Skip to content

පටුනට යන්න

වර්ෂාවේ සැඟවුණු රහස්

වර්ෂාවේ සැඟවුණු රහස්

වර්ෂාවේ සැඟවුණු රහස්

වර්ෂාව ගැන ඔබ දන්නේ මොනවාද? වර්ෂාව වැඩි වූ විට ගංවතුර ඇති වන බව අපි කවුරුත් දන්නවා. නමුත් ශුෂ්ක ප්‍රදේශවල ජීවත් වන අය නම් වර්ෂාව ලැබෙන තුරු බලා සිටින්නේ ඉතා ආශාවෙන්. ඒ වුණත් ශීත දේශගුණයක් පවතින ප්‍රදේශවල ජීවත් වන අය නම් වර්ෂාවට ඒ තරම් ප්‍රිය කරන්නේ නැහැ.—එස්රා 10:9.

ශුද්ධ බයිබලයේ සඳහන් සමහර ප්‍රදේශවල පැවතියේ වියළි දේශගුණයක්. උදාහරණයකට බයිබල් ලේඛකයෙක් වූ පාවුල් දේශනා සේවය සඳහා ගිය සුළු ආසියාවේ තිබුණේ එවැනි වියළි තත්වයක්. එහි ජීවත් වූ ඉකෝනියේ වැසියන්ට පාවුල් මෙවැනි දෙයක් පැවසුවා. ‘දෙවි තමන් ගැන සාක්ෂි නොදී සිටියේ නැත. මන්ද, ඔහු ඔබට අහසින් වර්ෂාද සාරවත් කාලවල්ද දීමෙන්, කෑමෙන්ද ප්‍රීතියෙන්ද ඔබේ සිත් සම්පූර්ණයෙන් තෘප්තිමත් කරමින් යහපත කළේය.’ (ක්‍රියා 14:17) එහිදී පාවුල් සාරවත් කාලවල් ගැන සඳහන් කිරීමට පෙර වර්ෂාව ගැන සඳහන් කළ බව ඔබ දුටුවාද? එසේ කිරීම ඉතා යෝග්‍ය දෙයක් වුණා. ඊට හේතුව වර්ෂාව නොමැතිව “සාරවත් කාලවල්” ඇති නොවීමයි.

බයිබලයේ බොහෝ ස්ථානවල වර්ෂාව ගැන සඳහන් කර තිබෙනවා. දෙවිගේ පුදුමාකාර නිර්මාණයක් වන වර්ෂාව ගැන වැඩි විස්තර දැනගන්න ඔබ කැමතිද? එමෙන්ම වර්ෂාව ගැන බයිබලයේ සඳහන් තොරතුරු විද්‍යාත්මකව කොතරම් නිවැරදිද කියා සොයා බලන්න ඔබ කැමතිද?

වර්ෂාව ගැන බයිබලයේ සඳහන් දෙය

වර්ෂාව ඇති වීමට ප්‍රධාන වශයෙන් බලපාන්නේ සූර්යායි. යේසුස් එය හොඳින් දැන සිටි නිසා ඔහු එක් අවස්ථාවකදී මෙසේ පැවසුවා. ‘ස්වර්ගයෙහි සිටින ඔබේ පියාණන් දුෂ්ටයන්ටත් යහපතුන්ටත් තම හිරු උදා කරවන්නේය. ධර්මිෂ්ඨයන්ටත් අධර්මිෂ්ඨයන්ටත් වැසි වස්වන්නේය.’ (මතෙව් 5:45) මෙහිදී යේසුස් වර්ෂාව ගැන සඳහන් කිරීමට පෙර සූර්යයා ගැන සඳහන් කළේ ඇයි කියා ඔබට පැහැදිලි ඇති. ඔහු එසේ පැවසුවේ සූර්යයා නොමැතිව වර්ෂාව ඇති නොවන නිසයි. උදාහරණයකට සෑම වසරකම සූර්ය රශ්මිය නිසා මුහුදු ජලය ඝන කිලෝමීටර් 4,00,000ක් වාෂ්ප වෙනවා. මෙසේ වායු ගෝලයට එකතු වූ ජල වාෂ්ප නැවතත් වර්ෂාව ලෙස හෝ වෙනත් ආකාරවලින් පොළොවට ඇද හැලෙනවා. ජලය ඉහළට ඇදගැනීමට තරම් ශක්තියක් තිබෙන සූර්යයාව නිර්මාණය කළේ යෙහෝවා දෙවියි. ඒ නිසා බයිබලයෙහි ඔහුව දිය බිඳු පොළොවෙන් ඉහළට ඇදගෙන වැසි වැස්සවීමට සලස්වන තැනැත්තා ලෙස හඳුන්වා තිබෙනවා.

ජල චක්‍රය ක්‍රියාත්මක වන ආකාරය ගැන බයිබලයේ මෙසේ සඳහන් වෙනවා. ‘දෙවි දිය බිඳු පොළොවෙන් ඉහළට ඇදගත් පසු පොළොවට වැසි වස්සවා පින්නද වැටෙන්න සලස්වන්නේය. වලාකුළුවලින් වැහි බිඳු වැටෙන්නේය. වර්ෂාව නොඅඩුව පොළොවට ඇද හැළෙන්නේය.’ (යෝබ් 36:26-28, නව ලොව පරිවර්තනය, NW) එම වදන් ලියැවී දැනට සියවස් ගණනාවක් ගෙවී තිබුණත් ජල චක්‍රය ක්‍රියාත්මක වන ආකාරය ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීමට බොහෝ අය තවමත් දැඩි උත්සාහයක් දරනවා. නමුත් 2003දී පළ වූ එක් පොතක සඳහන් වුණේ “වැහි බින්දුවක් නිර්මාණය වන ආකාරය ගැන සියලු තොරතුරු දැනගැනීමට තවමත් හැකි වී නැහැ” කියායි.—එම පොත Water Science and Engineering.

නමුත් වැහි බින්දුවක් නිර්මාණය වීමට බලපාන මූලික සාධක ගැන විද්‍යාඥයන් දන්නවා. මුලින්ම පියවි ඇසට නොපෙනෙන ජල වාෂ්ප වායු ගෝලයේ තිබෙන දූවිලි අංශු වටා එකතු වෙනවා. මෙසේ ජල වාෂ්ප දූවිලි අංශු වටා දසලක්ෂ වාරයක් පමණ එකතු වූ පසුවයි කුඩා වැහි බින්දුවක් නිර්මාණය වෙන්නේ. මෙම සංකීර්ණ ක්‍රියාවලිය සඳහා පැය ගණනාවක් ගත විය හැකියි. එක් විද්‍යා අත්පොතක ඒ සම්බන්ධයෙන් මෙවැනි අදහසක් පළ වුණා. “ඇසට නොපෙනෙන ජල වාෂ්පවලින් වැහි බින්දුවක් නිර්මාණය වන ආකාරය ගැන විවිධ මත තිබෙනවා. සමහර මත ගැන වැඩිදුරටත් සොයා බැලීම සඳහා පර්යේෂණ පවා පවත්වන්න සිදු වෙනවා.”—එම පොත Hydrology in Practice.

වර්ෂාව ඇති වීමට බලපාන එම සංකීර්ණ ක්‍රියාවලිය නිර්මාණය කළ යෙහෝවා දෙවි පුරාණයේ සිටි යෝබ් නමැති විශ්වාසවන්ත මිනිසාගෙන් මෙසේ ඇසුවා. ‘වර්ෂාවට පියෙක් සිටිනවාද? පිනි බිඳු බිහි කළේ කවුද? වලාකුළුවලට ප්‍රඥාව දුන්නේ කවුද? කොතරම් වලාකුළු ප්‍රමාණයක් තිබෙනවාද කියා ගණන් කළ හැකි සමතෙකු සිටිනවාද? අහස්තලයේ වතුර භාජන පෙරළිය හැක්කේ කාටද?’ (යෝබ් 38:28, 36, 37NW) යෝබ්ගෙන් යෙහෝවා දෙවි එම ප්‍රශ්න අසා දැනට අවුරුදු 3,500ක් පමණ ගත වී තිබුණත් තවමත් එම ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න විද්‍යාඥයන් සමත් වී නැහැ.

වර්ෂාව ඇති වන අයුරු

පුරාණයේ සිටි ග්‍රීක දර්ශනවාදීන් සිතුවේ ගංගාවලින් ගලා බසින ජලය වැසි ජලය නොව මුහුදු ජලය කියායි. ඔවුන් පවසා සිටියේ මුහුදේ ඇති ජලය පොළොව යටින් ගමන් කර කඳු මුදුන් දක්වා ගොස් පසුව දිය ඇළි ඔස්සේ ගංගාවලට එකතු වී නැවත මුහුදට ගලා බසින බවයි. සලමොන් රජ පැවසූ මේ වදන්වලින්ද කියැවෙන්නේ එම ක්‍රියාවලියම බව බයිබලය පිළිබඳව විස්තර සපයන පොතක සඳහන් වුණා. “සියලු ගංගා ගලා බසින්නේ මුහුද වෙතටය. එහෙත් මුහුද පිරී ඉතිරී යන්නේ නැත. මුහුදේ ජලය නැවතත් දිය ඇළි, ගංගාවලට එකතු වෙයි.” (දේශනාකාරයා 1:7NW) සලමොන් ඇත්තටම එයින් අදහස් කළේ මුහුදේ ඇති ජලය පොළොව යටින් ගමන් කර කඳු මුදුන් දක්වා ගොස් දිය ඇළි ඔස්සේ ගංගාවලට එකතු වී නැවත මුහුදට ගලා බසිනවා කියාද? එම ප්‍රශ්නයට පිළිතුරු දැනගැනීමට සලමොන්ට පසු ඔහු ජීවත් වූ දේශයේම සිටි අය ඒ සම්බන්ධයෙන් පැවසූ අදහස් සලකා බලමු.

ඉන් එක් පුද්ගලයෙක් වන්නේ යෙහෝවා දෙවිගේ අනාගතවක්තෘවරයෙක් ලෙස සේවය කළ එලියායි. වලාකුළු පැමිණෙන දිශාව සම්බන්ධයෙන් ඔහුට මනා අවබෝධයක් තිබුණා. එය සනාථ කරන මෙම සිදුවීම සලකා බලන්න. ඔහුගේ කාලයේ සිටි සමහර ඊශ්‍රායෙල්වරුන් යෙහෝවා දෙවිට නමස්කාර කළේ නැහැ. ඒ වෙනුවට ඔවුන් නමස්කාර කළේ කානානිවරුන්ගේ දෙවි කෙනෙකු වූ බාල්ටයි. මේ නිසා ඔවුන්ට දඬුවමක් ලෙස යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් දේශය පුරා වසර තුනහමාරක නියඟයක් පවතින්න සැලැස්සුවා. (යාකොබ් 5:17) නමුත් පසුතැවිලි වී නැවත යෙහෝවා දෙවි වෙතට හැරෙන්න එලියා මේ සෙනඟට උපකාර කළා. ඉන්පසුව වර්ෂාව ලබා දෙන්න කියා ඔහු යෙහෝවා දෙවිට යාච්ඤා කර තම සේවකයාට මෙසේ පැවසුවා. “ගිහින් මුහුද දෙස බලන්න.” මුහුද දෙස බලා පැමිණි සේවකයා එලියාට පැවසුවේ මෙසේයි. “මුහුදෙන් වලාකුළක් නැඟී එනවා මම දැක්කා.” තමාගේ යාච්ඤාවට දෙවි සවන් දුන් බව එලියාට මෙයින් වැටහුණා. ඊළඟට සිදු වූ දේ බයිබලයේ මෙසේ වාර්තා වී තිබෙනවා. “අහස අඳුරු වී තද සුළඟක් හැමුවේය. ඉන්පසු මහත් වර්ෂාවක් හටගත්තේය.” (1 රාජාවලිය 18:43-45NW) ගොස් මුහුද දෙස බලන්න කියා එලියා තම සේවකයාට පැවසුවේ වලාකුළු ඇති වන්නේ මුහුදට ඉහළින් බව ඔහු දැන සිටි නිසයි. එමෙන්ම මෙම වලාකුළු සුළඟ සමඟ ගොඩබිම දෙසට ගසාගෙන එන නිසා වැස්ස ඇති වෙන බවත් එලියා දැන සිටියා.

එම සිදුවීමෙන් වසර 100කට පමණ පසු ජීවත් වූ ආමොස්ද වර්ෂාව ඇති වන ආකාරය ගැන වැදගත් කරුණක් හෙළි කළා. යෙහෝවා දෙවි ආමොස්ව අනාගතවක්තෘවරයෙක් ලෙස යොදාගත්තේ ඊශ්‍රායෙල්වරුන්ට අනතුරු ඇඟවීම සඳහායි. ඊට හේතුව එවකට සිටි සමහර ඊශ්‍රායෙල්වරුන් දිලිඳු අයට පීඩා කරමින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කිරීමයි. ආමොස් ඊශ්‍රායෙල්වරුන්ට උනන්දු කළේ “යෙහෝවා දෙවිගේ මඟ පෙන්වීම් සොයා ඒ අනුව ජීවත් වන්න” කියායි. යෙහෝවා දෙවි සියලු දේ නිර්මාණය කළ නිසාත් ඔහු “මුහුදේ වතුරට හඬගසා එය පොළොවට වැසි සේ වස්සවන” නිසාත් සියලුදෙනාම ඔහුට පමණක් නමස්කාර කළ යුතු බව ආමොස් පැවසුවා. (ආමොස් 5:6, 8NW) පොළොවට වැසි ලැබෙන්නේ මුහුදෙන් වාෂ්ප වන ජලයෙන් බව ආමොස් නැවත වතාවක් සඳහන් කළා. (ආමොස් 9:6) මින් අපට පැහැදිලි වන්නේ වැස්ස ඇති වන ආකාරය හෙවත් ජල චක්‍රය ගැන ආමොස්ට මනා අවබෝධයක් තිබුණු බවයි.

වර්ෂ 1687දී එඩ්මන්ඩ් හේලී ජල චක්‍රය ගැන විද්‍යාත්මකව ඔප්පු කර පෙන්වුවත් බොහෝදෙනා එය විශ්වාස කළේ නැහැ. ඒ සම්බන්ධයෙන් එක් පොතක මෙසේ සඳහන් වුණා. “මුහුදු ජලය පොළොව යටින් ගමන් කර කඳු මුදුන් දක්වා ගොස් දිය ඇළි ඔස්සේ ගංගාවලට එක් වී මුහුදට ගලා බසිනවා යන මතය දහඅට වන සියවස දක්වාම පැවතුණා.” (Encyclopædia Britannica) නමුත් දැන් නම් බොහෝදෙනා ජල චක්‍රය පිළිගන්නවා. කලින් සඳහන් කළ ප්‍රකාශනයේම මෙසේද සඳහන් වුණා. “මුහුදු ජලය වාෂ්ප වී වායු ගෝලයට එක් වෙනවා. පසුව ඒවායින් වලාකුළු සෑදී වර්ෂාව ඇති වෙනවා. එම වැසි ජලය ගංගා ඔස්සේ ගලා ගොස් නැවත මුහුදටම එක් වෙනවා.” මේ අනුව කලින් සඳහන් කළ ලෙස සියලු ගංගා මුහුදට ගලා බසින බවත් මුහුදේ ජලය නැවතත් දිය ඇළි ඔස්සේ ගංගාවලට එකතු වන බවත් සලමොන් පැවසූ විට ඔහු ඉන් අදහස් කළේ ජල චක්‍රය ගැනයි.—දේශනාකාරයා 1:7

ඔබ කළ යුත්තේ කුමක්ද?

ජල චක්‍රය ගැන බයිබලයේ නිවැරදිව වාර්තා වී තිබීමෙන් පැහැදිලි වන්නේ බයිබලය දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු පොතක් බවයි. (2 තිමෝති 3:16) නමුත් දැන් නම් මිනිසා අතින් පරිසරයට බොහෝ හානි සිදු වී තිබෙන නිසා කාලගුණය වෙනස් වී තිබෙනවා. සමහර ප්‍රදේශවලට ගංවතුරත් තවත් ප්‍රදේශවලට නියඟයනුත් ඇති වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. කොහොමවුණත් ජල චක්‍රය නිර්මාණය කළ යෙහෝවා දෙවි “පොළොව විනාශ කරන අයව විනාශ කර දැමීමට” කටයුතු කරන බව බයිබලයේ සඳහන් වෙනවා.—එළිදරව් 11:18.

වර්ෂාව වැනි පුදුමාකාර දෙයක් නිර්මාණය කළ යෙහෝවා දෙවිට ඔබේ අගය පෙන්විය හැක්කේ කෙසේද? එය කළ හැක්කේ බයිබලය හොඳින් අධ්‍යයනය කර එහි සඳහන් වටිනා ප්‍රතිපත්ති ඔබේ ජීවිතයට අදාළ කරගැනීමෙනුයි. එසේ කළොත් අනාගතයේදී යෙහෝවා දෙවි මේ පොළොව පාරාදීසයක් කළ දාට ඔබටත් එහි සන්තෝෂයෙන් ජීවත් වීමට හැකි වෙනවා. එමෙන්ම යෙහෝවා දෙවි ලබා දෙන ‘සෑම යහපත් දීමනාවක්ම හා සෑම සම්පූර්ණ ත්‍යාගයක්ම’ භුක්ති විඳින්නත් ඔබට අවස්ථාව ලැබෙනවා.—යාකොබ් 1:17.

[16, 17වන පිටුවේ රූප සටහන/පින්තූරය]

(මුද්‍රිත පිටපත බලන්න)

ජල වාෂ්ප ජලය බවට පත් වීම

වායු ගෝලයේ තිබෙන ජල වාෂ්ප පොළොවට ඇද හැළීම

ශාක පත්‍රවලින් ජල වාෂ්ප පිට වීම

ජලය වාෂ්ප වීම

ගංගා ඇළ දොළ ඔස්සේ ජලය මුහුදට ගලා බැසීම

භූගත ජලය

[16වන පිටුවේ පින්තූර]

එලියා යාච්ඤා කළ අවස්ථාවේ ඔහුගේ සේවකයා ගොස් මුහුද දෙස බැලුවා