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් පළවෙනි පාඩම තමයි දෙවියන්ගේ පවුලේ අපි එක් එක් කෙනාට කරන්න වැදගත් කාර්යයක් තියෙනවා කියන දේ. පාවුල් එයාගේ උදාහරණේ පටන්ගන්නේ මේ විදිහටයි. “එකම ශරීරයේ අවයව බොහොමයක් තිබුණත් ඒ අවයව සියල්ලෙන් එකම කාර්යයක් සිදු වන්නේ නැත. අපද ඒ හා සමානය. බොහෝදෙනෙකු සිටියත් අපි සියලුදෙනාම ක්‍රිස්තුස් සමඟ එකට බැඳී සිටින එකම ශරීරයක් වන්නෙමු. එහෙයින් අපි එම ශරීරයේ එකිනෙකා මත රඳා සිටින අවයවයන් වෙමු.” (රෝම 12:4, 5) පාවුල් ඒකෙන් අදහස් කළේ මොකක්ද? එයා කියන්නේ අපි එක් එක් කෙනාට සභාවේ කරන්න තියෙන කාර්යය වෙනස් වුණත් අපි හැම කෙනෙක්වම දෙවියන්ට වටිනවා කියලයි.

සභාවේ අපි එක් එක් කෙනාට කරන්න තියෙන කාර්යයන් වෙනස් වුණත් අපි හැමෝවම යෙහෝවා දෙවියන්ට ගොඩක් වටිනවා (5-12 ඡේද බලන්න) *

5. යෙහෝවා දෙවියන් සභාවට දීලා තියෙන්නේ මොන ‘තෑගිද’?

5 සභාවේ කාර්යයන් කරන අය ගැන හිතද්දී අපිට එකපාරටම පෙරමුණ අරන් වැඩ කරන අයව මතක් වෙනවා. (1 තෙස. 5:12; හෙබ්‍රෙ. 13:17) ඒක ඇත්ත, යෙහෝවා දෙවියන් යේසුස් මාර්ගයෙන් ඒ පුරුෂයන්ව සභාවට දීලා තියෙන්නේ “තෑගි” විදිහට. (එෆී. 4:8) “තෑගි වශයෙන්” දුන්න ඒ පුරුෂයන්ට පාලක මණ්ඩලයේ සහෝදරයන්, පාලක මණ්ඩලයට උපකාර කරන්නන්, ශාඛා කමිටු සාමාජිකයන්, චාරිකා සේවකයන්, පාසැල් උපදේශකයන්, වැඩිමහල්ලන් සහ සහායක සේවකයන් ඇතුළත්. යෙහෝවා දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ඒ සහෝදරයන්ව පත් කරලා තියෙන්නේ ඔහුට ගොඩක් වටින ඔහුගේ බැටළුවන්ව බලාගන්නත් එයාලව ශක්තිමත් කරන්නත් ඔහුට ඕනෙ නිසයි.—1 පේතෘ. 5:2, 3.

6. 1 තෙසලෝනික 2:6-8 අනුව දෙවියන්ගේ බලයෙන් පත් කරපු සහෝදරයන් කරන්න උත්සාහ කරන්නේ මොනවාද?

6 යෙහෝවා දෙවියන් ඔහුගේ බලයෙන් සහෝදරයන්ව පත් කරලා තියෙන්නේ සභාවේ විවිධ වගකීම් කරන්න. ශරීරයේ විවිධ අවයව, උදාහරණෙකට අත් දෙකත් කකුල් දෙකත් මුළු ශරීරයේම ප්‍රයෝජනය වෙනුවෙන් වැඩ කරනවා වගේ පත් කරපු සහෝදරයනුත් මුළු සභාවේම ප්‍රයෝජනය වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරනවා. එයාලා ඒක කරන්නේ අනිත් අයගේ ගෞරවය, ප්‍රශංසාව බලාගෙන නෙමෙයි. ඒ වෙනුවට එයාලට ඕනෙ අපේ සහෝදර සහෝදරියන්ව දිරිගන්වලා එයාලව ශක්තිමත් කරන්නයි. (1 තෙසලෝනික 2:6-8 කියවන්න.) තමන්ගේ ප්‍රයෝජනය ගැන හිතන්නේ නැතුව අනිත් අය ගැන හිතන ඒ සහෝදරයන්ව දුන්න එක ගැන අපි යෙහෝවා දෙවියන්ට කොයි තරම් ස්තුති කරන්න ඕනෙද!

7. පූර්ණකාලීන සේවය කරන අය ලබන ආශීර්වාද මොනවාද?

7 සභාවේ ඉන්න සමහරුන්ට මිෂනාරිවරුන්, විශේෂ පුරෝගාමීන්, ස්ථාවර පුරෝගාමීන් විදිහට සේවය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඇත්තටම ලෝකේ පුරාම ඉන්න සහෝදර සහෝදරියන් හුඟදෙනෙක් දේශනා කරන සහ උගන්වන කාර්යයට එයාලගේ සම්පූර්ණ කාලය කැප කරලා තියෙනවා. ඒ නිසා එයාලට පුළුවන් වෙලා තියෙනවා හුඟදෙනෙක්ට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන්න. සාමාන්‍යයෙන් එයාලට ගොඩක් සල්ලි, බඩු මුට්ටු නැහැ. ඒත් එයාලට යෙහෝවා දෙවියන්ගෙන් ලැබෙන ආශීර්වාදවල නම් අඩුවක් නැහැ. (මාක් 10:29, 30) අපි එයාලට ගොඩක් ආදරෙයි. ඒ වගේ අය අපේ සභාවේ ඉන්න එක අපිට ලොකු සතුටක්.

8. හැම ප්‍රචාරකයෙක්වම යෙහෝවා දෙවියන්ට වටින්නේ ඇයි?

8 සභාවේ වැදගත් කාර්යයක් කරන්නේ පත් කරපු පුරුෂයන් සහ පූර්ණකාලීන සේවකයන් විතරද? නැහැ. සභාවේ ඉන්න ප්‍රචාරකයන් හැමෝවම යෙහෝවා දෙවියන්ටත් සභාවටත් ගොඩක් වටිනවා. (රෝම 10:15; 1 කොරි. 3:6-9) ඇත්තටම සභාවේ ඉන්න හැමෝම එකතු වෙලා කරන්න ඕනෙ වැදගත් කාර්යයක් තමයි අනිත් අයට යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න උදව් කරන එක. (මතෙ. 28:19, 20; 1 තිමෝ. 2:4) සභාවත් එක්ක ඇසුරු කරන බව්තීස්ම වුණ සහ නොවුණ හැම ප්‍රචාරකයෙක්ම ඒ සේවයට එයාලගේ ජීවිතයේ මුල් තැන දෙන්න ගොඩක් මහන්සි වෙනවා.—මතෙ. 24:14.

9. අපිට අපේ සහෝදරියන්ව ගොඩක් වටින්නේ ඇයි?

9 යෙහෝවා දෙවියන් අපේ සහෝදරියන්ටත් සභාවේ වටිනා තැනක් දීලා තියෙනවා. ඔහුට විශ්වාසවන්තව සේවය කරන අපේ භාර්යාවන්, මව්වරු, වැන්දඹුවන් සහ තනිකඩ සහෝදරියන්ව ඔහුට ගොඩක් වටිනවා. යෙහෝවා දෙවියන් සතුටු වෙන විදිහට ජීවත් වුණු හුඟක් කාන්තාවන් ගැන බයිබලේ සඳහන් වෙනවා. එයාලා නුවණ ඇතිව වැඩ කරපු විදිහ, එයාලගේ විශ්වාසය, උද්‍යෝගය, ත්‍යාගශීලීකම, ධෛර්යය සහ එයාලා කරපු තවත් යහපත් දේවල් ගැන බයිබලේ ලොකු අගයකින් කතා කරලා තියෙනවා. (ලූක් 8:2, 3; ක්‍රියා 16:14, 15; රෝම 16:3, 6; ෆිලි. 4:3; හෙබ්‍රෙ. 11:11, 31, 35) ඒ වගේ ලස්සන ගතිගුණ තියෙන සහෝදරියන් අපේ සභාවලත් ඉන්නවා. එයාලා අපිත් එක්ක ඉන්න එක ගැන අපි යෙහෝවා දෙවියන්ට කොච්චර ස්තුති කරන්න ඕනෙද!

10. අපේ වයසක සහෝදර සහෝදරියන්ව අපිට වටින්නේ ඇයි?

10 අපේ සභාවල ඉන්න මහලු සහෝදර සහෝදරියන්ව අපිට ගොඩක් වටිනවා. සමහර සභාවල එයාලගේ ජීවිත කාලය පුරාම දෙවියන්ට විශ්වාසවන්තව සේවය කරපු මහලු සහෝදර සහෝදරියන් ඉන්නවා. තවත් අය සත්‍යයට ඇවිල්ලා තියෙන්නේ ළඟදී. එයාලගේ මහලු වයස නිසා ඇති වෙලා තියෙන අසනීපත් එක්ක එයාලා පොරබදිනවා. ඒ නිසා එයාලට හිතේ හැටියට සේවයේ යන්න, සභාවේ දේවල් කරන්න බැහැ. ඒත් එයාලා දේශනා සේවයේ එයාලට පුළුවන් දේ කරනවා. අනිත් අයව දිරිගන්වන්න, එයාලව පුහුණු කරන්න එයාලගේ උපරිමය කරනවා. එයාලගේ අද්දැකීම්වලින් අපිට ගොඩක් දේවල් ඉගෙනගන්න පුළුවන්. යෙහෝවා දෙවියන් සහ අපි එයාලව සලකන්නේ වටිනා සම්පතක් විදිහටයි.—හිතෝ. 16:31.

11-12. ඔයාගේ සභාවේ ඉන්න දුවලා, පුතාලා ඔයාට දිරිගැන්වීමක් වෙලා තියෙන්නේ කොහොමද?

11 අපේ දුවලා, පුතාලා ගැන ටිකක් හිතන්න. එයාලට ඇතිදැඩි වෙන්න වෙලා තියෙන්නේ සාතන්ගේ දුෂ්ට සමාජයේ. ඒ සමාජයේ තියෙන ඉගැන්වීම් නිසා එයාලට හැම දවසකම වගේ ලොකු පීඩනයකට මුහුණ දෙන්න වෙනවා. (1 යොහ. 5:19) ඒ වුණත් එයාලා රැස්වීම්වලදී අදහස් දක්වද්දී, සේවයේ යද්දී, එයාලගේ විශ්වාසයන්ට එකඟව ජීවත් වෙද්දී, ඒ වෙනුවෙන් කතා කරද්දී ඒක අපිට කොයි තරම් දිරිගැන්වීමක්ද! දුවේ, පුතේ යෙහෝවා දෙවියන්ගේ සංවිධානයේ කරන්න ඔයාලට ලොකු වැඩ කොටසක් තියෙනවා.—ගීතා. 8:2.

12 සමහර සහෝදර සහෝදරියන්ට හිතෙනවා එයාලට සභාවේ කරන්න වටිනා කාර්යයක් නැහැ කියලා. අපිට එහෙම හිතෙනවා නම් අපි කොහොමද ඒකෙන් ගොඩ එන්නේ? ඒ ගැන දැන් අපි බලමු.

සභාවට ඔයා ගොඩක් වටිනවා

13-14. තමන් සභාවට වටින්නේ නැහැ කියලා සමහර අයට හිතෙන්නේ ඇයි?

13 පාවුල්ගේ උදාහරණයෙන් අපිට ඉගෙනගන්න පුළුවන් දෙවෙනි පාඩම මොකක්ද? එතන පාවුල් අද ඉන්න හුඟදෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් ගැන විස්තර කරනවා. හුඟදෙනෙක් හිතන්නේ තමන් සභාවට වටින්නේ නැහැ කියලයි. පාවුල් ඒ ගැන මෙහෙම කියනවා. “එහෙයින් පාදය, ‘මා අතක් නොවන නිසා මා ශරීරයේ කොටසක් නොවෙයි’ කියා පැවසූ පමණින් එය ශරීරයේ කොටසක් නොවෙයි කියා පැවසිය නොහැක. එමෙන්ම කන, ‘මා ඇසක් නොවන නිසා මා ශරීරයේ කොටසක් නොවෙයි’ කියා පැවසූ පමණින් එය ශරීරයේ කොටසක් නොවෙයි කියා පැවසිය නොහැක.” (1 කොරි. 12:15, 16) ඒකෙන් පාවුල් මොනවාද කියන්න හදන්නේ?

14 ඔයා ඔයාගේ සභාවේ ඉන්න අනිත් අයත් එක්ක ඔයාව සන්සන්දනය කරන්න ගියොත් ඔයාගේ වටිනාකම ඔයාට පේන්නේ නැති වෙන්න පුළුවන්. සභාවේ ඉන්න සමහර අය දක්ෂ ගුරුවරුන්. තවත් අයට දේවල් හොඳට සංවිධානය කරන්න පුළුවන්. තවත් අයට පුළුවන් අනිත් අයව හොඳට සනසන්න, දිරිගන්වන්න. එයාලා තරම් දේවල් හොඳට කරන්න බැහැ කියලා සමහරවිට ඔයාට හිතෙන්න පුළුවන්. ඒකෙන් පේනවා ඔයා නිහතමානී කෙනෙක් කියලා. (ෆිලි. 2:3) ඒත් එහෙම හිතන එකේ අනතුරකුත් තියෙනවා. ඔයා නිතරම වගේ දක්ෂ විදිහට දේවල් කරන අයත් එක්ක ඔයාව සසඳන්න ගියොත් ඔයා අධෛර්යය වෙන්න පුළුවන්. සමහරවිට පාවුල් කිව්වා වගේ සභාවේ ඔයාට කරන්න තරම් කාර්යයක් නැහැ කියලා ඔයාට හිතෙන්න පුළුවන්. ඔයාටත් එහෙම හිතෙනවා නම් ඒකෙන් ගොඩ එන්න කරන්න පුළුවන් මොනවාද?

15. 1 කොරින්ති 12:4-11 අනුව අපිට ලැබිලා තියෙන දීමනා ගැන අපි තේරුම්ගන්න ඕනෙ මොනවාද?

15 මේ ගැන ටිකක් හිතන්න. මුල් සියවසේ හිටපු සමහර ක්‍රිස්තියානීන්ට යෙහෝවා දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් විවිධ දීමනා දුන්නත් ඒ හැමෝටම එකම විදිහේ දීමනා දුන්නේ නැහැ. (1 කොරින්ති 12:4-11 කියවන්න.) යෙහෝවා දෙවියන් ඒ එක් එක් කෙනාට එකිනෙකට වෙනස් දීමනා දුන්නත් ඒ හැම කෙනෙක්වම ඔහු වටිනා අය විදිහට සැලකුවා. අද දෙවියන් ඔහුගේ බලය මාර්ගයෙන් ආශ්චර්යවත් විදිහට අපිට දීමනා දෙන්නේ නැහැ. ඒත් ඒ ප්‍රතිපත්තිය අදටත් අදාළයි. අපි හැමෝටම එකම විදිහේ දක්ෂතා තිබුණේ නැතත් අපි හැමෝවම යෙහෝවා දෙවියන්ට ගොඩක් වටිනවා.

16. අපි අදාළ කරගන්න ඕනෙ පාවුල් කියපු මොන දේද?

16 අපිව සභාවේ ඉන්න අනිත් අයත් එක්ක සන්සන්දනය කරනවා වෙනුවට අපි පාවුල් කියපු මේ දේ අදාළ කරගන්න ඕනේ. එයා මෙහෙම කිව්වා. “සෑම කෙනෙක්ම තමා කරන දේවල් ගැන සෝදිසියෙන් සිටිය යුතුයි. එවිට තමා කළ දේ ගැන සතුටු වීමට ඔහුට පුළුවන. මෙහිදී අන් අය සමඟ සැසඳීම් කිරීම අවශ්‍ය වන්නේ නැත.”—ගලා. 6:4.

17. පාවුල් කියපු දේ අදාළ කරගද්දී ඒකෙන් අපිට ප්‍රයෝජන ලැබෙන්නේ කොහොමද?

17 පාවුල් දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් දුන්න උපදෙස අදාළ කරගෙන අපි කරන දේවල් ගැන අපි හොඳට හිතුවොත් අනිත් අයට නැති හැකියාවන් අපි ළඟ තියෙනවා කියලා දකින්න අපිට පුළුවන් වෙයි. උදාහරණෙකට වැඩිමහල්ලෙක්ට දක්ෂ විදිහට දේශන දෙන්න බැරි වෙන්න පුළුවන්. ඒත් යේසුස්ගේ අනුගාමිකයන් වෙන්න අනිත් අයට උදව් කරන්න එයා දක්ෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වැඩිමහල්ලෙකුට අනිත් වැඩිමහල්ලන් වගේ දේවල් හොඳට සංවිධානය කරන්න බැරි වෙන්න පුළුවන්. ඒත් එයා ආදරණීය කෙනෙක් නිසා සහෝදර සහෝදරියන්ට බය නැතුව එයා ළඟට ඇවිත් එයාගෙන් ඕනෙම මඟ පෙන්වීමක් ඉල්ලන්න පුළුවන්. එහෙම නැත්නම් එයා ආගන්තුක සත්කාරයට ළැදි කෙනෙක් වෙන්න පුළුවන්. (හෙබ්‍රෙ. 13:2, 16) අපිට හොඳින් කරන්න පුළුවන් දේවල් ගැන අපි හොඳට හිතුවොත් සභාවේ අය වෙනුවෙන් අපිටත් දෙයක් කරන්න පුළුවන් කියන හැඟීම අපි තුළ ඇති වෙනවා. ඒ වගේම අපිට වඩා වෙනස් හැකියාවන් තියෙන සහෝදර සහෝදරියන් ගැන අපේ හිතේ ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න තියෙන ඉඩකඩත් අඩුයි.

18. අපිට අපේ හැකියාවන් තව දියුණු කරගන්න පුළුවන් කොහොමද?

18 අපිට සභාවේ කරන්න මොන කාර්යය පැවරිලා තිබුණත් අපි කරන සේවය තව හොඳින් කරන්නත් අපේ දක්ෂතා තව දියුණු කරගන්නත් අපිට ආසාවක් තියෙන්න ඕනේ. අපේ හැකියාවන් තව දියුණු කරගන්න යෙහෝවා දෙවියන් ඔහුගේ සංවිධානය මාර්ගයෙන් අපිව පුහුණු කරනවා. උදාහරණෙකට සති මැද රැස්වීමෙන් දේශනා කරන සහ උගන්වන කාර්යය තවත් හොඳින් කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් අපිට ලැබෙනවා. ලැබෙන ඒ මඟ පෙන්වීම් ඔයා අදාළ කරගන්නවාද?

19. ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට සහභාගි වෙන්න ඔයාට තියෙන ඉලක්කය ජය ගන්න පුළුවන් කොහොමද?

19 යෙහෝවා දෙවියන් අපිව පුහුණු කරන තවත් විදිහක් තමයි ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැල. වයස 23ත් 65ත් අතර ඉන්න පූර්ණකාලීනව සේවයේ හවුල් වෙන සහෝදර සහෝදරියන්ට ඒ පාසැලට අයදුම් කරන්න පුළුවන්. ඒ පාසැලට යන්න ඔයාට නම් කවදාවත් බැහැ කියලා සමහරවිට ඔයාට හිතෙයි. ඒත් ඒ පාසැලට ඔයාට යන්න බැරි හේතු ගැන හිතනවා වෙනුවට ඒ පාසැලට ඔයා යන්න ආස මොන හේතු නිසාද කියලා හිතන්න. ඊටපස්සේ ඒ පාසැලට යන්න ඕනෙ සුදුසුකම් ලබාගන්න ඔයා කරන්න ඕනෙ මොනවාද කියලා සැලසුම් කරන්න. යෙහෝවා දෙවියන්ගේ උදව්වයි, ඔයාගේ පැත්තෙන් ඔයා වෙන මහන්සියයි එකතු වුණාම ජය ගන්න බැහැ කියලා හිතෙන ඒ ඉලක්කය ජය ගන්න ඔයාට පුළුවන්.

ඔයාට තියෙන හැකියාවන් පාවිච්චි කරලා සභාවේ අයව ශක්තිමත් කරන්න

20. රෝම 12:6-8 අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

20 පාවුල්ගේ උදාහරණෙන් අපිට ඉගෙනගන්න පුළුවන් තුන්වෙනි පාඩම රෝම 12:6-8 (කියවන්න.) සඳහන් දෙයින් අපිට තේරුම්ගන්න පුළුවන්. එතනදී පාවුල් ආයෙත් කියන්නේ සභාවේ ඉන්න අයට තියෙන හැකියාවන් වෙනස් කියලයි. ඒත් මෙතනදී එයා වැඩියෙන්ම කාවද්දන්නේ අපි ඒවා පාවිච්චි කරලා සභාවේ ඉන්න අයව ශක්තිමත් කරන්න ඕනෙ කියන දේ.

21-22. රොබට් සහ ෆෙලීස්ගෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

21 රොබට්ගේ අද්දැකීම බලන්න. * වෙනත් රටක සේවය කරකර හිටපු රොබට්ට එයාගේ රටේ බෙතෙල් එකේ සේවය කරන්න පැවරුමක් ලැබුණා. පැවරුම වෙනස් වුණේ එයාගේ අඩුපාඩුවක් නිසා නෙමෙයි කියලා සහෝදරයන් කිව්වත් රොබට් මෙහෙම කියනවා. “මං මාස ගාණක්ම හිටියේ දුකෙන්. මං හිතුවේ මගේ පැවරුම මං හරියට කළේ නැහැ කියලයි. බෙතෙල් එකෙන් යන්නත් මං කීප වතාවක්ම හිතුවා.” ආයෙත් එයාට සතුටින් සේවය කරන්න පුළුවන් වුණේ කොහොමද? වැඩිමහල්ලෙක් රොබට්ට මේ වගේ දෙයක් කිව්වා. “අපි දැන් කරන පැවරුම හොඳට කරන්න අපි කලින් කරපු හැම පැවරුමකදීම යෙහෝවා දෙවියන් අපිව පුහුණු කරනවා.” අතීතය ගැන ළත වෙවී ඉන්නේ නැතුව දැන් කරන්න පුළුවන් දේ ගැන හිතන එකයි වැදගත් කියලා රොබට් තේරුම්ගත්තා.

22 සහෝදර ෆෙලීස් එපිස්කෝපො මුහුණ දුන්නෙත් ඒ වගේ දේකට. එයයි, එයාගේ බිරිඳයි 1956දී ගිලියද් පාසැලට සහභාගි වුණාට පස්සේ එයාලට පැවරුමක් ලැබුණා බොලීවියාවේ චාරිකා සේවය කරන්න. ඒත් 1964දී එයාලට පුතෙක් ලැබුණා. ෆෙලීස් මෙහෙම කියනවා. “අපි ගොඩක් ආසාවෙන් කරකර හිටපු පැවරුම දාලා යන එක අපිට හරිම අමාරු දෙයක් වුණා. අවුරුද්දක් විතර මං ඒ ගැන හිතහිත ගොඩක් දුක් වුණා. ඒත් යෙහෝවා දෙවියන්ගේ උදව්වෙන් මං හිතපු විදිහ වෙනස් කරගෙන තාත්තා කෙනෙක් විදිහට මට ලැබුණු පැවරුමට මං අවධානය දෙන්න පටන්ගත්තා.” ඔයාටත් රොබට්ට සහ ෆෙලීස්ට වගේ හැඟෙනවාද? කලින් පැවරුම දැන් නැති එක ගැන හිතද්දී ඔයාට අධෛර්යයක් දැනෙනවාද? ඒ ගැනම හිතහිත ඉන්නවා වෙනුවට යෙහෝවා දෙවියන්ට සහ සභාවේ අය වෙනුවෙන් දැන් ඔයාට කරන්න පුළුවන් දේ ගැන හිතනවා නම් ඔයාට සතුටෙන් ඉන්න පුළුවන්. ඔයාගේ උපරිමයෙන් ඔයාගේ හැකියාවන් පාවිච්චි කරලා අනිත් අයට උදව් කරන්න. සභාව ශක්තිමත් වෙනවා දකිද්දී ඔයාට ලොකු සතුටක් දැනෙයි.

23. අපි කරන්න ඕනෙ මොනවාද? අපි ඊළඟ ලිපියෙන් බලන්නේ මොනවාද?

23 යෙහෝවා දෙවියන්ට අපි හැම කෙනෙක්වම ගොඩක් වටිනවා. ඔහුට ඕනෙ අපි ඔහුගේ පවුලේ සාමාජිකයන් කියන හැඟීම ඇතුව ඉන්නවාටයි. සහෝදර සහෝදරියන්ව ශක්තිමත් කරන්න අපිට කරන්න පුළුවන් මොනවාද කියලා කාලය අරන් හොඳට හිතනවා නම් ඒ දේවල් උපරිමයෙන් කරනවා නම් සභාවට මාව වැඩක් නැහැ, මාව වටින්නේ නැහැ කියලා අපිට හිතෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. සභාවේ සහෝදර සහෝදරියන්ව අපි දකින්න ඕනෙ කොහොමද? එයාලව අගය කරනවා කියලා අපිට පෙන්නන්න පුළුවන් කොහොමද? ඒ ගැන අපි ඊළඟ ලිපියෙන් බලමු.

ගීතිකාව 24 එන්න දෙවිගේ කන්දට

^ 5 ඡේ. යෙහෝවා දෙවියන් මට ආදරෙයි, ඔහුට මාව හුඟක් වටිනවා කියලා හිතන්නයි අපි හැමෝම කැමති. ඒත් දෙවියන්ට මාව වටිනවාද? ඔහුට ඇත්තෙන්ම මගෙන් වැඩක් තියෙනවාද කියලා සමහර වෙලාවට අපිට හිතෙන්න පුළුවන්. සභාවේ අපි එක් එක් කෙනාට වැදගත් කාර්යයක් තියෙනවා කියලා තේරුම්ගන්න මේ ලිපිය අපිට උදව් වෙයි.

^ 3 ඡේ. පැහැදිලි කිරීමක්: සභාවේ අපිට කරන්න තියෙන කාර්යය කියද්දී ඒකෙන් අදහස් වෙන්නේ සභාවේ ඉන්න අයව ශක්තිමත් කරන්න අපි එක් එක් කෙනාට කරන්න පුළුවන් දේ. ඒ කාර්යය කරන්න අපේ ජාතිය, අපිට සල්ලි තියෙනවාද නැද්ද, අපේ පවුල් පසුබිම, අපේ සිරිත් විරිත් හෝ අධ්‍යාපන මට්ටම බලපාන්නේ නැහැ.

^ 21 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

^ 63 ඡේ. පින්තූරයේ අදහස: පින්තූර තුනෙන් පෙන්නන්නේ රැස්වීමකට කලින්, රැස්වීම අතරතුරේ සහ රැස්වීමෙන් පස්සේ වෙන දේවලුයි. 1 පින්තූරය: වැඩිමහල්ලෙක් අලුතෙන් ආපු කෙනෙක්ව සාදරයෙන් පිළිගන්නවා. සහෝදරයෙක් ශබ්ද විකාශන අංශයට උදව් කරනවා. සහෝදරියක් වැඩිහිටි සහෝදරියක් එක්ක කතා කරනවා. 2 පින්තූරය: බාල මහලු හැමෝම ‘මුරටැඹ’ පාඩමට අදහස් දක්වන්න අත උස්සනවා. 3 පින්තූරය: යුවළක් නමස්කාර මධ්‍යස්ථානය පිරිසිදු කරන්න හවුල් වෙනවා. අම්මා කෙනෙක් එයාගේ දුවට සම්මාදම් දාන්න උදව් කරනවා. තරුණ සහෝදරයෙක් පොත් අංශයේ වැඩක් කරනවා. සහෝදරයෙක් මහලු සහෝදරියකව දිරිගන්වනවා.