Skip to content

පාපය කියන්නේ මොකක්ද?

බයිබලයේ ඒ ගැන කියන දේ

දෙවියන්ගේ ප්‍රමිතිවලට විරුද්ධව කරන ඕනෑම ක්‍රියාවක් හෝ සිතුවිල්ලක් පාපයක් වෙනවා. දෙවියන්ගේ නීති කඩ කරන එකත් ඒකට ඇතුළත්. (1 යොහන් 3:4; 5:17) හරි දේ දැනගෙන ඒ දේ කරන්නේ නැත්නම් ඒකත් පාපයක් කියලා බයිබලයේ කියනවා.—යාකොබ් 4:17.

බයිබලය මුලින්ම ලියලා තිබුණ භාෂාවලට අනුව පාපය කියන වචනයෙන් අදහස් වුණේ “ඉලක්කය වැරදුණා” කියන එකයි. උදාහරණයකට අතීත ඊශ්‍රායෙලයේ ගල්පටිවලින් “ඉලක්කයටම විදීමේ හැකියාව” තිබුණ දක්ෂ සෙබළුන් කණ්ඩායමක් හිටියා කියලා බයිබලයේ කියනවා. (විනිශ්චයකරුවෝ 20:16) “ඉලක්කයටම විදීමේ හැකියාව” තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ ඉලක්කය වරදින්නේ නැහැ කියන එකයි. එහෙමනම් මුල් භාෂාවලට අනුව “ඉලක්කය වැරදුණා” කියන එකෙන් පාපය කියන දේ අදහස් වුණා නම් “ඉලක්කයටම විදීමේ හැකියාව” තියෙනවා කියන එකෙන් අදහස් වෙන්නේ පාපයක් කරන්නේ නැහැ කියන එකයි.

මිනිසුන්ව නිර්මාණය කෙරුවේ දෙවියන් නිසා අපි කරන්න ඕන දේවල් නොකරන්න ඕන දේවල් ගැන ප්‍රමිති පිහිටුවන්න ඔහුට අයිතියක් තියෙනවා. (එළිදරව් 4:11) ඒ හේතුව නිසා අපි කරන කියන දේවල් විනිශ්චය කරන්නත් ඔහුට අයිතිය තියෙනවා.—රෝම 14:12.

කිසිම පාපයක් නොකරන කෙනෙක් ඉන්න පුළුවන්ද?

බැහැ. මොකද බයිබලයේ කියන්නේ “සියලුම මනුෂ්‍යයෝ පව් කර ඇත. එහෙයින් දෙවිගේ අතිශ්‍රේෂ්ඨ ගුණාංග පිළිබිඹු කිරීමට ඔවුහු අසමත් වෙති” කියලයි. (රෝම 3:23; 1 රාජාවලිය 8:46; දේශනාකාරයා 7:20; 1 යොහන් 1:8) එහෙම කියන්නේ ඇයි?

මුල් මිනිස් යුවළ වන ආදම් සහ ඒව මුලින්ම හිටියේ කිසි පාපයක් උරුම නොවුණ පරිපූර්ණ තත්වයක. ඒකට හේතුව ඔවුන්ව දෙවිගේ ගතිලක්ෂණ ඇතුව නිර්මාණය කරපු නිසයි. (උත්පත්ති 1:27) ඒත් ඔවුන් දෙවියන්ට අකීකරු වුණ නිසා පරිපූර්ණත්වය අහිමි වුණා. ඒ කියන්නේ ඔවුන්ට පාපය උරුම වුණා කියන එකයි. (උත්පත්ති 3:5, 6, 17-19) ඔවුන් පව්කාරයන් වුණ නිසා ඔවුන්ගේ දරුවන්ටත් පාපය උරුම වුණා. (රෝම 5:12) අතීත ඊශ්‍රායෙලයේ හිටිය දාවිත් රජ කිව්වේ “මාව බිහි කළේ මට පාපය උරුම කර දෙමිනි” කියලයි.—ගීතාවලිය 51:5.

සමහර පාප අනිත් පාපවලට වඩා බරපතළද?

ඔව්. බයිබලයේ කියන්නේ පුරාණයේ සොදොම් නගරයේ හිටිය පුරුෂයන් “බොහෝ සේ පව් කළ නපුරු මනුෂ්‍යයෝ වූහ. ඔවුන්ගේ පාප ඉතා බරපතළය” කියලයි. (උත්පත්ති 13:13; 18:20) පාපයක් බරපතළද නැද්ද කියලා තීරණය කරන්න හේතු 3ක් සලකලා බලන්න.

  1. බරපතළකම. බරපතළ පාප වන වේශ්‍යාකම, රූප වන්දනාව, සොරකම් කිරීම, බේබදුකම, අනුන්ගේ දේ අයුතු ලෙස ගැනීම, මිනී මැරීම සහ භූතවාදී ක්‍රියා යන දේවලින් වළකින්න කියලා බයිබලයේ අපිට උපදෙස් දෙනවා. (1 කොරින්ති 6:9-11; එළිදරව් 21:8) බරපතළ පාප සහ හිතන්නේ බලන්නේ නැතුව අනිත් අයගේ හිත රිදෙන දේවල් කරන, කියන එක අතර වෙනසක් තියෙනවා කියලා බයිබලයේ පෙන්වනවා. (හිතෝපදේශ 12:18; එෆීස 4:31, 32) කොහොමවුණත් බයිබලයේ කියන්නේ මොන වරදක්වත් සුළුයි කියලා හිතන්න එපා කියලා. මොකද සුළු වැරදි පවා දෙවියන්ගේ නීති කඩන තරමටම බරපතළ ඒවා දක්වා දුර දිග යන්න පුළුවන්.—මතෙව් 5:27, 28.

  2. චේතනාව. දෙවියන් බලාපොරොත්තු වෙන දේ දන්නේ නැති නිසා සමහර අය අතින් වැරදි සිද්ධ වෙනවා. (ක්‍රියා 17:30; 1 තිමෝති 1:13) ඒ වගේ වැරදි කෙරුවාට කමක් නැහැ කියලා බයිබලයේ කියන්නේ නැහැ. කොහොමවුණත් හිතාමතා දෙවියන්ගේ නීති කඩ කරන එකයි ඒ වගේ වැරදි අතරයි වෙනසක් තියෙනවා කියලා බයිබලයේ පෙන්වනවා. (ගණන් කතාව 15:30, 31) මොකද හිතාමතා කරන පාප ඇති වෙන්නේ “දුෂ්ට සිතුවිලි” නිසයි.—යෙරෙමියා 16:12.

  3. වාර ගණන. පාපයක් එක සැරයක් කරන එකයි දිගටම කරන එකයි අතර වෙනසක් තියෙනවා කියලා බයිබලයේ කියනවා. (1 යොහන් 3:4-8) හරි දේ මොකක්ද කියලා ඉගෙනගත්තාට පස්සෙත් “හිතාමතාම පව්කාර ක්‍රියාවල යෙදෙනවා නම්” දෙවියන්ගේ විනිශ්චය ලැබෙනවා.—හෙබ්‍රෙව් 10:26, 27.

බරපතළ පාපයක් කරපු කෙනෙක් ඒ ගැන ඕනෑවට වඩා දුක් වෙවී ඉන්න ඉඩ තියෙනවා. උදාහරණයකට, දාවිත් රජ මෙහෙම ලිව්වා. “මා කළ වැරදි මාගේ හිසටත් ඉහළින් තිබේ. විශාල බරක් මෙන් ඒවා මා පිට තිබේ. මට එය දරාගත නොහැක.” (ගීතාවලිය 38:4) ඒත් බයිබලයේ කියන්නේ. “දුෂ්ටයා තම දුෂ්ටකම් මුළුමනින්ම අත්හරීවා! කුරිරු තැනැත්තා තම හානිකර සිතුවිලි වෙනස් කරගනීවා! එසේ කර, යෙහෝවා දෙවි වෙතට නැවත හැරී එත්වා. එවිට අපේ දෙවි ඔහුට දයාව පෙන්වා මුළු හදින්ම ඔහුට සමාව දෙනු ඇත” කියලයි.—යෙසායා 55:7.