Skip to content

පටුනට යන්න

යෙරෙමියාගේ විශ්වාසවන්ත ලේකම් වූ බාරුක්

යෙරෙමියාගේ විශ්වාසවන්ත ලේකම් වූ බාරුක්

යෙරෙමියාගේ විශ්වාසවන්ත ලේකම් වූ බාරුක්

“නෙරියාගේ පුත්‍ර වූ බාරුක්” ගැන ඔබ අසා තිබෙනවාද? (යෙරෙමියා 36:4) බයිබලයේ ඔහු ගැන සඳහන් වන්නේ පරිච්ඡේද හතරක පමණයි. බාරුක් කියන්නේ අනාගතවක්තෘ යෙරෙමියාගේ පෞද්ගලික ලේකම් මෙන්ම ඔහුගේ කිට්ටු මිතුරෙක් බව බයිබලය කියවන අය දන්නවා. බැබිලෝනිවරුන් ක්‍රි.ව. 607දී යූදා දේශය විනාශ කර දැමුවා. ඒත් සමඟම යුදෙව්වන් තම පණ බේරාගැනීම සඳහා ඊජිප්තුවට පලා ගියා. එම දරුණු විපත සිදුවීමට පෙර තිබූ වසර 18 පුරා යූදා දේශයේ පැවතියේ කැලඹිලි සහිත කාලයක්. එම කාල වකවානුවේ තිබූ විවිධ දුෂ්කරතා යෙරෙමියා සහ බාරුක්ද අද්දැක්කා.

ක්‍රිස්තු පූර්ව හත්වන සියවසට අයත් මැටි මුද්‍රා දෙකක් මෑතකදී සොයාගනු ලැබුවා. * “නේරියාහුගේ [නෙරියාගේ හෙබ්‍රෙව් නම] පුත්‍රයා වූ බෙරෙක්යාහු [බාරුක්ගේ හෙබ්‍රෙව් නම] නම් ලේකම්ට අයත් වේ” කියා එම මුද්‍රාවල සඳහන් වෙනවා. මෙය දුටු විශාරදයන් බයිබලයේ සඳහන් මේ පුද්ගලයා ගැන සොයා බැලීමට උනන්දු වුණා. අපි දැන් මෙහි සඳහන් බාරුක් ගැන තොරතුරු ටිකක් සොයා බලමු. බාරුක් කියන්නේ කවුද? ඔහුගේ අධ්‍යාපනික, සාමාජීය හා පවුල් පසුබිම ගැන කුමක් කිව හැකිද? ඔහු දුෂ්කරතා හමුවෙහි අඛණ්ඩව යෙරෙමියාට සහය දැක්වීමෙන් පෙනී යන්නේ කුමක්ද? අපිට බාරුක්ගෙන් ඉගෙනගත හැක්කේ කුමක්ද? මේ ප්‍රශ්නවලට උත්තර බයිබලය ඇසුරෙන් හා ඓතිහාසික තොරතුරු ඇසුරෙන් සොයා බලමු.

බාරුක්ගේ පසුබිම

බාරුක් කියන්නේ යූදා දේශයේ විසූ ලේඛන පිටපත් කිරීමේ කාර්යයේ නියැලුණු උගත් පවුලක කෙනෙක් කියා බොහෝ විශාරදයන් විශ්වාස කරනවා. මෙවැනි නිගමනයකට පැමිණීමට හේතු ගණනාවක් ඔවුන් ඉදිරිපත් කරනවා. උදාහරණයක් හැටියට බයිබල් වාර්තාවේ බාරුක් “ලේකම්” කෙනෙක් කියා හඳුන්වා දෙනවා. ඔහුගේ සහෝදරයා වූ සෙරායා ශෙදකියා රජුගේ මාලිගාවේ වැදගත් තනතුරක් හෙබවූ නිලධාරියෙක් බව බයිබල් වාර්තාවේ සඳහන් වෙනවා.—යෙරෙමියා 36:32; 51:59.

යෙරෙමියාගේ කාලයේ විසූ ලේකම්වරුන් ගැන පුරාවිද්‍යාඥයෙකු වන ෆිලිප් ජේ. කිංග් මෙසේ සඳහන් කරනවා. “උගත් පන්තියකට අයත් වූ ලියන්නන්ව ක්‍රිස්තු පූර්ව හත්වන සියවසේ අගභාගයේ හා හයවන සියවසේ මුල්භාගයේදී සලකනු ලැබුවේ යූදා දේශයේ වැදගත් පුද්ගලයන් ලෙසයි. . . . එම තනතුර හිමි වූයේ රජ මාලිගාවේ උසස් නිලධාරීන්ටයි.”

බාරුක්ට රජුගේ උපදේශකයන්ව හමුවීමටත් රජ මාලිගාවේ සිටි උසස් නිලධාරියෙක් වූ ගෙමරියා රාජකාරී කළ කාමරේට යන්නත් අවසර තිබුණු බව යෙරෙමියා 36වන පරිච්ඡේදයේ සඳහන් වාර්තාව සලකා බැලීමේදී පෙනී යනවා. අපි එම වාර්තාව පසුව සලකා බලමු. ඒ ගැන බයිබල් විශාරදයෙකු වන ජේම්ස් මියූලන්බර්ග් මෙසේ පවසනවා. “ලේකම්වරුන් රාජකාරී කළ කාමරවලට බාරුක්ට ඇතුල් වීමට හැකි වූයේ ඔහුට ඒ සඳහා අයිතියක් තිබූ නිසයි. අතිවැදගත් ලියවිල්ලක් රජ මාලිගාවේ නිලධාරීන් ඉදිරියේ කියවන විට බාරුක්ද ඔවුන් අතර සිටියා. ඔහු සෙසු නිලධාරීන් සමඟ සේවය කළ කෙනෙක් වුණා.”

බාරුක්ට හිමි වී තිබූ තත්වය ගැන තවත් විස්තර එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “බෙරෙක්යාහු කියා සඳහන් මැටි මුද්‍රාව සොයාගනු ලැබුවේ වෙනත් උසස් නිලධාරීන්ගේ නම් සඳහන් වූ මැටි මුද්‍රා අතර තිබියදීයි. මේ නිසා බාරුක්ටද සෙසු නිලධාරීන් හා සම තත්වයක් හිමි වී තිබූ බව නිගමනය කිරීම සාධාරණයි.” (Corpus of West Semitic Stamp Seals) සොයාගෙන තිබෙන තොරතුරුවලින් පෙනී යන්නේ බාරුක් සහ ඔහුගේ සහෝදරයා වූ සෙරායා යෙරුසලම විනාශයට පෙර තිබූ කැලඹිලි සහිත කාලයේදී දෙවිට විශ්වාසවන්තව සේවය කළ අනාගතවක්තෘවරයෙකු වූ යෙරෙමියාට සහය දුන් උසස් නිලධාරීන් දෙදෙනෙක් වූ බවයි.

යෙරෙමියාට ලැබුණු සහය

බාරුක් ගැන මුලින්ම සඳහන් වන්නේ යෙරෙමියා 36වන පරිච්ඡේදයේයි. එහි සඳහන් දේවල් “යෙහෝයාකිම්ගේ සතරවෙනි අවුරුද්දේ” හෙවත් ක්‍රි.පූ. 625දී පමණ සිදු වුණා. මේ කාලය වන විට යෙරෙමියා අනාගතවක්තෘවරයෙකු හැටියට අවුරුදු 23ක් සේවය කර තිබුණා.—යෙරෙමියා 25:1-3; 36:1, 4.

ඉහත සඳහන් කළ කාලයේදී යෙහෝවා දෙවි යෙරෙමියාට මෙසේ පැවසුවා. “අකුළන පොතක් රැගෙන ඊශ්‍රායෙල්ටත් යූදාටත් සැම ජාතීන්ටත් විරුද්ධව . . . යොෂියාගේ දවස් පටන් අද දක්වාම මා විසින් ඔබට කී සැම වචන එහි ලියන්න.” එම වාර්තාවේ තවදුරටත් මෙසේද සඳහන් වෙනවා. “යෙරෙමියා නෙරියාගේ පුත්‍ර වූ බාරුක් කැඳවාගත්තේය. බාරුක්ද යෙහෝවා යෙරෙමියා ට කී සැම වචනම ඔහුගේ මුඛයෙන් නික්මුණු හැටියට අකුළන පොතක ලිවීය.”—යෙරෙමියා 36:2-4.

යෙරෙමියා බාරුක්ව කැඳවාගත්තේ ඇයි? මේ ගැන යෙරෙමියා ඔහුට මෙසේ පැවසුවා. “මම හිර කරනු ලැබ සිටිමි; යෙහෝවාගේ ගෘහයට යාම නොහැක්කෙමි.” (යෙරෙමියා 36:5) දේවමාලිගාව අසලට ගොස් යෙහෝවා දෙවිගේ පණිවිඩය කියවිය යුතු වුණත් එතැනට යෑම යෙරෙමියාට තහනම් කර තිබුණා. ඊට හේතුව විය හැක්කේ යෙරෙමියා මීට කලින් යෙහෝවාගෙන් ලැබුණු පණිවිඩ නිලධාරීන්ට පැවසූ අවස්ථාවලදී ඔවුන් කෝපයට පත්වීමයි. (යෙරෙමියා 26:1-9) යෙහෝවා දෙවිගේ විශ්වාසවන්ත නමස්කාරකයෙකු වූ බාරුක් “අනාගතවක්තෘ වූ යෙරෙමියා ඔහුට අණ කළ සියල්ල ලෙස කළේ” ඒ කාලයේදීයි.—යෙරෙමියා 36:8.

වසර 23කට වැඩි කාලයක් පුරා දෙන ලද අනතුරු ඇඟවීම් වාර්තා කර තැබීම සෑහෙන කාලයක් වැය වන කාර්යයක් වුණා. ඒ පණිවිඩය කියවීම සඳහා සුදුසු කාලයක් පැමිණෙන තෙක් යෙරෙමියාද බලා සිටින්න ඇති. ක්‍රිස්තු පූර්ව 624 නොවැම්බර් හෝ දෙසැම්බර් මාසයේදී බාරුක් නිර්භීතව ‘යෙහෝවාගේ ගෘහයේදී ගෙමරියාගේ කාමරේ සිට යෙරෙමියාගේ වචන මුළු සෙනඟට ඇසෙන්ට පොතෙන් කියවන්න පටන්ගත්තා.’—යෙරෙමියා 36:8-10.

ගෙමරියාගේ පුත්‍රයා වූ මිකායා සිදු වූ දෙය ගැන ඔහුගේ පියාටත් අධිපතීන් කිහිපදෙනෙකුටත් දැනුම් දුන්නා. ඉන්පසු ඔවුන් බාරුක්ට තමන් ළඟට එන්න කියා ආරාධනා කර නැවතත් එම පොතේ තිබෙන දේවල් කියවන්න කියා පැවසුවා. ඉන්පසුව සිදු වූ දෙය ගැන වාර්තාවේ මෙසේ සඳහන් වෙනවා. “ඔවුහු ඒ සැම වචන අසා භයින් යුක්තව එකිනෙකා දෙස හැරී: අපි මේ සියලු වචන සැබවින් රජුට දන්වමුය. . . . ඔබ යෙරෙමියා සමඟ සැඟවෙන්න; ඔබ සිටින තැන කිසිවෙකුටවත් දැනගන්ට ඉඩ දෙන්ට එපායයි බාරුක්ට කීවෝය.”—යෙරෙමියා 36:11-19.

එම හකුළන පොතෙහි සඳහන් දේවල් ගැන යෙහෝයාකිම් රජුට සවන් දෙන්න ලැබුණු විට ඔහු කෝපයට පත් වී එය කෑලිවලට ඉරා පිලිස්සුවා. ඉන්පසු යෙරෙමියාව හා බාරුක්ව අත්අඩංගුවට ගන්න කියා ඔහුගේ මිනිසුන්ට රජ අණ කළා. මේ පුරුෂයන් දෙදෙනා සැඟවී සිටි කාලයේදී යෙහෝවා දෙවි අණ කළ ලෙස එහි පිටපතක් සකස් කළා.—යෙරෙමියා 36:21-32.

ඒ කාර්යය ඉටු කිරීමේදී මුහුණ දීමට ඉඩ තිබූ අනතුරු ගැන බාරුක් දැන සිටි බවට සැකයක් නැහැ. මේ සිද්ධිය සිදුවීමට අවුරුදු කිහිපයකට කලින් යෙරෙමියාට එල්ල වී තිබූ තර්ජන ගැනද බාරුක් දැන සිටින්න ඇති. “යෙරෙමියාගේ සැම වචන ලෙස” අනාවැකි පැවසූ උරියාව යෙහෝයාකිම් රජ මරා දමා තිබූ බවත් බාරුක්ට ආරංචි වී තිබෙන්න ඇති. එහෙත් ලේකම්වරයෙකු හැටියට බාරුක් තමන් සතු වූ හැකියාව හා රජ මාලිගාවේ සේවය කළ නිලධාරීන් සමඟ තිබූ මිත්‍රත්වය යොදාගනිමින් යෙරෙමියාට ඔහුගේ කාර්යය ඉටු කිරීමට සහයෝගය ලබා දුන්නා.—යෙරෙමියා 26:1-9, 20-24.

“මහත් දේවල්” සොයන්න එපා

බාරුක් මුල් ලියවිල්ල ලියූ කාලයේදී සිත් වේදනාවලින් පසු වූ බව ඔහුගේ මේ වදන්වලින් පෙනී යනවා. “අහෝ මට දැන් දුක් වෙයි; මක්නිසාද යෙහෝවා මාගේ වේදනාවට දුක එකතු කළේය; මම කෙඳිරිගෑමෙන් වෙහෙසව සිටිමි; මට නිවාඩුවක් නැත.” බාරුක්ට මෙසේ හැඟීමට හේතු වුණේ කුමක්ද?—යෙරෙමියා 45:1-3.

එයට ඍජු පිළිතුරක් දිය නොහැකියි. එහෙත් බාරුක් මුහුණ දෙමින් සිටි තත්වය ගැන ටිකක් සිතා බලන්න. ඊශ්‍රායෙල් ජනයාට අවුරුදු 23ක් පුරා කළ අනතුරු ඇඟවීම් ගැනත් ඔවුන් යෙහෝවා දෙවිට අකීකරු වූ නිසා දෙවි ඔවුන්ව ප්‍රතික්ෂේප කර තිබීම ගැනත් වාර්තා කරද්දී බාරුක්ට ඇති වූ හැඟීම අපිට සිතාගත හැකියි. යෙරුසලම හා එහි වැසියන් විනාශ කිරීමට බැබිලෝනිවරුන්ට ඉඩ දෙන්නත් ඉතිරි වන යුදෙව්වන් වසර 70කට බැබිලෝනියේ වහල්භාවයේ සිටීමට ඉඩහරින්නත් යෙහෝවා දෙවි තීරණය කළා. මේ ගැන බාරුක්ට ලොකු දුකක් දැනෙන්න ඇති. ඔහු හකුළන පොත ලියූ කාලයේදීම යෙහෝවා දෙවි ඒ තොරතුරු හෙළි කළා කියා විශ්වාස කළ හැකියි. (යෙරෙමියා 25:1-11) මේ තීරණාත්මක කාලයේදී තමන් අඛණ්ඩව යෙරෙමියාට සහයෝගය ලබා දීම නිසා තමන්ගේ වෘත්තිය හා තනතුර අහිමි විය හැකි බවත් ඔහු දැන සිටියා.

බාරුක් සිතේ වේදනාවෙන් පසුවීමට හේතුව කුමක් වුණත්, යෙහෝවා දෙවි තමන් ගෙනෙන්න යන විනාශය ගැන අමතක නොකර මනසේ තබාගැනීම සඳහා බාරුක්ට උපකාර කිරීමට ඉදිරිපත් වුණා. යෙහෝවා දෙවි ඔහුට මෙසේ පැවසුවා. “මා විසින් ගොඩනැඟූ දෙය බිඳින්නෙමි; සිටෙවූ දෙය උදුරා දමන්නෙමි; මෙසේ කරන්නේ මුළු දේශයටමය.” මේ වදන් පැවසීමෙන් අනතුරුව යෙහෝවා දෙවි බාරුක්ට මෙසේ උපදෙස් දුන්නා. “ඔබ ඔබටම මහත් දේවල් සොයන්නෙහිද? ඒවා නොසොයන්න.”—යෙරෙමියා 45:4, 5.

ඉහත සඳහන් ‘මහත් දේවලට’ අයත් වන්නේ මොනවාද කියා යෙහෝවා දෙවි නිශ්චිතව සඳහන් කළේ නැහැ. සමහරවිට ඒ දේවලට ආත්මාර්ථකාමී අභිලාෂයන් හෝ කීර්තිය හා තනතුරු හෝ සැප සම්පත් අයත් වූවා විය හැකියි. කෙසේවෙතත් එය කුමක්ද කියා බාරුක් දැන සිටින්න ඇති. කාරණා දෙස යථාර්ථවාදීව බලන්න කියාත් ඉදිරියේදී සිදුවීමට නියමිත දෙය මතකයේ තබාගන්න කියාත් යෙහෝවා දෙවි ඔහුට උපදෙස් දුන්නා. දෙවි ඔහුට මෙසේ පැවසුවා. “[මම] සැම ප්‍රාණීන්ට නපුර පමුණුවන්නෙමි; නමුත් ඔබ යන සැම තැනම කොල්ලකාගත් වස්තුවක් සේ ඔබේ ප්‍රාණය ඔබට දෙන්නෙමි.” බාරුක් සතු වූ අනර්ඝතම වස්තුව වූයේ ඔහුගේ ජීවිතයයි. ඔහු කොතැන ගියත් එය ආරක්ෂා කර දෙන බවට දෙවි පොරොන්දු වුණා.—යෙරෙමියා 45:5.

යෙරෙමියා 36වන හා 45වන පරිච්ඡේදවල විස්තර කර තිබෙන ඉහත සඳහන් කළ දේවල් සිදු වූයේ ක්‍රි.පූ. 625 සිට 624 දක්වා වූ කාල පරිච්ඡේදය තුළයි. එම සිද්ධීන්වලින් පසුව නැවතත් බාරුක් ගැන බයිබල් වාර්තාවේ සඳහන් වෙන්නේ, බැබිලෝනිවරුන් ක්‍රි.පූ. 607දී යෙරුසලම හා යූදා දේශය විනාශ කර දැමීමට මාස කිහිපයකට පෙර වූ සිද්ධීන් ගැන විස්තර කරන විටයි. ඒ කාලයේදී සිදු වූයේ මොනවාද?

බාරුක් නැවතත් යෙරෙමියාට උපකාර කරයි

බාරුක් ගැන නැවතත් බයිබල් වාර්තාවේ සඳහන් වෙන්නේ බැබිලෝනිය හමුදාව යෙරුසලම වටලාගෙන සිටි කාලය ගැන වාර්තා කරන විටයි. යෙරුසලම පසු කලක නැවතත් යථා තත්වයට පත් වන බව අඟවන ලකුණක් හැටියට අනතොත්හි පිහිටි කෙතක් මිල දී ගන්න කියා යෙහෝවා දෙවි යෙරෙමියාට පැවසූ අවස්ථාවේදී ඔහුව “රජුගේ ගෙයි රැකවලුන්ගේ මළුවේ හිර කර” තිබුණා. එම කෙත මිල දී ගැනීම හා සම්බන්ධ නීත්‍යනුකූල කටයුතු කිරීම සඳහා බාරුක්ව කැඳවනු ලැබුවා.—යෙරෙමියා 32:1, 2, 6, 7.

ඒ ගැන යෙරෙමියා මෙසේ පැහැදිලි කළා. “මම ඔප්පුව අත්සන් කර මුද්‍රා කොට සාක්ෂිකාරයන් කැඳවාගෙන තරාදියෙන් මිල ඔහුට කිරා දුනිමි; [ඉන්පසු] . . . මුද්‍රා කර තිබුණාවූද මුද්‍රා නොකර තිබුණාවූද මිලේට ගැනීමේ ඔප්පුව ගතිමි; මිලේට ගැනීමේ ඔප්පුව . . . බාරුක්ට දුනිමි.” ඉන් අනතුරුව යෙරෙමියා මිල දී ගැනීමේ ඒ ඔප්පු ආරක්ෂාව සඳහා මැටි භාජනයක දමා වසා තබන්න කියා බාරුක්ට පැවසුවා. යෙරෙමියා පැවසූ වචන ඇතුළත් කරමින් මෙම ඔප්පුව සකස් කළේ දක්ෂ ලියන්නෙකු වූ බාරුක් විසින් කියා ඇතැම් විශාරදයන් පවසනවා.—යෙරෙමියා 32:10-14; 36:4, 17, 18; 45:1.

ඒ කාලයේදී ඉඩමක් මිල දී ගැනීමේදී අනුගමනය කළ යුතු වූ නීත්‍යනුකූල ක්‍රියාමාර්ගය බාරුක් සහ යෙරෙමියා අනුගමනය කළා. ඒ කාලයේදී ඔප්පු දෙකක් සකස් කළ යුතු වුණා. මේ ගැන එක් පොතක මෙසේ සඳහන් වෙනවා. “මුල්ම ඔප්පුව රෝල් කර නූලකින් බැඳ ඒ මත මැටි පිඩක් තබා මුද්‍රා කළ නිසා එය හැඳින්වූයේ ‘මුද්‍රා කළ ඔප්පුව’ කියායි. . . . ‘මුද්‍රා නොකළ ඔප්පුව’ පළමු ඔප්පුවේ පිටපතක් හැටියට භාවිත කළා. අවශ්‍ය විටක කියවා බැලීම සඳහා අරගත්තේ එයයි. මේ ආකාරයට මුල් පිටපත හා අනුපිටපත ලෙස ලියවිලි දෙකක් වෙන වෙනම පැපිරස් කොළවල සකස් කළා.” (Corpus of West Semitic Stamp Seals) වැදගත් ලියකියවිලි ආරක්ෂා කිරීම සඳහා මැටි බඳුනක තැබීම ඒ කාලයේ සිරිතක් වූ බව පුරාවිද්‍යාත්මක සොයාගැනීම්වලින් තහවුරු වෙනවා.

අවසානයේදී බැබිලෝනිවරුන් යෙරුසලම අල්ලාගෙන එයට ගිනි තැබුවා. දිලිඳු වැසියන් සුළු පිරිසක් හැර අන් සියලුදෙනාවම පිටුවහල් කළා. නෙබුකද්නෙශර් රජ ගෙදලියාව ආණ්ඩුකාරයා ලෙස පත් කළද මාස කිහිපයකට පසුව ඔහුවද ඝාතනය කරනු ලැබුවා. ඉතිරි වූ යුදෙව්වන් යෙරෙමියා දුන් දෙවිගේ මඟ පෙන්වීම නොසලකාහරිමින් ඊජිප්තුවට යන්න සැලසුම් කළා. නැවතත් බාරුක් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ ඒ තොරතුරු ගැන වාර්තා කරන විටයි.—යෙරෙමියා 39:2, 8; 40:5; 41:1, 2; 42:13-17.

යුදෙව් නායකයන් යෙරෙමියාට මෙසේ පැවසුවා. “ඔබ බොරු කියන්නෙහිය; විදේශීව සිටින්ට ඊජිප්තුවට නොයන්නහුයයි කියන පිණිස අපේ දෙවි වූ යෙහෝවා ඔබ නොඑව්වේය; එහෙත් කල්දිවරුන් විසින් අප මරන්ටත් වහලුන් කොට බැබිලෝනියට ගෙනයන්ටත් ඔවුන්ගේ අතට භාර දෙන පිණිස නෙරියාගේ පුත්‍ර වූ බාරුක් අපට විරුද්ධව ඔබව පොලඹවයි.” (යෙරෙමියා 43:2, 3) මෙම චෝදනාවෙන් පෙනී යන්නේ බාරුක් යෙරෙමියා කෙරෙහි මහත් බලපෑමක් ඇති කරමින් සිටි බව යුදෙව් නායකයන් විශ්වාස කළ බවයි. බාරුක්ට හිමි වී තිබූ තත්වය හා යෙරෙමියා සමඟ තිබූ දිගු කාලීන මිත්‍රත්වය නිසා බාරුක් අනාගතවක්තෘ යෙරෙමියාගේ ලේකම් හැටියට ක්‍රියා කරනවාට වඩා වැඩි යමක් කරමින් සිටියා කියා ඒ නායකයන් විශ්වාස කළා විය හැකියි. කෙසේවෙතත් ඊශ්‍රායෙල්වරුන්ට ප්‍රකාශ කරන ලද පණිවිඩය පැමිණියේ යෙහෝවා දෙවිගෙන්.

ඉතිරි වූ යුදෙව්වන් දෙවිගෙන් ලැබුණු අනතුරු ඇඟවීම් නොසලකාහරිමින් යූදා දේශය අත්හැර දමා ගියා. ඔවුන් යන විට “අනාගතවක්තෘ වූ යෙරෙමියාවද නෙරියාගේ පුත්‍ර වූ බාරුක්වද” රැගෙන ගියා. ඔවුන් ගිය ගමන ගැන යෙරෙමියා මෙසේ වාර්තා කළා. අවසානයේදී මොවුන් “ඊජිප්තු දේශයට පැමිණියෝය. ඔවුහු යෙහෝවාගේ හඬට කීකරු නුවූවෝය. ඔවුහු තාපන්හේස්ට ආවෝය.” තාපන්හේස් කියන්නේ නයිල් ගඟේ නැඟෙනහිරෙන් තිබෙන ඩෙල්ටාව අසල පිහිටි නගරයකටයි. සීනයි කන්ද පිහිටියේද එම ඩෙල්ටාව ආසන්නයේයි. එම වාර්තාවෙන් පසු බාරුක් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ නැහැ.—යෙරෙමියා 43:5-7.

අපිට බාරුක්ගෙන් ඉගෙනගත හැකි පාඩම්

අපිට බාරුක්ගෙන් ඉගෙනගත හැකි වටිනා පාඩම් බොහොමයක් තිබෙනවා. තමන්ට කුමන දෙයකට මුහුණ දීමට සිදු වුණත් තම වෘත්තීමය හැකියාවන් හා උසස් නිලධාරීන් සමඟ තිබූ සබඳතා යෙහෝවාගේ සේවය සඳහා යොදාගැනීමට බාරුක් කැමැත්තෙන්ම ඉදිරිපත් වුණා. මෙය අපිට ඔහුගෙන් ඉගෙනගත හැකි එක් වැදගත් පාඩමක්. මේ කාලයේ යෙහෝවාගේ සාක්ෂිකරුවන් අතර සිටින බොහෝදෙනෙක් බාරුක්ට තිබූ ආකල්පයම විදහාපෙන්වමින් තම හැකියාවන් බෙතෙල් සේවය, ඉදි කිරීමේ වැඩකටයුතු මෙන්ම ඒ හා සමාන වෙනත් ක්‍රියාකාරකම් සඳහා යොදවමින් සිටිනවා. බාරුක්ට තිබූ ආකල්පය ඔබටත් විදහාපෙන්වන්න හැක්කේ කෙසේද?

යූදා දේශය බැබිලෝනිවරුන් විනාශ කර දැමීමට කලින් පැවති එහි අන්තිම දවස්වලදී, තමන්ගේ කාලය පෞද්ගලික වාසි ප්‍රයෝජන ගෙන දෙන “මහත් දේවල්” සෙවීම සඳහා යොදවන්න එපා කියා දෙවි බාරුක්ට මතක් කර දුන් අවස්ථාවේදී ඔහු එයට කීකරු වුණා. ඔහුගේ ජීවිතය ආරක්ෂා වුණේ ඔහු එසේ කීකරු වූ නිසයි. අද අපි ජීවත් වන්නෙත් මේ දුෂ්ට සමාජ ක්‍රමයේ අන්තිම දවස්වල නිසා ඒ උපදේශය අපිත් අදාළ කරගැනීම වැදගත්. අපි එයට කීකරු වෙනවා නම් අපේ ජීවිතයද ආරක්ෂා කර දෙන බවට යෙහෝවා දෙවි පොරොන්දු වෙනවා. අපිට ලැබෙන එවන් සිහිගැන්වීම්වලට බාරුක් මෙන් ප්‍රතිචාරය දැක්වීමට අපිත් කැමතිද?

අපි සලකා බැලූ වාර්තාවෙන් තවත් වැදගත් පාඩමක් ඉගෙනගත හැකියි. යෙරෙමියා ඉඩමක් මිල දී ගත්තේ ඔහුගේ ඥාතියෙකුගෙන් වුණත් එම ගනු දෙනුවට අදාළ නීත්‍යනුකූල කටයුතු කිරීමට බාරුක් ඔහුට උපකාර කළා. සෙසු ඇදහිලිවන්තයන් සමඟ ව්‍යාපාරික ගනු දෙනු සිදු කරන විට ක්‍රිස්තියානීන් එය ආදර්ශයක් හැටියට ගත යුතුයි. ව්‍යාපාරික කටයුතුවලදී පැමිණෙන එකඟතාවන් ලිඛිතව තබාගැනීම සම්බන්ධයෙන් එම ආදර්ශය අනුගමනය කිරීම ප්‍රායෝගික මෙන්ම ප්‍රේමණීය ක්‍රියාවක්ද වෙනවා. ඒ විතරක් නොවෙයි, එසේ කිරීම ශුද්ධ ලියවිල්ලටද එකඟයි.

බාරුක් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ කෙටි විස්තරයක් වුණත් මේ කාලයේ සිටින ක්‍රිස්තියානීන්ට ඔහුගෙන් වටිනා පාඩම් රැසක් ඉගෙනගත හැකියි. යෙරෙමියාගේ විශ්වාසවන්ත ලේකම් වූ බාරුක්ගේ කදිම ආදර්ශය අනුගමනය කිරීමට ඔබත් කැමතිද?

[පාදසටහන]

^ 3 ඡේ. ඈත අතීතයේදී වැදගත් ලියවිල්ලක් රෝල් කර ගැට ගසා, ඒ ගැටය මත මැටි පිඩක් තබා, අයිතිකරුගේ නම සඳහන් මුද්‍රාවක් එහි තැබුවා. මැටි මුද්‍රාව කියා හඳුන්වන්නේ මෙයයි.

[16වන පිටුවේ පින්තූරය]

බාරුක්ගේ නම සඳහන් මැටි මුද්‍රාව

[හිමිකම් විස්තර]

Bulla: Courtesy of Israel Museum, Jerusalem