Skip to content

පටුනට යන්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

පාඨකයන්ගෙන් ප්‍රශ්න

‘තමාට විශ්වාසවන්තව සිටින අයගේ මරණය යෙහෝවා දෙවි සුළුවට සලකන්නේ නැහැ’ කියා ගීතාවලිය 116:15 පවසන්නේ ඇයි?

▪ දෙවි තමාට සේවය කරන සෑම කෙනෙකුගේම ජීවිත අනර්ඝ ලෙස සලකනවා. නමුත් ගීතාවලිය 116:15හි කතා කරන්නේ එක් එක් කෙනාගේ මරණය ගැන නොවෙයි. ඊට වඩා පුළුල් අර්ථයක් එහි තිබෙනවා.

එහි පෙන්වන්නේ දෙවිගේ විශ්වාසවන්ත සෙනඟව සමූහයක් ලෙස පොළොවෙන් අතු ගා දමන්න දෙවි ඉඩ දෙන්නේ නැති බවයි. (ගීතා. 72:14; 116:8 බලන්න.) එමනිසා දෙවිට විශ්වාසවන්තව සිටි කෙනෙකු මිය ගිය විට ඉදිරිපත් කරන අවමංගල්‍ය කතාවේදී මිය ගිය පුද්ගලයාට එම බයිබල් පදය අදාළ කිරීම සුදුසු වෙන්නේ නැහැ.

නවීන කාලයේ සාක්ෂිකරුවන් දරුණු පීඩාවලට මුහුණ දී තිබුණත් සමූහයක් ලෙස ඔවුන්ව සම්පූර්ණයෙන්ම නැති කිරීමට කිසිවෙකුට හැකි වී නැහැ. දෙවි එවැනි දෙයකට කිසිම ඉඩක් දෙන්නේ නැති බව ඉන් පැහැදිලියි.

දෙවි එසේ කිරීමට ඉඩ නොදෙන්නේ ඇයි? ඊට හේතු අපි දැන් සලකා බලමු. දෙවිගේ බලය අසීමිතයි. වෙන කිසිවෙකුට ඔහු හා සමාන බලයක් නැහැ. නමුත් සමූහයක් ලෙස අපිව නැති කර දැමීමට ඉඩ දුන්නොත් ඔහුට වඩා ඔහුගේ සතුරන් බලවත් කියා කෙනෙකු සිතන්න ඉඩ තිබෙනවා. දෙවිගේ අරමුණ මුළු පොළොවම ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ගෙන් පිරවීමයි. එය ඉටු වීම නවත්වන්න කාටවත් බැහැ. (යෙසා. 45:18; 55:10, 11) දෙවිගේ සෑම සේවකයෙකුවම විනාශ කර දැමුවොත් ඔහුට නමස්කාර කිරීමට මේ පොළොවේ කිසිවෙක් ඉතුරු වෙන්නේ නැහැ. එහෙම වුණොත් ‘අලුත් අහස’ වන දෙවිගේ පාලනය යටතේ ‘අලුත් පොළොවක්’ හෙවත් කීකරු මිනිස් සමාජයක් බිහි වෙන්නේ නැහැ. (එළි. 21:1) පොළොවේ වැසියන් නැති වුණොත් දේවරාජ්‍යය පිහිටුවීමෙන් පලක් නැහැ.—එළි. 20:4, 5.

සමූහයක් ලෙස තම සේවකයන්ව නැති කිරීමට දෙවි තම සතුරන්ට ඉඩ දුන්නොත් එය දෙවිගේ නමට කැළැලක් වන අතර විශ්වය පාලනය කිරීමට සුදුසුම කෙනා ඔහුද කියා කෙනෙකුට සිතෙන්න පුළුවන්. ඒ නිසා තමාගේ නාමය වෙනුවෙන් විශ්වාසවන්ත සේවකයන්ව නැති කිරීමට දෙවි ඉඩ දෙන්නේ නැහැ. මේ ගැනත් සිතන්න. ‘දෙවි අතින් කිසිම අසාධාරණයක් සිදු නොවන’ නිසා ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ව මුලිනුපුටා දමන්න ඔහු ඉඩ දෙන්නේ නැහැ. (ද්වි. 32:4; උත්. 18:25) ඒ බව ඔහු දී ඇති මෙම පොරොන්දුවලින් තවදුරටත් පැහැදිලි වෙනවා. “යෙහෝවා දෙවි ඔහුගේ ශ්‍රේෂ්ඨ නාමය අවමානයට ලක් වෙන්න කිසිදා ඉඩහරින්නේ නැහැ. ඒ නිසා ඔහු ඔහුගේ සෙනඟව අත්හරින්නේ නැති බව ස්ථිරයි.” (1 සාමු. 12:22) “යෙහෝවා දෙවි ඔහුගේ සෙනඟව අත් නොහරින්නේය. තම උරුමය වූ ඔවුන්ව ඉවත නොදමන්නේය.”—ගීතා. 94:14.

දෙවි තම විශ්වාසවන්ත සේවකයන් ගැන පවසා තිබෙන දෙය හොඳින් මතක තබාගනිමු. “ඔබට විරුද්ධව සාදන කිසිම ආයුධයක් සාර්ථක වන්නේ නැත. ඔබට චෝදනා කරන සියලුදෙනාම දුෂ්ටයන් බව ඔබ ඔප්පු කරනු ඇත. යෙහෝවා දෙවිගේ සේවකයන්ට ලැබෙන උරුමය එයයි. එමෙන්ම ඔවුන් ධර්මිෂ්ඨ සෙනඟක් වී සිටින්නේ මා නිසාය.” (යෙසා. 54:17) දිගටම විශ්වාසවන්තව සිටීමට එම සහතිකය අපට මහත් ශක්තියක්!

[22වන පිටුවේ වාක්‍ය කණ්ඩය]

තම විශ්වාසවන්ත සේවකයන්ව පොළොවෙන් අතු ගා දමන්න දෙවි ඉඩ දෙන්නේ නැහැ