Skip to content

පටුනට යන්න

‘දෙවිගේ කැමැත්ත කිරීම මම සලකන්නේ මගේ කෑම ලෙසයි’

‘දෙවිගේ කැමැත්ත කිරීම මම සලකන්නේ මගේ කෑම ලෙසයි’

ඔබ වැඩියෙන් සතුටු වෙන්නේ මොන දෙයින්ද? විවාහ ජීවිතයෙන්ද? දරුවෝ ඇතිදැඩි කරලද? යාළු මිත්‍රයෝ ආශ්‍රය කරලද? ආදරය කරන අය එක්ක එකතු වෙලා කෑම වේලක් ගන්න එකෙන්ද? ඒ දේවලින් සතුටක් ලැබෙනවා තමයි. ඒත් යෙහෝවා දෙවිගේ කැමැත්තට එකඟව දේවල් කරන එකෙන්, බයිබලය අධ්‍යයනය කරන එකෙන්, ශුභාරංචිය දේශනා කරන එකෙන් අපි ඊට වඩා ලොකු සතුටක් ලබනවා නේද?

දාවිත් මෙහෙම කිව්වා. “මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම බොහෝ සේ ආශා වෙමි. ඔබේ නීතිය මාගේ සිතෙහි ලියා ඇත.” (ගීතා. 40:8) දාවිත් ජීවිතයේ හුඟක් දුක් ගැහැටවලට මුහුණ දුන්නත් කැමැත්තෙන්ම දෙවි බලාපොරොත්තු වුණු දේවල් කරපු නිසා ඔහු ලොකු සතුටක් අද්දැක්කා.

පාවුල් ගීතාවලිය 40:8 තියෙන දේ යේසුස්ට අදාළ කරලා මෙහෙම කිව්වා. “යේසුස් මෙලොවට පැමිණි විට ඔහු දෙවිට මෙසේ පැවසුවේය. ‘“ඔබ පූජාවලටත් යාගවලටත් කැමති වූයේ නැත. ඒ වෙනුවට ඔබ මා වෙනුවෙන් ශරීරයක් සූදානම් කළේය. දවන පූජා සහ පාප පූජාවලට ඔබේ අනුමැතිය ලැබුණේ නැත.” එවිට මම මෙසේ කීවෙමි. “මෙන්න, මාගේ දෙවියනි, ඔබේ කැමැත්ත කිරීමට මම ඇවිත් සිටිමි. (අකුළන ලද ලියවිල්ලේ මා ගැන ලියා ඇත.)”’”හෙබ්‍රෙ. 10:5-7.

යේසුස් මේ පොළොවේ ඉද්දී දෙවිගේ නිර්මාණ දිහා බලලා, මිතුරන් ඇසුරු කරලා, ඔවුන් එක්ක එකට කෑම කාලා ලොකු සතුටක් ලැබුවා. (මතෙ. 6:26-29; යොහ. 2:1, 2; 12:1, 2) ඒ වුණත් ඔහු වැඩියෙන්ම සතුටු වුණේ දෙවි පියාණන් භාර දුන්න කාර්යය කරන එකෙනුයි. “මාව එවූ තැනැත්තාගේ කැමැත්ත කිරීමත් ඔහු මට දුන් කාර්යය සම්පූර්ණ කිරීමත් මම සලකන්නේ මගේ කෑම ලෙසයි” කියලා යේසුස් කිව්වේ ඒ නිසයි. (යොහ. 4:34; 6:38) යේසුස්ගේ ගෝලයොත් ජීවිතයේ නියම සතුට ලබන විදිහ ඔහුගෙන් ඉගෙනගත්තා. ඒ නිසා ඔවුන් කැමැත්තෙන්, උද්‍යෝගයෙන්, සතුටින් දේවරාජ්‍යය ගැන දේශනා කළා.ලූක් 10:1, 8, 9, 17.

“මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න”

යේසුස් අපිට මේ වගේ ආඥාවක් දුන්නා. “ගොස් සෑම ජාතියකටම අයත් මිනිසුන්ට මගේ ගෝලයන් වෙන්න උපකාර කරන්න. පියාණන්වත් පුත්‍රයාවත් දෙවිගේ බලයේ ක්‍රියාකාරිත්වයත් පිළිගන්නා අයව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සෑම දෙයක්ම පිළිපදින්න ඔවුන්ට උගන්වන්න. මෙයද මතක තබාගන්න. මම මෙතැන් පටන් පවතින සමාජයේ අවසාන කාල පරිච්ඡේදය නිමා වන තුරුම ඔබ සමඟ සැමදා සිටිනවා.” (මතෙ. 28:19, 20) මිනිසුන් කොහේ, කොතැනක හිටියත් ඔවුන්ට ශුභාරංචිය දේශනා කරන එක, පණිවිඩයට හොඳින් සවන් දෙන අයව ආපහු බලන්න යන එක, ඔවුන් එක්ක බයිබලය පාඩම් කරන එක ඒකට ඇතුළත්. ඒ දේවල් කළොත් අපිට ලොකු සතුටක් ලැබෙනවා.

මිනිසුන් ගැන අපිට ආදරයක් තියෙනවා නම් ඒ අය උනන්දුවක් දැක්වුවේ නැතත් සේවයේ යන්න අපි පෙලඹෙයි

දේශනා සේවයෙන් අපි සතුටක් ලබනවද නැද්ද කියන එක රැඳිලා තියෙන්නේ මිනිසුන් අපි කියන පණිවිඩය පිළිගන්නවද නැද්ද කියන එක මත නෙමෙයි. අපේ සේවය ගැන අපි හිතන, අපිට හැඟෙන විදිහ මතයි. මිනිසුන් අපේ පණිවිඩයට සවන් දෙන්න එච්චර උනන්දුවක් නැහැයි කියලා පේන්න තිබුණත් අපි දිගටම දේශනා සේවයේ හවුල් වෙන්න ඕනේ. මොකද එහෙම කරන එකෙන් තමයි දෙවිටත් අසල්වැසියන්ටත් ප්‍රේම කරනවා කියලා අපි පෙන්නන්නේ. ඇත්තටම අපෙත් අපේ අසල්වැසියන්ගෙත් ජීවිත තියෙන්නේ ලොකු අනතුරක් අභියසයි. (එස. 3:17-21; 1 තිමෝ. 4:16) අපේ පණිවිඩයට උනන්දුවක් දක්වන්නේ නැති අය ඉන්න ප්‍රදේශවල වුණත් උද්‍යෝගයෙන් සේවයේ හවුල් වෙන්න අපේ සහෝදර සහෝදරියන්ට උදව් වුණු දේවල් කීපයක් දැන් අපි බලමු.

නිතරම සූදානමින් ඉන්න

සේවයේ යද්දී හොඳට හිතලා ප්‍රශ්න අහන එකෙන් හුඟක් ප්‍රයෝජන ලැබෙනවා. දවසක් උදෙන්ම පාක් එකකට ගිය අමල්‍යා පත්තරයක් බලබල ඉන්න කෙනෙක්ව දැකලා එයා ළඟට ගිහින් මෙහෙම ඇහුවා. “පත්තරේ මොනවා හරි හොඳ ආරංචියක් තියෙනවද?” “දැන් කාලේ කොහෙද හොඳ ආරංචි” කියලා ඒ කෙනා කිව්වම අමල්‍යා කිව්වා “මට නම් ඔයාට කියන්න හොඳ ආරංචියක් තියෙනවා” කියලා. ඊටපස්සේ දේවරාජ්‍යය ගැන එයාට කිව්වා. අන්තිමට ඒ කෙනා බයිබල් පාඩමක් කරන්නත් කැමති වුණා. ඒ පාක් එකට ආපු තුන්දෙනෙක් එක්ක බයිබල් පාඩම් පටන්ගන්න අමල්‍යාට පුළුවන් වුණා.

ජැනස් කියන සහෝදරිය එයා එක්ක වැඩ කරන අයට නිතරම ශුභාරංචිය ගැන කියනවා. එතන වැඩ කරන ආරක්ෂක නිලධාරියෙකුයි තවත් කෙනෙකුයි ‘මුරටැඹ’ සඟරාවක පළ වුණු ලිපියක් ගැන උනන්දු වෙනවා කියලා තේරුණ නිසා “හැම මාසෙම මම මේ සඟරා ගෙනත් දෙන්නම්” කියලා ජැනස් කිව්වා. ‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’ සඟරාවල පළ වෙන විවිධ ලිපි කියවන්න ආස කරපු, එයාත් එක්ක වැඩ කරන තවත් කෙනෙකුටත් ජැනස් මාස්පතා සඟරා දෙනවා. ඒවා දැකලා තවත් කෙනෙක් එයාගෙන් සඟරා ඉල්ලුවා. ඔය විදිහට ජැනස් මාස්පතා 11දෙනෙකුට සඟරා ගෙනත් දෙනවා.

සාර්ථක වෙනවා කියන විශ්වාසයෙන් ඉන්න

චාරිකා සේවකයෙක් මේ වගේ යෝජනාවක් දුන්නා. “ගෙයින් ගෙට ගිහින් කෙනෙක් එක්ක කතා කළාට පස්සේ ‘මං ආයෙත් දවසක ඔයාව හම්බ වෙන්න එන්නම්’ කියලා කියන්නේ නැතුව ‘මං ඔයාට බයිබල් පාඩමක් කරන විදිහ පෙන්නුවොත් ඔයා ඒකට කැමතිද’ කියලා අහලා බලන්න. එහෙම නැත්නම් ‘මේ ගැන තව කතා කරන්න මං කවදා, කොයි වෙලාවට ආවොත්ද ඔයාට ලේසි’ කියලා අහන්න.” ඒ විදිහට කරපු එක සභාවක් සතියක් ඇතුළත බයිබල් පාඩම් 44ක් පටන්ගත්තා කියලා ඒ චාරිකා සේවක කියනවා.

උනන්දුව දක්වන කෙනෙක් ආයෙත් එන්න කිව්වොත් දවස් කීපයක් ඇතුළත, පොරොන්දු වුණ වෙලාවටම එයාව හම්බ වෙන්න යන එකෙනුත් සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. එහෙම කරද්දී අපි ඒ කෙනා ගැන හිතනවා කියලත් බයිබලයේ තියෙන දේවල් එයාට කියලා දෙන්න අපි ආශාවෙන් ඉන්නවා කියලත් එයා තේරුම්ගන්නවා. බයිබල් පාඩමක් කරන්න කැමති වුණේ ඇයි කියලා එක කාන්තාවකගෙන් ඇහුවම එයා මෙහෙම කිව්වා. “ඒ අය ඇත්තටම මං ගැන හිතනවා කියලා මට තේරුණ නිසයි මං පාඩමක් කරන්න කැමති වුණේ.”

සේවයේදී හම්බ වෙන කෙනෙක්ගෙන් “මං ඔයාට බයිබල් පාඩමක් කරන විදිහ පෙන්නුවොත් ඔයා ඒකට කැමතිද” කියලා අහන්න

පුරෝගාමි පාසැලට සහභාගි වෙලා ටික කාලයක් ඇතුළත මාදයි කියන සහෝදරියට බයිබල් පාඩම් 15ක් පටන්ගන්න පුළුවන් වුණා. තවත් පාඩම් 5ක් එයා වෙන අයටත් භාර දුන්නා. එයාත් එක්ක පාඩම් කරන කීපදෙනෙක් දැන් නිතිපතා රැස්වීම්වලටත් එනවා. එයාට එච්චර පාඩම් පටන්ගන්න පුළුවන් වුණේ ඇයි කියලා දන්නවද? සේවයේ යද්දී උනන්දුව දක්වන කෙනෙක්ව හම්බ වුණොත් අත්හරින්නේ නැතුව දිගටම එයාව හම්බ වෙන්න යන එකේ වටිනාකම එයා පුරෝගාමි පාසැලෙන් ඉගෙනගත්ත නිසයි. සත්‍යයට එන්න හුඟක් අයට උදව් කරපු සහෝදරියක් මෙහෙම කියනවා. “අත්හරින්නේ නැතුව නැවත බැලීම් කරන එක යෙහෝවා දෙවි ගැන දැනගන්න කැමැත්තෙන් ඉන්න අයට උදව් කරන්න පුළුවන් හොඳම විදිහයි.”

බයිබලය ගැන දැනගන්න ආශාවෙන් ඉන්න කෙනෙක්ව හම්බ වුණාම කල් දාන්නේ නැතුව ඉක්මනින්ම ගිහින් එයාව හම්බ වෙනවා නම් ඒකෙන් පේන්නේ අපි ඒ කෙනා ගැන සැලකිලිමත් කියලයි

නැවත බැලීම් කරන්න, බයිබල් පාඩම් කරන්න අපිට ලොකු වෑයමක් දරන්න වෙනවා. ඒත් ඒකෙන් ලැබෙන සතුට නම් මිල කරන්න බැහැ. දේශනා සේවයේ උපරිමයෙන් හවුල් වුණොත් මිනිසුන්ට “සත්‍යය පිළිබඳව නිවැරදි දැනුමක්” ලබාගන්න උදව් කරන්න අපිට පුළුවන්. (1 තිමෝ. 2:3, 4) ප්‍රතිඵලය? ළඟදී එන විනාශයෙන් බේරෙන්න ඒ අයට පුළුවන් වෙයි. අපිටත් කියාගන්න බැරි තරමේ සතුටක්, තෘප්තියක් ලැබෙයි.