Skip to content

පටුනට යන්න

අනාගතය ගැන සිතා තීරණ ගන්න

අනාගතය ගැන සිතා තීරණ ගන්න

අනාගතය ගැන සිතා තීරණ ගන්න

අනාගතය සන්තෝෂයෙන් ගත කරන්න පුළුවන් විදිහේ තීරණ ගන්න ඔයාට පුළුවන් කොහොමද? ඔයා දැන් ගන්න තීරණ අනාගතයට බලපාන්නේ කොහොමද කියලා හිතන්න ඔයාට පුළුවන්. ඒ නිසා සන්තෝෂවත් අනාගතයක් වෙනුවෙන් දැන් ඔයාට හොඳ තීරණ ගන්න පුළුවන්.

අප අතර ඉන්න හුඟදෙනෙක් උත්සාහ කරන්නේ ඉක්මන් ප්‍රතිඵල ලැබෙන තීරණ ගන්නයි. ඒ නිසා අනාගතයට යහපතක් වෙන තීරණ ගන්න එක ඔයාට අමාරු වෙන්න පුළුවන්. සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කරන්න අවශ්‍ය මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. (එෆීස 5:22–6:4) නමුත් ඉන් ප්‍රතිඵල ලබාගන්න නම් ඒවා අදාළ කරගන්න ඕනේ. උදාහරණයකට ඔයා පවුලේ අය එක්ක වැඩි කාලයක් ගත කරන්නේ නැත්නම් රැකියාවටත් විනෝදයටත් වැඩි කාලයක් දෙනවා නම් සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කරන්න ඔයාට බැහැ. ඔයා ගන්න ඕනම තීරණයක් ක්‍රියාත්මක කරන්න ඔයා මහන්සි වෙන්න ඕනේ. අනාගතය සතුටින් ගත කරන්න පුළුවන් වෙන විදිහේ ඥානවන්ත තීරණ ගන්න ඔයාට උදව් වෙන පියවර හතරක් දැන් අපි බලමු.

1 ප්‍රතිඵල ගැන හිතන්න

ඔයා ගන්න තීරණ නිසා මොන වගේ ප්‍රතිඵල ලැබෙයිද කියලා හොඳින් කල්පනා කරන්න. බයිබලයේ සඳහන් වෙන්නේ “බුද්ධිමත් අය අවදානම දුර තියාම හඳුනාගෙන එයින් ඉවත් වෙති” කියලයි. (හිතෝපදේශ 22:3) ඔයා ගන්න තීරණය නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රතිඵල ගැන කල්පනා කළොත් වැරදි තීරණයක් නොගෙන ඉන්න ඔයාට පුළුවන්. අනික් අතට ඔයා ගන්න තීරණය නිසා අනාගතයට යහපත් ප්‍රතිඵල ලැබෙනවා කියලා ඔයාට අවබෝධ වුණොත් ඒ තීරණයට අනුව වැඩ කරන්න ඔයා පෙලඹෙයි.

මේ ගැනත් හිතන්න. ‘මං ගන්න තීරණය නිසා අවුරුද්දකින්, අවුරුදු 10කින්, 20කින් පස්සේ මොන වගේ තත්වයක් උදා වෙයිද? මගේ මනසටත් ශරීර සෞඛ්‍යයටත් මොන වගේ බලපෑමක් වෙයිද? මගේ පවුලේ අයට, යාළුවන්ට ඒ තීරණය කොහොම බලපායිද?’ වැදගත් වෙන්නේ ‘මගේ තීරණය නිසා දෙවි සතුටු වෙයිද, දෙවි එක්ක තියෙන මගේ බැඳීමට ඒක කොහොම බලපායිද’ කියලා හිතන එකයි. දෙවිව සතුටු කරන්න ඔයා කරන්න ඕනේ මොනවද කියලා බයිබලයේ තියෙනවා. තීරණ ගනිද්දී ඔයා සැලකිල්ලක් දක්වන්නේ නැති පැති තේරුම්ගන්නත් බයිබලය අධ්‍යයනය කරන එක ඔයාට උදව් වෙනවා.—හිතෝපදේශ 14:12; 2 තිමෝති 3:16.

2 විවිධ පැති ගැන හිතන්න

හුඟක් අය උත්සාහ කරන්නේ අනික් අය කරන දේ කරන්න. තීරණ ගනිද්දීත් එහෙමයි. නමුත් තව කෙනෙක් ගත්ත තීරණයක් ඔයා ගත්තා කියලා ඔයාගේ අනාගතය සන්තෝෂවත් වෙයි කියලා හිතන්න බැහැ. ඒ නිසා තීරණයක් ගන්න කලින් විවිධ පැති ගැන හිතන්න. නටාලිගේ * අද්දැකීම බලන්න. “මට ඕන වුණේ සන්තෝෂවත් පවුල් ජීවිතයක් ගත කරන්න. ඒත් මම ජීවත් වෙන විදිහෙන් නම් ඒක කවදාවත් වෙන්නේ නැහැ කියලා මම දැනගත්තා. අපේ ඉස්කෝලේ ළමයි හරිම දක්ෂයි. ඒ වුණත් එයාලා ගත්තේ හුඟක් වැරදි තීරණ. ඒගොල්ලන් හිතුණ හිතුණ අයත් එක්ක යාළු වෙනවා. මමත් හුඟක් පිරිමි ළමයි එක්ක යාළු වුණා. මට ඒක වදයක් වුණා මිසක් සතුටක් නම් ලැබුණේ නැහැ.”

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ගැන ඉගෙනගත්තට පස්සේ නටාලිගේ ජීවිතය වෙනස් වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “සාක්ෂිකරුවන් අතර හිටපු යෞවනයන් හරිම සතුටින් ඉන්නවා මම දැක්කා. සාක්ෂිකරුවන්ගේ විවාහ ජීවිතත් හරිම ශක්තිමත්. මම ජීවත් වුණ විදිහ වෙනස් කරගන්න එක ලේසි නොවුණත් කාලයක් යද්දී මම ඒක කළා. මට ඕන වුණේ මම ගරු කරන කෙනෙක් එක්ක විවාහ වෙන්න. නියම වෙලාවට මට එහෙම කෙනෙක් ලැබුණා. මම හිතුවටත් වඩා හොඳ පවුල් ජීවිතයක් ගත කරන්න දෙවි මට උදව් කළා.”

3 අනාගතයට බලපාන ආකාරය ගැන හිතන්න

අනාගතය ගැන ඔයාට පැහැදිලි අදහසක් තියෙනවා නම් දුර දිග බලලා වැඩ කරන්න ඔයාට පුළුවන්. (හිතෝපදේශ 21:5) අනාගතය ගැන හිතන්න කියද්දී ඒකෙන් අදහස් කරන්නේ අවුරුදු 70ක් නැත්නම් 80ක් ගැන විතරක් හිතන්න කියලා නෙමෙයි. බයිබලයේ සඳහන් වෙන විදිහට අපට සදාකාලයටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඔයා ඒ ගැනත් හිතන්න ඕනේ.

සදාකාලයට ජීවත් වෙන්න අපිට අවස්ථාව ලැබෙන්නේ යේසුස්ගේ ජීවිත පූජාව නිසයි. (මතෙව් 20:28; රෝම 6:23) ළඟදීම මුළු පොළොවම පාරාදීසයක් කරනවා කියලත් දෙවි පොරොන්දු වෙලා තියෙනවා. ඒ වගේ කාලෙක ජීවත් වෙන්න දෙවිට ප්‍රේම කරන අයට අවස්ථාව ලැබෙනවා. (ගීතාවලිය 37:11; එළිදරව් 21:3-5) ඒ ගැන හිතලා ඔයා තීරණ ගත්තොත් ඔයාට ඒ පොරොන්දුවල ඉටුවීම අද්දකින්න පුළුවන්.

4 තීරණ ක්‍රියාත්මක කරන්න අදිටන් කරගන්න

පාරාදීස පොළොවේ ජීවත් වෙන්න ඔයා කරන්න ඕනේ මොනවද? දෙවි ගැන නිවැරදි දැනුම ලබාගන්න ඕනේ. (යොහන් 17:3) දෙවිගේ පොරොන්දු සැක කරන්න කිසිම හේතුවක් නැති බව එතකොට ඔයාට තේරෙයි. දෙවි කැමති විදිහට ජීවත් වෙන්න ඒක ඔයාට උදව් වෙනවා.

මයිකල්ගේ අද්දැකීම බලන්න. “මම අවුරුදු 12 ඉඳලා මත්පැන් බිව්වා. මත්ද්‍රව්‍යත් ගත්තා. කල්ලියකටත් බැඳුණා. අවුරුදු 30 වෙන්න කලින් මම මැරෙයි කියලයි හිතුවේ. මගේ ජීවිතෙන් වැඩක් නැහැ කියලා හිතපු නිසාත් මට නිතරම කේන්ති යන නිසාත් ජීවිතේ නැති කරගන්න හිතුණ වාර ගණන අනන්තයි. ජීවිතේ මීට වඩා දෙයක් තියෙන්න ඕනේ කියලා මට හිතුණා.” මයිකල් ඉස්කෝලේ යන කාලේ එයාගේ කල්ලියේ යාළුවෙක් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය ඉගෙනගන්න පටන්ගත්තා. ඒ නිසා මයිකල් බයිබලය පාඩම් කරන්න පටන්ගත්තා.

බයිබලයෙන් ඉගෙනගත්ත තොරතුරු නිසා අනාගතය ගැන මයිකල් හිතපු විදිහ වෙනස් වුණා. ඒ ගැන එයා මෙහෙම කියනවා. “පොළොව පාරාදීසයක් වෙනවා කියලත් මිනිස්සු කිසිම දුකක් නැතුව, සාමයෙන් ඉන්නවා කියලත් මම ඉගෙනගත්තා. ඒ වගේ කාලෙක ජීවත් වෙන්න මටත් ඕන වුණා. ඒ නිසා යෙහෝවා දෙවිව මගේ හොඳම මිතුරා කරගන්න මම තීරණය කළා. හැබැයි බයිබලය ගැන ඉගෙනගන්න පටන්ගත්තට පස්සෙත් මගේ අතින් වැරදි වුණා. මම කිහිප වතාවක්ම වෙරි වෙනකල් බිව්වා. එක සැරයක් ලිංගික සම්බන්ධකම් පැවැත්වුවා.”

අඩුපාඩු හරිගස්සගෙන ජීවිතය වෙනස් කරගන්න පුළුවන් වුණ විදිහ ගැන මයිකල් මෙහෙම කියනවා. “මට බයිබලය ගැන උගන්වපු කෙනා නිතරම උනන්දු කළේ දිගටම බයිබලය කියවන්න කියලයි. දෙවිව සතුටු කරන්න ආසාවක් දක්වන අයත් එක්ක ආශ්‍රය කරන්න කියලත් එයා මට කිව්වා. මම සම්බන්ධ වෙලා හිටිය කල්ලියේ අය නිසා මට දෙවිව සතුටු කරන්න බැහැ කියලා මම තේරුම්ගත්තා. එයාලා මගේ පවුලේ අය වගේ වුණත් මම එයාලව ආශ්‍රය කරන එක සම්පූර්ණයෙන්ම නතර කළා.”

දෙවිගේ ප්‍රමිතිවලට එකඟව ජීවත් වෙන්න ගත්ත තීරණයට අනුව මයිකල් වැඩ කළා. ඔයාටත් ඒ දේ කරන්න පුළුවන්. අනාගතයේදී කරන්න ඔයා තීරණය කරලා තියෙන දේවල් කොළයක ලියාගන්න. ඒ තීරණ ක්‍රියාත්මක කරන්න නම් කරන්න ඕනේ මොනවද කියලත් ලියන්න. ඔයාට උදව් කරන්න පුළුවන් අය එක්ක ඒ ගැන කතා කරන්න. ඔයා කොච්චර දුරට සාර්ථක වෙලා තියෙනවාද කියලා එයාලගෙන් අහන්න.

දෙවි ගැන ඉගෙනගන්නත් ඔහුගේ මඟ පෙන්වීම් ජීවිතයට අදාළ කරගන්නත් ප්‍රමාද කරන්න එපා. දෙවි කෙරෙහි තියෙන විශ්වාසය ශක්තිමත් කරගන්න පුළුවන් දේවල් දැන්ම කරන්න. බයිබලයේ තියෙන මඟ පෙන්වීම් දැන් ඉඳලම අදාළ කරගන්න. ඒ වගේ කෙනෙක් ගැන බයිබලයේම මෙහෙම කියනවා. “ඔහු කරන සෑම දෙයක්ම සාර්ථක වන්නේය.”—ගීතාවලිය 1:1-3.

[පාදසටහන]

^ 8 ඡේ. නම් වෙනස් කර ඇත.