Skip to content

පටුනට යන්න

විස්මයජනක ආලෝකයක්!

විස්මයජනක ආලෝකයක්!

විස්මයජනක ආලෝකයක්!

ඔබ යම් දවසක අඳුරේ අත පත ගාගෙන ඇවිද ගොස් තිබෙනවා නම් එය මොනතරම් අමිහිරි අද්දැකීමක් වුණාද කියා ඔබ දන්නවා ඇති. එවැනි අවස්ථාවකදී ඔබට එළියක් ලැබුණොත් එය මොනතරම් සහනයක්ද! සමහර අවස්ථාවලදී ඔබ ජීවිතයේ අද්දකින කටුක තත්වයක් අඳුරට සමාන කරන්න පුළුවන්. ඒකට හේතුව ඒ ප්‍රශ්නෙන් නැත්නම් තත්වයෙන් මිදෙන්න ක්‍රමයක් ඔබට තිබුණේ නැති නිසයි. නමුත් කෙමෙන් කෙමෙන් එළිය දකිනවා හා සමානව ප්‍රශ්නෙට විසඳුමක් තිබෙන බව දකිද්දී ඔබට ඇති වන්නේ කොතරම් සතුටක්ද!

පළමුවන ශත වර්ෂයේ බොහෝදෙනෙකුට දෙවි පිළිබඳ නිවැරදි දැනුමක් තිබුණේ නැහැ. ඒ අතින් බලද්දී ඔවුන් ඝන අන්ධකාරයේ සිටියා කියා කිව හැකියි. තමන්ගේ කලින් ඇදහිලි ක්‍රම අත් හැර සැබෑ ක්‍රිස්තියානීන් බවට පත් වූ අයව අමතමින් පාවුල් මෙසේ පැවසුවා. දෙවි ‘අන්ධකාරයෙන් සිය විස්මයජනක ආලෝකයට ඔබව කැඳවාගත්තේය.’ (1 පේතෘස් 2:9) ඔවුන්ට මෙය හරියට තද අන්ධකාරයේ සිට ආලෝකයට පැමිණියා හා සමාන වුණා. තවත් ආකාරයකින් පවසනවා නම් කිසිම බලාපොරොත්තුවක් නැති තත්වයක සිටින කෙනෙකුට සුරක්ෂිත අනාගතයක් තිබෙන පවුලක සාමාජිකයෙක් වෙන්න ලැබෙනවා වගේයි.—එෆීස 2:1, 12.

“මුලින් තිබූ ඔබේ ප්‍රේමය ඔබ අත්හැරියෙහිය”

මුල් ක්‍රිස්තියානීන්ට ‘සත්‍යය’ දැනගන්න ලැබුණා. සත්‍යය කියන්නේ සැබෑ ක්‍රිස්තියානී ඇදහිල්ලටයි. (යොහන් 18:37) ඔවුන් විස්මයජනක ආලෝකය හෙවත් සත්‍යය දුටු විට ඔවුන් තමන් සිටි අන්ධකාර තත්වයෙන් මිදී ආලෝකය කරා පැමිණියා. කෙසේවෙතත් කාලයක් ගත වෙද්දී සමහර ක්‍රිස්තියානීන් තුළ තමන්ට සත්‍යය කෙරෙහි මුලින් තිබූ උද්‍යෝගය ටිකෙන් ටික අඩු වෙන්න පටන් ගත්තා. උදාහරණයක් ලෙස පළමුවෙනි ශතවර්ෂය අවසානයේදී එෆීස සභාවේ බරපතළ ප්‍රශ්නයක් මතු වුණා. මෙම ප්‍රශ්නය හඳුනාගත් නැවත නැඟිටුවනු ලැබූ යේසුස් මෙසේ පැවසුවා. “එහෙත්, ඔබට විරුද්ධව මට කාරණාවක් ඇත. මුලින් තිබූ ඔබේ ප්‍රේමය ඔබ අත්හැරියෙහිය. “ ‘එබැවින්, ඔබ පහත වැටී සිටින්නේ කුමකින්දැයි සිහි කර, පසුතැවිලි වී, මුලින් කළ ක්‍රියා නැවත කරන්න.’” (එළිදරව් 2:4, 5) එෆීසයේ සිටි ක්‍රිස්තියානීන් තුළ මුලින් දෙවිට හා සත්‍යයට තිබූ ප්‍රේමය නැවත ප්‍රාණවත් කර ගත යුතු වුණා.

අපි ගැන කුමක් කිව හැකිද? අපිත් දෙවි සපයා දී තිබෙන ආලෝකය හෙවත් දෙවිගේ වචනය නමැති සත්‍යය දැනගැනීමෙන් මහත් ප්‍රීතියක් අද්දැක තිබෙනවා. අපිටත් සත්‍යය කෙරෙහි ලොකු ඇල්මක් තිබෙනවාට සැකයක් නැහැ. ඒත් අපිට මුලින් තිබූ ඒ ඇල්ම අඩුවෙන්න ඉඩ තිබෙනවා. එයට බලපාන එක් හේතුවක් වන්නේ පොදුවේ මිනිසුන්ට මුහුණ පාන්න සිදුවන ප්‍රශ්න ගැටලුවලට අපටත් මුහුණ දෙන්න සිදු වන නිසයි. තවත් හේතුවක් වන්නේ අප ජීවත් වන්නේ ‘අන්තිම කාලයේ’ නිසා එයටම ආවේනික “කටයුතු කිරීමට අසීරු, අන්තරාදායක” තත්වයන්ට මුහුණ දෙන්න සිදුවන නිසයි. මේ කාලයේ “තමුන්ටම ප්‍රේම කරන, මුදලට ප්‍රේම කරන, පුරසාරම් දොඩන, උඩඟු, දේවඅපහාස කරන, දෙමාපියන්ට අකීකරු වන, ස්තුතිවන්ත නොවන, පක්ෂපාතිත්වයක් නැති” මිනිසුන්ගෙන් අප වට වී සිටින නිසත් තත්වය තවත් අපහසු වී තිබෙනවා. (2 තිමෝති 3:1, 2) එවැනි අයගේ බලපෑම් නිසා අප තුළ සත්‍යය කෙරෙහි තිබූ උද්‍යෝගය හා යෙහෝවා දෙවිට තිබූ ප්‍රේමය අඩු වෙන්න පුළුවන්.

අපිට මුලින්ම තිබූ ප්‍රේමය අඩු වී තිබෙනවා නම් අපි ‘පහත වැටී සිටින්නේ කුමකින්දැයි සිහි කර, පසුතැවිලි වීම’ අවශ්‍යයි. කලින් තිබුණා හා සමානව දෙවි කෙරෙහි ශක්තිමත් ඇදහිල්ලක් අපි ඇති කරගත යුතුයි. ඒ විතරක් නෙවෙයි, සත්‍යය කෙරෙහි තිබෙන අපේ ඇල්ම හීන වී යෑමටද අපි ඉඩ නොදිය යුතුයි. අපි සියලුදෙනාම සත්‍යය කෙරෙහි ඇති නිසැකකම හා උද්‍යෝගය දිගටම පවත්වා ගැනීම කොතරම් වැදගත්ද! එමගින් දෙවි කෙරෙහි ඇති ප්‍රේමය හා සත්‍යය කෙරෙහි ඇති ඇල්ම දිගටම රැකගන්න අපිට හැකි වෙනවා.

‘අපව නිදහස් කරන සත්‍යය’

බයිබලයේ සඳහන් සත්‍යය විස්මයජනක ආලෝකයක් කියා හැඳින්වීමට එක් හේතුවක් වන්නේ දිගු කාලයක් පුරා මිනිසුන්ට පිළිතුරු දැනගැනීමට නොහැකිව සිටි වැදගත් ප්‍රශ්නවලට එමගින් පිළිතුරු දැනගත හැකි නිසයි. එම ප්‍රශ්නවලින් සමහරක් වන්නේ, ජීවිතයේ අරමුණ කුමක්ද? දුෂ්ටකම් පවතින්නේ ඇයි? අපි මැරණත් අපි තුළ නොමැරෙන යමක් ඉතිරි වෙනවාද? යන ප්‍රශ්නයි. බයිබලයේ එවැනි ප්‍රශ්නවලට පිළිතුරු දී තිබෙනවා. එවැනි විස්මයජනක සත්‍යයන් තේරුම්ගැනීමට යෙහෝවා දෙවි අපට උපකාර කර තිබෙනවා. අපි එය මුළු හදින්ම අගය කළ යුතුයි. ඒ නිසා අපි ඉගෙනගෙන තිබෙන දේවල් කවදාවත් සුළුකොට නොතකමු.

“ඔබ සත්‍යය දැනගන්නවා ඇත. සත්‍යය ඔබව නිදහස් කරනවා ඇත” කියා යේසුස් ඔහුගේ ගෝලයන්ට පැවසුවා. (යොහන් 8:32) යේසුස්ගේ ජීවිත පූජාව නිසා මිනිසුන්ට පාපයෙන් සහ මරණයෙන් ගැලවීමට මඟ විවෘත වී තිබෙනවා. අද මුළු ලෝකයම අනාගතය ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව බියෙන් වෙලී තද අන්ධකාරයක පසුවෙනවා. ඒත් අගනා සත්‍යයන් ගැන දැනගැනීම නිසා එවැනි බියකින් නිදහස ලැබීමට අපට හැකි වී තිබෙනවා. අප දෙවිගෙන් ලබා ගෙන තිබෙන දැනුම ගැන ස්තුති පූර්වකව මෙනෙහි කිරීමෙන් අපට යෙහෝවා දෙවි හා ඔහුගේ වචනය කෙරෙහි තිබෙන ඇදහිල්ල තවත් ශක්තිමත් කරගන්න පුළුවන්.

තෙසලෝනිකයේ සිටින ක්‍රිස්තියානීන්ට පාවුල් මෙසේ පැවසුවා. “ඔබට දෙවිගේ වචනය අපෙන් අසන්නට ලැබුණු විට, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙස නොව දෙවිගේම වචනය ලෙසය. ඇදහිලිවන්තයන් වන ඔබ තුළ ක්‍රියා කරන්නෙත් එයයි.” (1 තෙසලෝනික 2:13) තෙසලෝනික වැසියන් ‘ප්‍රීතියෙන් [දෙවිගේ] වචනය පිළිගත්තා.’ මේ නිසා ඔවුන් තවදුරටත් “අන්ධකාරයේ” නොසිට “ආලෝකයේ පුත්‍රයෝ” බවට පත් වුණා. (1 තෙසලෝනික 1:4-7; 5:4, 5) යෙහෝවා දෙවි මුළු විශ්වයම නිර්මාණය කළ සර්ව බලධාරී දෙවි බවත් ප්‍රඥාවන්ත, ප්‍රේමණීය මෙන්ම කරුණාවන්ත දෙවි බවත් ඔවුන් ඉගෙනගත්තා. යෙහෝවා දෙවි මිනිසුන්ගේ පාප යේසුස්ගේ ජීවිත පූජාව මගින් මකා දැමීමට මඟ විවෘත කර තිබෙන බව යේසුස්ගේ වෙනත් ගෝලයන් මෙන් මොවුන්ද වටහා ගත්තා.—ක්‍රියා 3:19-21.

තෙසලෝනිකවරුන්ට සත්‍යය පිළිබඳ සම්පූර්ණ දැනුමක් නොතිබුණද දැනුම ලබා ගත යුත්තේ කොහෙන්ද කියා ඔවුන් තේරුම් ගත්තා. ශුද්ධ වූ ලියවිල්ලට දෙවිගේ මිනිසාව “පූර්ණ සමර්ථකමක් ඇතිව, සෑම යහපත් ක්‍රියාවක් සඳහාම අවශ්‍ය සියලු දෙයින් පූර්ණ” කිරීමේ හැකියාව තිබෙනවා. (2 තිමෝති 3:16, 17) තෙසලෝනිකයේ විසූ ක්‍රිස්තියානීන් දෙවිගේ සත්‍යය ගැන වඩ වඩාත් ඉගෙන ගැනීමෙන් දෙවිගේ වචනය ඇත්ත වශයෙන්ම විස්මයජනක ආලෝකයක් බව වටහා ගත්තා. සත්‍යය ගැන ප්‍රීති වීමට ඔවුන්ට බොහෝ හේතු තිබුණා. (1 තෙසලෝනික 5:16) අපටත් එසේ ප්‍රීති වීමට හේතු නැද්ද!

අපේ පාදවලට පහනක්

දෙවි සපයන ආලෝකය ඇත්තෙන්ම විශ්මයජනක වීමට හේතුවක් ගැන ගීතිකාකරු පැවසූ මේ දෙයින් පැහැදිලියි. “ඔබගේ වචන මාගේ පාදවලට පහනක්ය. මාවතට එළියක්ය.” (ගීතාවලිය 119:105) දෙවිගෙන් ලබන මගපෙන්වීම මගින් අපට ජීවිතයේ නිවැරදි මාර්ගයේ ගමන් කිරීමටත් අරමුණක් ඇතුව ජීවත් වීමටත් හැකි වෙනවා. අප කිසිදා ගසාගෙන යන නැවක් හා සමාන වන්නේ නැහැ. සත්‍යය දැනගෙන අප එම දැනුම අදාල කරගන්නවා නම් අප කවදාවත් “සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින්ද ඔබ මොබ විසි වෙන, රළ පහරින්ද ගසාගෙන” යන්නේ නැහැ.—එෆීස 4:14.

“අධිපතීන් කෙරෙහිවත්, පිහිට විය නොහැකි මනුෂ්‍ය පුත්‍රයා කෙරෙහිවත් විශ්වාස නොකරන්න. උපකාර පිණිස යාකොබ්ගේ දෙවි ඇති තැනැත්තේ වාසනාවන්තය [සන්තෝෂවත්ය]; ඔහුගේ බලාපොරොත්තුව තමන් දෙවි වූ යෙහෝවා කෙරෙහිය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 146:3, 5) යෙහෝවා දෙවි කෙරෙහි විශ්වාසය තැබීමෙන් සන්තෝෂය ලබනවා වගේම අපට ඇතිවන බියෙන් හා කනස්සල්ලෙන් මිදෙන්නත් හැකි වෙනවා. පාවුල් මෙසේ පැවසුවා. “කිසි දෙයක් ගැන කනස්සලු නොවී සියල්ලෙහිදී ස්තුති දීම සමඟ යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් ඔබේ ඉල්ලීම් දෙවිට දන්වන්න. එවිට, සියලු සිතුවිලි අබිබවා යන දෙවිගේ සමාදානය ක්‍රිස්තුස් යේසුස් මාර්ගයෙන් ඔබේ සිත්ද, මනස්ද ආරක්ෂා කරනවා ඇත.” (ෆිලිප්පි 4:6, 7) දෙවිගේ වචනය වන විස්මයජනක ආලෝකයෙන් අප මගපෙන්වීම ලබනවා නම් නියත වශයෙන්ම ප්‍රයෝජන අත්වෙනවාමයි.

ලෝකයේ ආලෝකය මෙන් බැබළෙන්න

දෙවිගේ වචනයෙන් ලැබෙන ආලෝකය විශ්මයජනක වීමට තවත් හේතුවක් වන්නේ මනුෂ්‍යයන්ට ලැබිය හැකි උතුම්ම වරප්‍රසාදය වන අන් අයට සත්‍යය කියා දීමේ අවස්ථාව එමගින් ලැබී තිබීමයි. යේසුස් ඔහුගේ ගෝලයන්ට මෙසේ උපදෙස් දුන්නා. “ගොස් සියලු ජාතීන්ට අයත් මිනිසුන්ව ගෝලයන් කරන්න. පියාණන්ගෙත් පුත්‍රයාගෙත් ශුද්ධාත්මයෙත් නාමයෙන් ඔවුන්ව බව්තීස්ම කරන්න. මා ඔබට අණ කළ සියලු දේ පවත්වන්න ඔවුන්ට උගන්වන්න. බලන්න! සමාජ ක්‍රමයේ අවසාන කාල පරිච්ඡේදය දක්වා මම ඔබ සමඟ සැමදා සිටිමි.” යේසුස් එම ආඥාව දීමට කලින් ඔවුන්ට මෙසේ පැවසුවා. “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ.”—මතෙව් 28:18-20.

සියලුම ජාතීන්ට ශුභාරංචිය දේශනා කිරීමට හා බයිබල් සත්‍යයන් ගැන ඉගැන්වීමට සැබෑ ක්‍රිස්තියානීන්ට උපකාර කරන්නේ යේසුස් ක්‍රිස්තුස්. ඒ බව අප දන්නේ අවසාන කාලය දක්වාම යේසුස් තම ගෝලයන් සමඟ සිටින බව පොරොන්දු වූ නිසයි. තම ගෝලයන් දේවසේවයේ නිරත වීමෙන් මෙන්ම වෙනත් “යහපත් ක්‍රියා” මගින් ඔවුන්ගේ ‘ආලෝකය බබළවන්න’ සලස්වන විට යේසුස් ඔවුන් සමඟ සිට ඔවුන්ට අවශ්‍ය උපකාරය ලබා දෙනවා. (මතෙව් 5:14-16) දේශනා සේවය සඳහා දේවදූතයන්ගේ උපකාරයද ලැබෙනවා. (එළිදරව් 14:6) ඒ විතරක් නෙවෙයි මේ කාර්යය සඳහා යෙහෝවා දෙවිගේ උපකාරයද ලැබෙනවා. පාවුල් මෙසේ පැවසුවා. “මම පැළ කළෙමි. අපොලොස් වතුර දැමීය. නමුත් එය වැඩීමට සැලැස්වූයේ දෙවිය.” දෙවිගේ ‘හවුල් වැඩකරුවෙක්’ ලෙස සේවය කිරීමට ලැබීම මොනතරම් අගනා වරප්‍රසාදයක්ද!—1 කොරින්ති 3:6, 9.

දෙවි අපට දී තිබෙන මේ සේවයේ අපේ උපරිමයෙන් හවුල් වන විට ඔහු අපට ආශිර්වාද කර තිබෙන ආකාරය ගැන සිතා බලන්න. ‘ලෝකයෙහි ප්‍රදීප ලෙස බැබළීමට’ දෙවි අපට දී තිබෙන වරප්‍රසාදය වෙන කිසිම දෙයක් සමඟ සන්සන්දනය කළ නොහැකි තරම් වටිනා එකක්. දෙවිගේ වචනයෙන් අප ලබා තිබෙන ආලෝකය අපේ කතා බහේදී මෙන්ම ක්‍රියාවෙන් පෙන්වන විට අවංක සිත් ඇති මනුෂ්‍යයන්ට දෙවි ගැන දැන ගැනීමට උපකාර කිරීමටත් එමගින් හැකි වෙනවා. (ෆිලිප්පි 2:15) එපමණක්ද නොව ‘අප කළ සේවයද, අප ඔහුගේ නාමයට පෙන්වූ ප්‍රේමයද අමතක කිරීමට දෙවි අධර්මිෂ්ඨ නැති’ නිසා උද්‍යෝගයෙන් දේශනා කිරීමේ හා ඉගැන්වීමේ කාර්යයේ හවුල් වීමෙන් අපට මහත් ප්‍රීතියක්ද ලබන්න පුළුවන්.—හෙබ්‍රෙව් 6:10.

‘ඇස්වල ආලේප කිරීමට නේත්‍රාලේපය මිල දී ගන්න’

පළමුවෙනි ශතවර්ෂයේ ලවොදිසීයේ පිහිටි සභාවට යේසුස් දුන් පණිවිඩයේ මෙසේ සඳහන් වෙනවා. “ඔබට ඔබේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ආලේප කිරීමට නේත්‍රාලේපයද මාගෙන් මිල දී ගන්නා ලෙස මම ඔබට උපදෙස් දෙමි. ‘මම ආදරය කරන සියල්ලන්ට අවවාද කර හික්මවන්නෙමි.’” (එළිදරව් 3:18, 19) සත්‍යය ගැන අපිට ඇති අවබෝධය නමැති පෙනීම නැති වී ගොස් අපි අන්ධ වුණොත් එයින් සුවය ලැබිය හැකි එකම මාර්ගය නම් යේසුස්ගේ ඉගැන්වීම් හා හික්මවීම නමැති නේත්‍රාලේපයෙන් ප්‍රයෝජන ගැනීමයි. අපට අප ගැන හරි ආකල්පයක් ඇතුව සිටීමටත් අනාගතය ගැන ස්ථිර බලාපොරොත්තුවක් ඇතුව සිටීමටත් හැකි වන්නේ අප යේසුස්ගේ උපදෙස් පිළිගෙන එයට අවනත වෙනවා නම් පමණයි. ඒ වගේම දේවවචනයේ තිබෙන සියලුම මඟ පෙන්වීම්ද පිළිගත යුතුයි. ඒ විතරක් නෙවෙයි යේසුස්ගේ ආදර්ශය අනුගමනය කරමින් ඔහු සිතන ආකාරයට සිතීමට උත්සහ කිරීමත් අවශ්‍යයි. (ෆිලිප්පි 2:5; 1 පේතෘස් 2:21) නේත්‍රාලේපය “මිල දී ගන්න” කීමෙන් යේසුස් අදහස් කළේ එය නොමිලේ ලැබෙන්නේ නැති බවයි. ඒ වෙනුවට එය ලබාගැනීම සඳහා අපේ කාලය හා වෑයම ඒ සඳහා වැය කළ යුතුයි.

අපි අඳුරු කාමරයක සිට එකවරම එළිය තිබෙන තැනකට ගිය විට අපේ ඇස් ඒ ආලෝකයට හුරු වීමට ටික වේලාවක් ගත වෙනවා. ඒ හා සමානව දෙවිගේ වචනය ඉගෙන ගනිමින් සත්‍යය නමැති ආලෝකය දැකීමටත් යම් කාලයක් ගත වෙනවා. අප ඉගෙන ගන්නා දේවල් මෙනෙහි කිරීමටත් සත්‍යයේ වටිනාකම වටහා ගැනීමටත් කාලය අවශ්‍යයි. එය සඳහා කුමක් වැය කරන්න සිදු වුණත් එසේ කිරීම ඇත්තටම වටිනවා. මන්ද එමගින් අපට විශ්මයජනක ආලෝකය දැකිය හැකි වන නිසයි.

[14වන පිටුවේ පින්තූරය]

‘ඔබේ ඇස් පෙනෙන පිණිස ඇස්වල ආලේප කිරීමට නේත්‍රාලේපය මාගෙන් මිල දී ගන්න’