Skip to content

බයිබල් පද පැහැදිලි කිරීමක්

යොහන් 3:16 – “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක”

යොහන් 3:16 – “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක”

 “දෙවි මුළු ලෝකයටම කොතරම් ප්‍රේම කළාද කියනවා නම් ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා. එසේ කළේ ඔහු කෙරෙහි විශ්වාසය තබන සෑම කෙනෙක්ම විනාශ නොවී ඔවුන්ට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලබාගැනීම සඳහායි.”—යොහන් 3:16, ‘නව ලොව පරිවර්තනය.’

 “දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සෑමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය.”—යොහන් 3:16, ‘පැරණි අනුවාදය.’

යොහන් 3:16 අදහස

 දෙවියන් අපිට හුඟක් ආදරෙයි වගේම අපි හැමදාටම ජීවත් වෙනවා දකින්න ඔහු කැමතියි. ඒ නිසා දෙවියන් තමන්ගේ පුතා වන යේසුස් ක්‍රිස්තුස්ව පොළොවට එව්වා. පොළොවේ ඉද්දී යේසුස් හුඟක් වැදගත් දේවල් කළා. යේසුස් කරපු එක දෙයක් තමයි තමන්ගේ පියාණන් වන දෙවියන් ගැන ගෝලයන්ට උගන්වපු එක. (1 පේතෘස් 1:3) ඒ වගේම ඔහු මිනිසුන් වෙනුවෙන් තමන්ගේ ජීවිතය දුන්නා. සදාකාල ජීවිතය ලබාගන්න නම් අපි යේසුස්ව විශ්වාස කරන්නම ඕනේ.

 “ඔහු තමාගේ එකම පුත්‍රයාව ඔවුන් වෙනුවෙන් ලබා දුන්නා” කියලා කියන එකෙන් දෙවියන් අපිට කොච්චර ආදරෙයිද කියන එක පැහැදිලි වෙනවා. a දෙවියන්ගේ සුවිශේෂීම පුතා යේසුස්. එහෙම කියන්නේ ඇයි? දෙවියන් තනිවම නිර්මාණය කරපු එකම කෙනා යේසුස්. (කොලොස්සි 1:17) ඔහු තමයි “දෙවිගේ කුලුඳුල් නිර්මාණය.” (කොලොස්සි 1:15) දේවදූතයන් ඇතුළු අනිත් හැම දෙයක්ම නිර්මාණය කරන්න දෙවියන් හවුල් කරගත්තේ යේසුස්වයි. එහෙමවුණත් යෙහෝවා b දෙවියන් තමන්ගේ ආදරණීය පුතාව මිනිසුන්ට “සේවය කරන්න හා බොහෝදෙනෙකුව මුදවාගැනීම සඳහා තම ජීවිතය පූජා කරන්න” පොළොවට එවන්න කැමති වුණා. (මතෙව් 20:28) පළමු මිනිසා වුණු ආදම්ගෙන් අපිට උරුම වුණු පව්කාරකම සහ මරණයෙන් අපිව ගලවගන්න යේසුස් හුඟක් දුක් විඳලා ඔහුගේ ජීවිතය දුන්නා.—රෝම 5:8, 12.

 යේසුස්ව විශ්වාස කරනවා කියලා කියද්දී නිකන්ම ඔහු ඉන්නවා කියලා විශ්වාස කරන එකට නැත්නම් ඔහු ගැන දැනුම ලබාගන්න එකට වඩා වැඩි දෙයක් ඇතුළත් වෙනවා. ඒ වෙනුවට යේසුස්ට කීකරු වෙන එකෙනුත් ඔහුගේ ආදර්ශය කිට්ටුවෙන් අනුගමනය කරන එකෙනුත් අපි ඔහුව විශ්වාස කරනවා කියලා පෙන්වන්න පුළුවන්. (මතෙව් 7:24-27; 1 පේතෘස් 2:21) බයිබලයේ මෙහෙම කියනවා. “පුත්‍රයා කෙරෙහි විශ්වාසය තබන තැනැත්තාට සදහටම ජීවත් වීමේ ප්‍රස්තාව ලැබෙයි. නමුත් පුත්‍රයාට අකීකරු වන තැනැත්තාට . . . ජීවනයද අහිමි වෙයි.”—යොහන් 3:36.

යොහන් 3:16 අවට පද

 යේසුස් ඒ දේ කිව්වේ යුදෙව් ආගමික නායකයෙක් වුණු නිකදේමස් එක්ක කතා කරමින් ඉද්දියි. (යොහන් 3:1, 2) ඒ කතාබහේදී යේසුස් දෙවියන්ගේ රාජ්‍යය c ගැනත් “අලුත් උපතක්” ලබන එක ගැනත් කතා කළා. (යොහන් 3:3) ඔහු තමන්ගේ මරණය සිද්ධ වෙන විදිහ ගැනත් කිව්වා. ඒ ගැන ඔහු කිව්වේ මෙහෙමයි. “මනුෂ්‍ය පුත්‍රයාවත් එල්ලා [වධකණුවක එල්ලා] තබනු ලබනවා. එසේ වන්නේ ඔහුව විශ්වාස කරන සෑම කෙනෙකුටම සදාකාල ජීවනය ලබා දීම සඳහායි.” (යොහන් 3:14, 15) යේසුස් ඊළඟට කාවැද්දුවේ සදාකාල ජීවිතය අපිට ලැබෙන්නේ යෙහෝවා දෙවියන් අපිට හුඟක් ආදරේ නිසයි කියලයි. සදාකාල ජීවිතය ලබාගන්න නම් අපි අපේ විශ්වාසය ක්‍රියාවෙන් පෙන්වලා දෙවියන් සතුටු වෙන විදිහට වැඩ කරන්න ඕනෙ කියලා අන්තිමට යේසුස් පැහැදිලි කළා.—යොහන් 3:17-21.

a “එකම” කියලා පරිවර්තනය කරලා තියෙන “මෝනෝයෙනිස්” කියන ග්‍රීක වචනයෙන් අදහස් වෙන්නේ “ඒ වර්ගයෙන් තියෙන්න පුළුවන් ඒක විතරයි. . . . වෙන කිසිවකට සම කරන්න බැහැ. එනම් සුවිශේෂියි” කියන එකයි කියලා පොතක සඳහන් වෙනවා.—A Greek-English Lexicon of the New Testament and Other Early Christian Literature, p. 658.

b යෙහෝවා කියන්නේ සැබෑ දෙවියන්ගේ නමයි.—ගීතාවලිය 83:18.

c දෙවියන්ගේ රාජ්‍යය “ස්වර්ග රාජ්‍යය” කියලත් හඳුන්වනවා. ඒක ස්වර්ගයේ පිහිටුවලා තියෙන ආණ්ඩුවක්. (මතෙව් 10:7; එළිදරව් 11:15) ඒ රාජ්‍යයේ රජු විදිහට දෙවියන් යේසුස් ක්‍රිස්තුස්ව පත් කළා. පොළොව සඳහා දෙවියන්ගේ අරමුණ ඉටු කරන්න යන්නේ දෙවියන්ගේ රාජ්‍යයෙනුයි. (දානියෙල් 2:44; මතෙව් 6:10) තවත් විස්තර දැනගන්න “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” කියන ලිපිය බලන්න.