Skip to content

පටුනට යන්න

17වෙනි පාඩම

මෝසෙස් යෙහෝවා දෙවිට සේවය කරන්න තෝරගත්තා

මෝසෙස් යෙහෝවා දෙවිට සේවය කරන්න තෝරගත්තා

ඊජිප්තුවෙදී යාකොබ්ගේ පවුලේ අයට කිව්වේ ඊශ්‍රායෙල්වරු කියලා. කාලයක් යද්දී යාකොබ්, යෝසෙප් මැරුණා. ඊටපස්සේ ඊජිප්තුවේ රජ වුණේ වෙන පාරාවෝ කෙනෙක්. ඊශ්‍රායෙල්වරු බලවත් ජාතියක් වෙයි කියලා පාරාවෝ බය වුණා. ඒ නිසා එයාලව වහලුන් කරගෙන ගඩොල් හදාගත්තා. වතුවල වැඩ ගත්තා. එච්චර කරදර කළත් ඊශ්‍රායෙල්වරුන්ගේ ගාණ තවත් වැඩි වුණා. ඒ නිසා පාරාවෝ හිටියේ කේන්තියෙන්. එයා කිව්වා ඊශ්‍රායෙල්වරුන්ට ඉපදෙන හැම පිරිමි ළමයෙක්වම මරලා දාන්න කියලා. ඊශ්‍රායෙල්වරු කොච්චර බයකින් ඉන්න ඇද්ද!

යොකෙබෙද් කියන ඊශ්‍රායෙල් කාන්තාවට ලස්සන පුතෙක් ඉපදුණා. එයාව ආරක්ෂා කරන්න ඕන නිසා ඒ අම්මා එයාව කූඩෙක දාලා නයිල් ගඟ ළඟ තිබුණු බට පඳුරු අස්සේ හැංගුවා. ඒ පුතාගේ අක්කා මිරියම් ළඟපාතක ඉදන් බලාගෙනයි හිටියේ.

පාරාවෝගේ දුව ගඟේ නාන්න ආවා. එයා ඒ කූඩේ දැකලා ඇරලා බැලුවම පුංචි පුතෙක් අඬඅඬ ඉන්නවා දැකලා එයාට දුක හිතුණා. එතකොටම මිරියම් ඇවිත් ඇහුවා ‘දරුවට කිරි දෙන්න අම්මා කෙනෙක් හොයාගෙන එන්නද’ කියලා. පාරාවෝගේ දුව කිව්වා හා කියලා. මිරියම් දුවගෙන ගිහින් එයාගෙම අම්මව එක්කගෙන ආවා. පාරාවෝගේ දුව එයාට මෙහෙම කිව්වා. ‘මේ දරුවව අරගෙන ගිහින් බලාගන්න. ඒකට මං ඔයාට සල්ලි දෙන්නම්.’

දරුවා ටිකක් ලොකු වුණාම යොකෙබෙද් එයාව පාරාවෝගේ දුවට දුන්නා. එයා දරුවට මෝසෙස් කියන නම තියලා එයාගෙම පුතෙක් වගේ බලාගත්තා. ඊජිප්තුවේ කුමාරයෙක් විදිහට ඇතිදැඩි වුණත් මෝසෙස්ට යෙහෝවා දෙවිව අමතක වුණේ නැහැ. එයා තෝරගත්තේ යෙහෝවා දෙවිට සේවය කරන්න.

වයස 40ක් වුණාම මෝසෙස් තීරණය කළා එයාගේ සෙනඟට උදව් කරන්න. ඊජිප්තුවරයෙක් ඊශ්‍රායෙල් වහලෙක්ට ගහනවා දැකලා මෝසෙස් ඊජිප්තුවරයට ගහලා මැරුවා. පස්සේ එයාව වැලි යට හැංගුවා. පාරාවෝ ඒක දැනගෙන මෝසෙස්ව මරන්න හදද්දී මෝසෙස් මිදියන් දේශයට පැනලා ගියා. එහෙදී යෙහෝවා දෙවි එයාව බලාගත්තා.

‘විශ්වාසය නිසා ඔහු පාරාවෝගේ දුවගේ පුත්‍රයා ලෙස හඳුන්වනු ලැබීම ප්‍රතික්ෂේප කළ අතර, දෙවිගේ සෙනඟ සමඟ හිංසා පීඩා විඳීම තෝරාගත්තා.’—හෙබ්‍රෙව් 11:24, 25