Skip to content

පටුනට යන්න

දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

දෙවිට ළං වෙන්න

දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද?

ද්විතීය කතාව 10:12, 13

සාමාන්‍යයෙන් සැරපරුෂ නිලධාරියෙක් යටතේ සිටින සේවකයන් ඔහුට කීකරු වෙන්නේ කැමැත්තෙන් නොවෙයි. නමුත් යෙහෝවා දෙවිට නමස්කාර කරන අය දෙවිට කීකරු වන්නේ කැමැත්තෙන්මයි. එයට හේතුව කුමක්ද? එය දැනගැනීමට බයිබලයේ ද්විතීය කතාව 10:12 සහ 13 යන පද සලකා බලමු. *

‘යෙහෝවා දෙවි අපෙන් බලාපොරොත්තු වන්නේ’ කුමක්ද කියා බයිබලයේ සඳහන් වෙනවා. (ද්විතීය කතාව 10:12, නව ලොව පරිවර්තනය, NW) යෙහෝවා දෙවි ජීවිතයේ උල්පත මෙන්ම විශ්වයේ අයිතිකරුද වන නිසා ඔහු අපෙන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද කියා පැවසීමට ඔහුට අයිතිය තිබෙනවා. (ගීතාවලිය 36:9; යෙසායා 33:22) ඒ වුණත් තමන්ට කීකරු වෙන්න කියා ඔහු කිසිම කෙනෙකුට බල කරන්නේ නැහැ. දෙවි කැමති වන්නේ අපි ඔහුට මුළු “සිතින්ම” එනම් කැමැත්තෙන්ම “කීකරු” වෙනවාටයි.—රෝම 6:17.

කැමැත්තෙන්ම යෙහෝවා දෙවිට කීකරු වීමට අප පෙලඹෙන්නේ යෙහෝවා දෙවි කෙරෙහි තිබෙන “ගරුබිය” නිසයි. * (ද්විතීය කතාව 10:12NW) ඉන් අදහස් වෙන්නේ දෙවිගෙන් දඬුවම් ලැබෙයි කියා බියෙන් සිටීම නොවෙයි. ඒ වෙනුවට ඉන් අදහස් වෙන්නේ යෙහෝවා දෙවි කෙරෙහි මහත් ගෞරවයක් ඇතුව සිටීමයි. අපි දෙවි කෙරෙහි ගරුබියක් ඇතුව සිටියොත් දෙවිව අසතුටු කරන දේවල් කිරීමෙන් වැළකී සිටීමට අප පෙලඹෙන්නේ නිතැතින්මයි.

‘ඔබේ දෙවි වන යෙහෝවාට ප්‍රේම කරමින් ඔබේ මුළු ජීවිතයම ඔහු වෙනුවෙන් කැප කර මුළු හදවතින්ම ඔහුට සේවය කරන්න’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (ද්විතීය කතාව 10:12, NW) ඒ අනුව අපි දෙවිට කීකරු වන්නේ අපි ඔහුට ප්‍රේම කරන නිසයි. එය නිකම්ම හැඟීමක් නොවෙයි. අපි දෙවිට සැබවින්ම ප්‍රේම කරනවා නම් ඔහු සතුටු වන ආකාරයෙන් ජීවත් වන්න අපි පෙලඹෙනවා.—හිතෝපදේශ 27:11.

“සැමවිටම ඔහු [දෙවි] දෙන මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වෙන්න” කියාත් බයිබලයේ සඳහන් වෙනවා. (ද්විතීය කතාව 10:12NW) අපි දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වෙනවා දකින්න දෙවි කැමතියි. නමුත් එසේ කිරීමෙන් අපට යහපතක් සිදු වෙනවාද?

‘ඔබේම යහපත සඳහා යෙහෝවා දෙවිගේ අණපනත් පිළිපදින්න’ කියා බයිබලයේ සඳහන් වෙනවා. (ද්විතීය කතාව 10:13NW) ඒ අනුව දෙවිට කීකරු වීමෙන් අපට යහපත් ප්‍රතිඵල අත් වෙන බව පැහැදිලියි. ප්‍රේමයේ උල්පත වන යෙහෝවා දෙවි සෑම මඟ පෙන්වීමක්ම දී තිබෙන්නේ අපේම යහපත උදෙසායි. (1 යොහන් 4:8; යෙසායා 48:17) දෙවිගේ මඟ පෙන්වීම්වලට කීකරු වීමෙන් අනවශ්‍ය ප්‍රශ්න ගැටලු මඟ හරවාගැනීමටත් අනාගතයේදී දේවරාජ්‍යය මඟින් මහඟු ආශීර්වාද රැසක් භුක්තිවිඳීමටත් අපට හැකි වෙනවා. *

දෙවිට කීකරු වෙනවාද නැද්ද යන කාරණයේදී අපට ගත හැකි ඥානවන්තම තීරණය වන්නේ කැමැත්තෙන්ම දෙවිට කීකරු වීමයි. එමගින් අපේ යහපත ගැන සැලකිලිමත් වන යෙහෝවා දෙවිට තව තවත් ළං වීමට අපට හැකි වෙනවා.

[පාදසටහන්වල]

^ 1 ඡේ. එම පදවල සඳහන් වදන් මූලිකවම අදාළ වුණේ ඊශ්‍රායෙල්වරුන්ට වුණත් ඒවා අද සිටින දෙවිගේ සේවකයන්ටත් අදාළයි.—රෝම 15:4.

^ 3 ඡේ. දෙවි කෙරෙහි ගරුබියක් දැක්වීමේ ඇති අවශ්‍යතාව ගැන ද්විතීය කතාව පොතේ අවස්ථා කිහිපයකදීම සඳහන් වෙනවා.—ද්විතීය කතාව 4:10; 6:13, 24; 8:6; 13:4; 31:12, 13.

^ 6 ඡේ. තවත් තොරතුරු දැනගැනීම සඳහා යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් විසින් ප්‍රකාශිත බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු නමැති පොතේ “පොළොව සඳහා දෙවිගේ අරමුණ කුමක්ද” නමැති මාතෘකාවෙන් යුත් 3වන පරිච්ඡේදය බලන්න.