දේශනාකාරයා 11:1-10

11  ඔබ කෑම+ ජලයෙහි පා කර යවන්නේ නම්+ දවස් ගණනාවකට පසු එය නැවතත් ඔබට ලැබෙන්නේය.+  සත්දෙනෙකු හෝ අටදෙනෙකු හෝ සමඟ ඔබ සතු දේ බෙදාගන්න.+ මන්ද ඉදිරියේදී කුමනාකාරයේ විපතක් සිදු වේදැයි පැවසිය නොහැක.+  අහසේ වැහි වලාකුළු තිබේ නම් වැස්ස කඩා හැළෙයි.+ ගසක් දකුණු දෙසට හෝ උතුරු දෙසට හෝ වැටෙනවා නම්+ එය වැළැක්විය නොහැක.  සුළඟ හමයිද කියා කල්පනා කරන තැනැත්තා කිසිවිටෙක වපුරන්නේ නැත. වැස්ස වහීද කියා කල්පනා කරන තැනැත්තා අස්වැන්න නෙළාගන්නේ නැත.+  මව්කුසෙහි වැඩෙන බිලිඳෙකුගේ ඇටකටු සෑදෙන ආකාරය* ඔබ නොදන්නා සේම,+ සියල්ල සෑදූ සැබෑ දෙවිගේ ක්‍රියාද ඔබට තේරුම්ගත නොහැකිය.+  උදෑසන ඔබේ බීජ වපුරන්න. කිසි විවේකයක් නොගෙන සවස් වන තුරුම එසේ කරන්න.+ මන්ද ඒ කුමන බීජ පැළ වෙයිද කියා ඔබ දන්නේ නැත.+ සමහරවිට ඉන් එකක් හෝ දෙකක් හෝ ඒ සියල්ල වුවද පැළ වීමට ඉඩ තිබේ.  අලුත් දවසක හිරු එළිය දැකීම මොන තරම් සතුටක්ද!+ එය ඇස්වලට සුවයක්ද ගෙන දෙයි.  මිනිසෙකු කොතරම් කාලයක් ජීවත් වුණත් ඒ සෑම දවසකදීම ඔහු ප්‍රීතියෙන් සිටීමට වෑයම් කළ යුතුයි.+ ඉදිරියේදී අඳුරු දවස් පැමිණෙන බවත් ඔහු මතක තබාගත යුතුයි.+ මන්ද ඉදිරියේදී පැමිණෙන ඒ දවස් නිෂ්ඵලය.+  තරුණය, ඔබේ යෞවන කාලය සතුටින් ගත කරන්න.+ යොවුන් වියේදී ප්‍රීති වන්න. ඔබේ සිතේ ආශාවන් ඉටු කරගන්න. ඔබේ ඇස්වලට ප්‍රිය කරන දේ ලබාගන්න.+ එහෙත් ඔබ කරන සෑම දෙයක් ගැනම සැබෑ දෙවිට ගණන් දිය යුතු බව අමතක නොකරන්න.+ 10  ඔබේ ජීවිතයට අනවශ්‍ය ලෙස දුක් කරදර හා සිත්තැවුල් ඇති වීමට ඉඩ නොදෙන්න.+ මන්ද යෞවන කාලය එනම්, ජීවිතයේ හොඳම කාලය වුවද නිෂ්ඵලය.+

පාදසටහන්

මුල් භාෂාවේ, දෙවිගේ බලය නූපන් දරුවෙකුගේ ඇටකටු තුළ ක්‍රියාත්මක වන ආකාරය ගැන සඳහන් වේ.