Skip to content

පටුනට යන්න

හදිස්සියේ රස්සාව නැති වුණොත්?

හදිස්සියේ රස්සාව නැති වුණොත්?

 හදිස්සියේ රස්සාව නැති වුණොත් ඒක ඔයාගේ ආර්ථිකයට විතරක් නෙවෙයි පවුල් ජීවිතේට වගේම ඔයාගේ මානසික තත්වයටත් බලපානවා. ඒ වගේ දේකට හොඳින් මුහුණ දෙන්න උදව් වෙන්නේ මොනවාද? ඒ ගැන තියෙන වටිනා බයිබල් ප්‍රතිපත්ති කීපයක් දැන් අපි බලමු.

  •   ඔයාට දැනෙන විදිහ කාත් එක්ක හරි කියන්න.

     බයිබලයේ කියන දේ: “සැබෑ මිතුරෙකු සෑම වෙලේම ප්‍රේමණීයයි.”—හිතෝපදේශ 17:17.

     රස්සාව නැති වුණාම ඔයාට ලොකු දුකක්, කේන්තියක් ඇති වෙන්න පුළුවන්. ඔයාගේ මනසත් අවුල් වෙයි. සමහරවිට ඔයාට හිතෙයි ඔයා කිසි වැඩකට නැති කෙනෙක් කියලා. එහෙමනම් ඒ ගැන ඔයාගේ පවුලේ කෙනෙක්ට, කිට්ටු යාළුවෙක්ට කියන්න. ඒ හැඟීම්වලින් ගොඩ එන්න එයාලා ඔයාට උදව් කරයි. ඒ වගේම මනසින් වැටෙන්නේ නැතුව ඉස්සරහට යන්න ඕනෙ කරන මඟ පෙන්වීමුත් එයාලා ඔයාට දෙයි.

  •   ඕනෑවට වඩා හිතහිත වධ වෙන්න එපා!

     බයිබලයේ කියන දේ: “හෙට දවස ගැන කිසිවිටක කනස්සලු නොවන්න. මන්ද හෙට දවසෙත් කරදර තිබෙයි.”—මතෙව් 6:34.

     බයිබලේ අපිට කියනවා හැම දේම කල්තියා සැලසුම් කරන්න කියලා. (හිතෝපදේශ 21:5) හැබැයි අනාගතේ ගැන හිතහිත ඕනෑවට වඩා කනස්සලු වෙන්න එපා කියලත් බයිබලේ කියනවා. මොකද එහෙම වුණොත් කවදාවත් වෙන්නේ නැති දේවල් ගැන වුණත් හිතහිත කරදර වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සරහට වෙන දේවල් ගැන හිතහිත දුක් වෙන්නේ නැතුව එදා දවසේ කරන්න ඕනෙ දේවල්වලට අවධානය දෙන එක තමයි හොඳම දේ.

     දැන් ඔයාට දැනෙන පීඩනයට මුහුණ දෙන්න පුළුවන් විදිහ ගැන බයිබලේ ගොඩක් වටිනා මඟ පෙන්වීම් දීලා තියෙනවා. ඒ ගැන තවත් විස්තර දැනගන්න “මානසික පීඩනයෙන් මිදෙන්න කරන්න පුළුවන් මොනවාද?” කියන ලිපිය බලන්න.

  •   වියදම් පාලනය කරගන්න.

     බයිබලයේ කියන දේ: ‘බොහෝ දේවල් ඇතුව සිටියත් අගහිඟකම්වලින් පෙළුණත් ඒ ඒ තත්වයන්ට අනුව හැඩගැහෙන්න ඉගෙනගෙන සිටිමි.’—ෆිලිප්පි 4:12.

     ඔයා දැන් ඉන්න තත්වයට හැඩගැහෙන්න. තියෙන දේවල්වලින් පිරිමහගන්න ඉගෙනගන්න. වියදම් පාලනය කරන්න ඉගෙනගන්න. අනවශ්‍ය විදිහට ණය වෙන්නත් එපා.—හිතෝපදේශ 22:7.

     ඔයාගේ අතේ තියෙන මුදල් පිරිමහගෙන පාවිච්චි කරන්නේ කොහොමද? ඒ ගැන දැනගන්න “ලැබෙන ආදායම අඩු වෙලාද?” කියන ලිපිය බලන්න.

  •   කාලය හරි විදිහට පාවිච්චි කරන්න.

     බයිබලයේ කියන දේ: “ඥානවන්තව කටයුතු කරන්න. ඔබට තිබෙන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න.”—කොලොස්සි 4:5.

     ඔයා දැන් ස්ථිර රස්සාවක් කළේ නැති වුණාට නිකම් ඔහේ කාලේ අපතේ අරින්න එපා. කාලසටහනක් හදාගන්න. එතකොට තියෙන කාලේ අර්ථවත් විදිහට ගත කරන්න ඔයාට පුළුවන්. එහෙම කළොත් ඔයා වැඩකට නැති කෙනෙක් කියලා ඔයාට දැනෙන්නෙත් නැහැ.

  •   තත්වයට අනුව හැඩගැහෙන්න.

     බයිබලයේ කියන දේ: “වෙහෙස මහන්සි වී කරන සෑම වැඩකින්ම ප්‍රයෝජන අත් වෙයි.”—හිතෝපදේශ 14:23.

     සමහර වෙලාවට ඔයා කවදාවත් හිතපු නැති විදිහේ රස්සාවක් ඔයාට හම්බ වෙයි. එහෙම වුණොත් ‘මේක නං මට හරියන්නේ නෑ’ කියලා හිතලා ඒක අහක දාන්න එපා. කලින් තරම් හොඳ පඩියක් හම්බ වුණේ නැතත් මේ වගේ වෙලාවක ඒක වුණත් ගොඩක් වටිනවා.

  •   උත්සාහය අත්හරින්න එපා!

     බයිබලයේ කියන දේ: “උදෑසන ඔබේ බීජ වපුරන්න. කිසි විවේකයක් නොගෙන සවස් වන තුරුම එසේ කරන්න. මන්ද ඒ කුමන බීජ පැළ වෙයිද කියා ඔබ දන්නේ නැත.”—දේශනාකාරයා 11:6.

     රස්සාවක් හම්බ වෙන කල්ම ඒක හොයන එක නතර කරන්න එපා. ඔයා රස්සාවක් හොයනවා කියලා දන්න හැමෝටම කියන්න. නෑදෑයන්ට, යාළුවන්ට, කලින් වැඩ කරපු තැන අයට, අසල්වැසියන්ට ඒ ගැන කියලා තියන්න. ඉන්ටර්නෙට් එකේ, ඒජන්සිවල දාලා තියෙන දැන්වීම් බලන්න. හැබැයි දවසෙන් දෙකෙන් රස්සාවක් හම්බ වෙයි කියලා හිතන්න එපා. සමහර වෙලාවට ඔයාට අයදුම්පත් කීපයක්ම හදලා එක එක ආයතනවලට දාන්න වෙයි. ඒ වගේම ගොඩක් සම්මුඛ සාකච්ඡාවලටත් යන්න වෙයි. එහෙම වුණා කියලා කලකිරෙන්න එපා. හොඳ රස්සාවක් හම්බ වෙන කල් දිගටම හොයන්න.