Skip to content

‘ස්වර්ග රාජ්‍යයේ යතුරුවලින්’ අදහස් කරන්නේ මොනවද?

‘ස්වර්ග රාජ්‍යයේ යතුරුවලින්’ අදහස් කරන්නේ මොනවද?

බයිබලයේ ඒ ගැන කියන දේ

 “ස්වර්ග රාජ්‍යයේ යතුරු” කියන යෙදුමෙන් අදහස් කළේ මිනිසුන්ට “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන්න” මඟ විවර කරන්න දීලා තියෙන අධිකාරියයි. (මතෙව් 16:19; ක්‍රියා 14:22) a යේසුස් “ස්වර්ග රාජ්‍යයේ යතුරු” පේතෘස්ට දුන්නා. ඒකෙන් අදහස් කළේ විශ්වාසවන්ත මිනිසුන්ට දෙවියන්ගේ බලය ලබාගෙන ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න පුළුවන් කොහොමද කියලා දැනුම් දීමේ අධිකාරිය පේතෘස්ට ලැබුණා කියන එකයි.

යතුරු පාවිච්චි කළේ කා වෙනුවෙන්ද?

 කණ්ඩායම් තුනකට අයිති මිනිසුන්ට දේවරාජ්‍යයට ඇතුල් වෙන්න මඟ විවර කරන්න පේතෘස් තමන්ට දෙවියන්ගෙන් ලැබුණු අධිකාරිය පාවිච්චි කළා.

  1.   යුදෙව්වන් සහ යුදෙව් ආගමට හැරුණු අය. යේසුස්ව දෙවියන් ස්වර්ග රාජ්‍යයේ රජ විදිහට පත් කරලා තියෙනවා කියලත් ඔහුව රජ විදිහට පිළිගන්න කියලත් යේසුස් මිය ගිහින් ටික දවසකට පස්සේ පේතෘස් යුදෙව්වන් පිරිසකට දිරිගැන්නුවා. ඒ වගේම ගැලවීම ලබන්න නම් කරන්න ඕනෙ මොනවද කියලත් පේතෘස් පැහැදිලි කළා. ඒ විදිහට පේතෘස් දේවරාජ්‍යයට ඇතුල් වෙන්න මඟ විවර කරද්දී මිනිසුන් දහස් ගණනක් එයා කියපු දේවල් “මුළු හදවතින්ම පිළිගත්තා.”—ක්‍රියා 2:38-41.

  2.   සමරිතානුවන්. ටික කාලෙකට පස්සේ දෙවියන් පේතෘස්ව සමරිතානුවන් ළඟට යැව්වා. b එහෙදීත් පේතෘස් ස්වර්ග රාජ්‍යයේ යතුරක් පාවිච්චි කළා. එයා ඒ දේ කළේ යේසුස්ගේ නියෝජිතයෙක් වුණු යොහන් එක්ක එකතු වෙලා සමරිතානුවන්ට ‘දෙවියන්ගේ බලය ලබා දෙන්න කියලා යාච්ඤා’ කිරීමෙනුයි. (ක්‍රියා 8:14-17) ප්‍රතිඵලයක් විදිහට සමරිතානුවන්ටත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න මඟ විවර වුණා.

  3.   යුදෙව් නොවන අය. යේසුස් මිය ගිහින් අවුරුදු තුනහමාරකට පස්සේ දෙවියන් පේතෘස්ට කිව්වා යුදෙව් නොවන අයටත් ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාව තියෙනවා කියලා. ඒ නිසා පේතෘස් එයාට ලැබිලා තිබුණු යතුරක් පාවිච්චි කරලා යුදෙව් නොවන අයටත් දේශනා කළා. ප්‍රතිඵලයක් විදිහට දෙවියන්ගේ බලය ලබාගෙන, ක්‍රිස්තියානීන් වෙලා ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න එයාලටත් මඟ විවර වුණා.—ක්‍රියා 10:30-35, 44, 45.

“දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන” අය කරන්නේ මොනවද?

 “දෙවිගේ රාජ්‍යයට ඇතුල් වෙන” අයට යේසුස් එක්ක හවුල් පාලකයන් විදිහට සේවය කරන්න අවස්ථාව ලැබෙනවා. බයිබලයේ කියන්නේ එයාලට ‘සිංහාසනවල ඉඳගන්නත්’ “පොළොවේ රජකම” භාරගන්නත් අවස්ථාව ලැබෙනවා කියලයි.—ලූක් 22:29, 30; එළිදරව් 5:9, 10.

ස්වර්ග රාජ්‍යයේ යතුරු ගැන තියෙන වැරදි මත

 වැරදි මතය: ස්වර්ගයට ඇතුල් වෙන්නේ කවුද කියලා තීරණය කරන්නේ පේතෘස්.

 ඇත්ත මේකයි: බයිබලයේ පැහැදිලිවම කියනවා ‘ජීවත් වෙන අයවත් මිය ගිය අයවත් විනිශ්චය කරන්නේ’ යේසුස් ක්‍රිස්තුස් කියලා. (2 තිමෝති 4:1, 8; යොහන් 5:22) ඒ විතරක් නෙමෙයි එක අවස්ථාවකදී පේතෘස්ම කිව්වා ‘ජීවත් වන අයගෙත් මිය ගිය අයගෙත් විනිශ්චයකරු විදිහට දෙවියන් පත් කරලා තියෙන්නේ’ යේසුස්ව කියලා.—ක්‍රියා 10:34, 42.

 වැරදි මතය: ස්වර්ග රාජ්‍යයේ යතුරු පාවිච්චි කරන්න ඕනෙ කවදාද කියලා තීරණය කළේ පේතෘස්.

 ඇත්ත මේකයි: ස්වර්ග රජ්‍යයයේ යතුරු ගැන කතා කරද්දී යේසුස් පේතෘස්ට මෙහෙම කිව්වා. “ස්වර්ගරාජ්‍යයයේ යතුරු නුඹට දෙන්නෙමි. නුඹ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයෙහිදී මුදනු ලබන්නේය.” (මතෙව් 16:19, ‘පැරණි අනුවාදය’) ඒ පදය කියවන හුඟක් අය හිතන්නේ ස්වර්ග රාජ්‍යයේ යතුරු පාවිච්චි කරන්න ඕනෙ කවදාද කියලා තීරණය කළේ පේතෘස් කියලයි. හැබැයි මුල් ග්‍රීක පිටපත්වල පැහැදිලිවම තියෙනවා ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්න මඟ විවර කරන්න ඕනෙ කවදාද කියලා පේතෘස් තීරණය කරන්නේ දෙවියන් ඒ සම්බන්ධයෙන් දැනුම් දුන්නාට පස්සෙයි කියලා.

 පේතෘස් ස්වර්ග රාජ්‍යයේ යතුරු පාවිච්චි කළේ දෙවියන්ගේ මඟ පෙන්වීමට එකඟවයි කියලා බයිබලයේ තවත් තැන්වල සඳහන් වෙලා තියෙනවා. උදාහරණෙකට තුන්වෙනි යතුර පාවිච්චි කරන්න කලින් දෙවියන් ඔහුට දීපු මඟ පෙන්වීම් ගැන බයිබලයේ තියෙනවා.—ක්‍රියා 10:19, 20.

a බයිබලයේ අධිකාරිය වගේම වගකීම කියන අදහස සංකේතවත් කරන්න සමහර අවස්ථාවලදී “යතුර” කියන වචනය යොදාගෙන තියෙනවා.—යෙසායා 22:20-22; එළිදරව් 3:7, 8.

b සමරිතානුවන් ඇදහුවේ යුදෙව්වන් අදහපු ආගම නෙමෙයි. හැබැයි දෙවියන් මෝසෙස් මාර්ගයෙන් දීපු නීතියට ඇතුළත් සමහර ඉගැන්වීම්, චාරිත්‍ර එයාලත් පිළිපැද්දා.