Skip to content

පටුනට යන්න

78වෙනි පාඩම

යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරයි

යේසුස් දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කරයි

බව්තීස්ම වුණාට පස්සේ යේසුස් ‘දෙවිගේ රාජ්‍යය ළං වෙලා’ කියලා දේශනා කරන්න පටන්ගත්තා. ගලීලයේ, යුදයේ දේශනා කරද්දී ගෝලයනුත් යේසුස් එක්ක ගියා. යේසුස් ඇතිදැඩි වුණු නාසරෙත්වලට ආවම ඔහු සිනගෝගයට ගිහින් යෙසායාගේ ලියවිල්ල දිගඇරලා ‘යෙහෝවා දෙවි මට බලය දුන්නේ ශුභාරංචිය දේශනා කරන්නයි’ කියන කොටස හැමෝටම ඇහෙන්න කියෙව්වා. යේසුස් ඒ කොටස කියෙව්වේ තමන්ට දෙවිගෙන් බලය ලැබිලා තියෙන ප්‍රධාන හේතුව ශුභාරංචිය දේශනා කරන්න මිසක් බලවත් ක්‍රියාවන් කරන්න නෙමෙයි කියලා මිනිසුන්ට පැහැදිලි කරන්නයි. ඒක කියෙව්වට පස්සේ යේසුස් කිව්වා ‘මේ අනාවැකිය දැන් ඉටු වුණා’ කියලා.

ඊළඟට යේසුස් ගලීල මුහුද ළඟට ගියාම පේතෘස්, අන්දෘ, යාකොබ්, යොහන් කියන ධීවරයන් හතරදෙනා ගෝලයන් වුණා. යේසුස් එයාලට කිව්වේ ‘මං එක්ක එන්න. මං ඔයාලව මිනිසුන් අල්ලන්නන් කරන්නම්’ කියලයි. එයාලා මාළු අල්ලන එක නතර කරලා යේසුස් එක්ක ගියා. මුළු ගලීලය පුරාම එයාලා යෙහෝවා දෙවිගේ රාජ්‍යය ගැන දේශනා කළා. සිනගෝගවලත් වෙළඳපොළවල්වලත් පාරවල්වලත් එයාලා දේශනා කළා. එයාලා ගිය හැම තැනකදීම ලොකු සෙනඟක් එයාලට එකතු වුණා. යේසුස් ගැන ආරංචිය දුර ඈතින් තිබුණු සිරියාවෙත් පැතිරුණා.

කාලයක් යද්දී යේසුස් අනුගාමිකයන් කීපදෙනෙක්ට ලෙඩ සුව කරන්නත් භූතයන් ආවේශ වුණු අයව සුව කරන්නත් බලය දුන්නා. යේසුස් ගමින් ගමටත් නගරෙන් නගරෙටත් ගිහින් දේශනා කරද්දී තවත් අය යේසුස් එක්ක ගියා. මරියා මග්දලේනා, යොවානා, සුසෑනා වගේ විශ්වාසවන්ත කාන්තාවන් යේසුස්ටත් අනුගාමිකයන්ටත් ඕන කරන දේවල් දීලා එයාලව බලාගත්තා.

ගෝලයන්ව පුහුණු කළාට පස්සේ යේසුස් එයාලව දේශනා කරන්න පිටත් කළා. එයාලා ගලීලය පුරා දේශනා කරද්දී තවත් හුඟදෙනෙක් ගෝලයන් වෙලා බව්තීස්ම වුණා. ගෝලයන් වෙන්න හුඟදෙනෙක් කැමැත්තෙන් හිටිය නිසා යේසුස් කපන්න ළං වෙලා තිබුණු අස්වැන්නකට එයාලව සමාන කළා. ‘අස්වැන්න පැහිලා තියෙන නිසා තව වැඩකරුවන්ව එවන්න කියලා යෙහෝවා දෙවිට යාච්ඤා කරන්න’ කියලා යේසුස් කිව්වා. ඊටපස්සේ ගෝලයන්ගෙන් 70දෙනෙක්ව තෝරගෙන යුදයේ දේශනා කරන්න දෙන්නා ගාණේ යැව්වා. එයාලා ගිහින් දේවරාජ්‍යය ගැන මිනිසුන්ට ඉගැන්නුවා. සේවයේ යද්දී ලබපු අද්දැකීම් ගැන යේසුස්ට කියන්න එයාලා හිටියේ ලොකු ආසාවකින්. දේශනා සේවය නතර කරන්න යක්ෂයාට කිසිම ක්‍රමයක් තිබුණේ නැහැ.

යේසුස්ට ඕන වුණේ ගෝලයන් දිගටම දේශනා සේවය කරනවා දකින්නයි. ඒ නිසා ඔහු මෙහෙම කිව්වා. ‘ශුභාරංචිය පොළොව පුරාම දේශනා කරන්න. දෙවිගේ වචනයෙන් මිනිසුන්ට උගන්වලා එයාලව බව්තීස්ම කරන්න.’

“දෙවිගේ රාජ්‍යය ගැන ශුභාරංචිය වෙනත් නුවරවලත් දේශනා කළ යුතුයි. මාව එවා තිබෙන්නේ ඒ සඳහායි.”—ලූක් 4:43