Skip to content

පටුනට යන්න

51වෙනි පාඩම

හමුදාපතියෙක් සහ පුංචි දුවෙක්

හමුදාපතියෙක් සහ පුංචි දුවෙක්

සිරියානු හමුදාව ඊශ්‍රායෙල් දේශයේ හිටිය පුංචි දුවෙක්ව සිරියාවට අරන් ඇවිත් එහේ හමුදාපති වුණු නාමන්ගේ ගෙදරට භාර දුන්නා. ඒ ගෙදර සේවිකාවක් විදිහට වැඩ කරපු මේ පුංචි දුව දිගටම යෙහෝවා දෙවිට නමස්කාර කළා.

නාමන්ට හමේ ලෙඩක් හැදුණ නිසා ඒකෙන් එයා හුඟක් දුක් වින්දා. ඒක දැකපු පුංචි දුවට ඕන වුණා එයාට උදව් කරන්න. ඒ නිසා එයා නාමන්ගේ බිරිඳට මෙහෙම කිව්වා. ‘මගේ ස්වාමියාගේ ලෙඩේ හොඳ කරන්න පුළුවන් කෙනෙක්ව මං දන්නවා. යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් වන එලිෂා ළඟට ගියොත් එයා ලෙඩේ හොඳ කරයි.’

නාමන්ගේ බිරිඳ ඒක නාමන්ට කිව්වම එයා ඊශ්‍රායෙලයේ හිටිය එලිෂාගේ ගෙදරට ගියා. කොහොමහරි ලෙඩේ හොඳ කරගන්නයි එයාට ඕන වුණේ. නාමන් හිතුවා එලිෂා එයාට වැඩි සැලකිල්ලක් පෙන්වයි කියලා. හැබැයි එලිෂා නාමන් ළඟට එන්නේ නැතුව එයාගේ සේවකයෙක්ව එවලා මෙහෙම කිව්වා. ‘යොර්දාන් ගඟෙන් හත් වතාවක් නාන්න. ඔයාගේ ලෙඩේ හොඳ වෙයි.’

එතකොට නාමන් හුඟක් කේන්තියෙන් මෙහෙම කිව්වා. ‘මං හිතුවේ මේ අනාගතවක්තෘවරයා මං ළඟට ඇවිත් එයාගේ දෙවිගෙන් උදව් ඉල්ලලා මාව අල්ලලා මාව සනීප කරයි කියලා. සිරියාවේ මීට වඩා හොඳ ගඟවල් තියෙනවනේ. ඉතින් ඒ ගඟකින් නාලා හොඳ වෙන්න මට බැරිද?’ ඊටපස්සේ එයා කේන්තියෙන්ම එලිෂාගේ ගෙදරින් පිට වුණා.

හැබැයි නාමන්ගේ සේවකයන් එයාට මෙහෙම කිව්වා. ‘ලෙඩේ හොඳ කරගන්න ඔබ ඕනෙම දෙයක් කරන්න ලෑස්තියි නේද? අනාගතවක්තෘවරයා කරන්න කියලා කිව්වේ අමාරු දෙයක් නෙවෙයිනේ. ඉතින් ඇයි ඒක කරන්නේ නැත්තේ?’ එයාලා කියපු දේ අහලා නාමන් යොර්දාන් ගඟේ හත් වතාවක් නෑවා. එතකොට එයාගේ ලෙඩේ හොඳ වුණා. ඒ ගැන එයා කොච්චර සතුටු වුණාද කියනවා නම් එයා ආපහු එලිෂා ළඟට ගිහින් මෙහෙම කිව්වා. ‘දැන් මං දන්නවා යෙහෝවා දෙවි තමයි සැබෑ දෙවි කියලා.’ නාමන්ගේ ලෙඩේ හොඳ වෙලා කියලා දැක්කම ඊශ්‍රායෙල් දේශයෙන් ගෙනාපු පුංචි දුවට කොහොම හැඟෙන්න ඇද්ද?

“බිලිඳුන්ගේද කිරි බොන දරුවන්ගේද මුවින් ඔබ ප්‍රශංසාව ගෙන දී තිබේ.”—මතෙව් 21:16