යෙරෙමියා 42:1-22

42  කාරියාගේ පුත්‍රයා වූ යෝහානාන්ද හෝෂායාගේ පුත්‍රයා වූ+ යෙෂනියාද*+ යුධ හමුදාවේ ප්‍රධානීහු සියලුදෙනාද+ සියලු සෙනඟද එනම්, විවිධ තරාතිරම්වලට අයත් සෙනඟද  අනාගතවක්තෘ යෙරෙමියා වෙතට ගොස් ඔහුට මෙසේ කීවෝය. “අපි ඔබෙන් ඉල්ලන මේ දේට ඇහුම්කන් දෙන්න. අපි විශාල සෙනඟක්ව සිටියා. ඒත් අප අතරේ දැන් ඉතුරු වී සිටින්නේ ටිකදෙනෙක් පමණක්+ බව ඔබ හොඳින් දන්නවා. ඒ නිසා ඉතුරුව සිටින අපි හැමෝම වෙනුවෙන් ඔබේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්න.+  එවිට ඔබේ දෙවි යෙහෝවා අපි යා යුතු මාර්ගයත් කළ යුතු දේත් අපිට කියා දෙයි.”+  අනාගතවක්තෘ යෙරෙමියා ඔවුන්ට මෙසේ කීවේය. “හොඳයි! ඔබ කියූ ලෙස මම ඔබේ දෙවි යෙහෝවාට යාච්ඤා කරන්නම්.+ ඔබේ ඉල්ලීම්වලට යෙහෝවා දෙවි දෙන පිළිතුරත් ඒ විදිහටම මම ඔබට කියන්නම්.+ මම කිසි දෙයක් ඔබෙන් හංගන්නේ නැහැ.”+  ඔවුහු යෙරෙමියාට මෙසේ පැවසුවෝය. “ඔබේ දෙවි යෙහෝවා ඔබ මාර්ගයෙන් අපිට පවසන දේට අනුව ක්‍රියා කරන්න අපි පොරොන්දු වෙනවා.+ ඒ පොරොන්දුවට යෙහෝවා දෙවි සාක්ෂිකරුවෙක් වෙයි. ඔහු විශ්වාසවන්තයි, සැබෑයි.+ ඒ නිසා අපි එහෙම නොකළොත් ඔහු අපිට විරුද්ධව ක්‍රියා කරයි.  යෙහෝවා දෙවිගෙන් විමසන්න කියා අපි ඔබෙන් ඉල්ලා සිටිනවා. ඔහු පවසන දේට අපි කැමති වුණත් නැතත් අපි අපේ දෙවි යෙහෝවාට කීකරු වෙනවා. එහෙම කළොත් අපිට කිසිවිටක වරදින්නේ නැහැ.”+  දවස් දහයකට පසු යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ.+  එබැවින් යෙරෙමියා, කාරියාගේ පුත්‍රයා වූ යෝහානාන්වද ඔහු සමඟ සිටි යුධ හමුදාවේ ප්‍රධානීන් සියලුදෙනාවද සියලු සෙනඟවද එනම්, විවිධ තරාතරිම්වලට අයත් සෙනඟවද තමා වෙතට කැඳවා+  ඔවුන්ට මෙසේ කීවේය. “ඔබේ ඉල්ලීම් ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට දන්වන්න කියා ඔබ මට කිව්වා. ඊට දෙවිගෙන් ලැබුණු පිළිතුර මෙයයි.+ 10  ‘ඔබ දිගටම මේ දේශයේ ජීවත් වුණොත්+ මම ඔබව නඟා සිටුවන්නෙමි. ඔබව බිඳ නොදමන්නෙමි. ඔබව ස්ථිරව සිටුවන්නෙමි. ඔබව උදුරා නොදමන්නෙමි.+ ඔබ පිටට ගෙනා විපත්ති හැමදාටම පැවතීමට ඉඩ නොහරින්නෙමි.+ 11  ඔබ බැබිලෝනියේ රජුට බියෙන් සිටියත් තවදුරටත් ඔහුට බිය නොවන්න.’+ “යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. ‘මම ඔබ සමඟ සිට ඔබව ඔහුගේ අතින් ගලවාගන්නෙමි. ඔබව රජුගෙන් නිදහස් කරගන්නෙමි.+ ඒ නිසා ඔහුට බිය නොවන්න.+ 12  ඔහු ඔබට අනුකම්පා කර ඔබේ දේශයේම ඔබට ජීවත් වීමට ඉඩහරිනු ඇත. එසේ ඔබට මාගේ කරුණාව අද්දැකීමට හැකි වනු ඇත.’+ 13  “නමුත් ඔබ ඔබේ දෙවි වන යෙහෝවාට අකීකරු වෙමින්,+ ‘අපිට නම් මේ දේශයේ ජීවත් වෙන්න බැහැ. 14  අපි ඊජිප්තු දේශයට යනවා.+ එහිදී අපිට යුද්ධ ප්‍රකාශ කරන හොරණෑවේ ශබ්දය අසන්නවත් යුද්ධ දකින්නවත් සිදු වෙන්නේ නැහැ. අපිට බඩගින්නේ ඉන්න වෙන්නෙත් නැහැ. අපි එහිම ජීවත් වෙනවා’+ කියා පැවසුවොත් 15  යූදාහි ඉතුරු වී සිටින වැසියෙනි, යෙහෝවා දෙවි ඔබට පවසන දේට සවන් දෙන්න. ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘ඊජිප්තු දේශයට යෑමට ඔබ ගත් තීරණය වෙනස් නොකර, විදේශිකයන් මෙන් ජීවත් වීමට ඔබ එහි ගියොත්+ 16  ඔබ දැන් භයෙන් සිටින ඔබේ සතුරා ඔබ පසුපස ලුහුබැඳ ඇවිත් එහිදී ඔබට පහර දෙනු ඇත.+ සාගත නිසා ඔබ මෙතැනින් පලා ගියත් එහිදීත් ඔබට සාගතයට මුහුණ දීමට සිදු වනු ඇත.+ අන්තිමේදී ඔබ ඊජිප්තු දේශයේදී මිය යනු ඇත.+ 17  ඊජිප්තුවට ගොස් එහි පදිංචි වීමට තීරණය කළ සියලුදෙනා කඩුවෙන්ද සාගතයෙන්ද වසංගතවලින්ද මිය යන්නෝය.+ මා ඔවුන් පිටට ගෙනෙන විපත්තිවලින් ඔවුන්ගෙන් කිසිවෙකුට බේරෙන්න ලැබෙන්නේ නැත.’”+ 18  “ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. ‘ඔබ ඊජිප්තු දේශයට ගියොත් යෙරුසලමේ වැසියන් පිටට මාගේ මහත් උදහස වැගුරූ ලෙසම+ මම ඔබ පිටටත් මාගේ උදහස වගුරුවන්නෙමි. ඔබට සිදු වන දේ දකින සියල්ලෝ පුදුමයට පත් වන්නෝය. ඔවුහු නින්දා අපහාස කරමින් ඔබට ශාප කරනු ඇත.+ ඔබ නැවත කිසි දිනක මේ දේශයට හැරී එන්නේ නැත.’+ 19  “යූදාහි ඉතුරු වී සිටින වැසියෙනි, ඊජිප්තු දේශයට නොයන්න කියා යෙහෝවා දෙවි ඔබට පැවසුවා.+ අද මම ඔබට ඒ ගැන අනතුරු ඇඟවූ බව අමතක කරන්න එපා.+ 20  ඔබයි මා ළඟට ඇවිත් යෙහෝවා දෙවිගෙන් විමසන ලෙස ඉල්ලා සිටියේ. ඔබ මට මෙහෙම කිව්වා. ‘අපේ දෙවි යෙහෝවාට අපි වෙනුවෙන් යාච්ඤා කරන්න. අපේ දෙවි යෙහෝවා කියන සෑම දෙයක්ම ඇවිත් අපිට කියන්න. අපි ඔහු කියන විදිහටම ක්‍රියා කරනවාමයි.’+ එසේ පැවසීමෙන් ඔබ ඔබටම කරගත්තේ විශාල වරදක්.+ 21  මන්ද ඔබේ දෙවි යෙහෝවා පැවසූ සෑම දෙයක්ම මම ඔබට කිව්වත් ඔබ ඔහුගේ හඬට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඔහු මා ලවා ඔබට පවසන කිසිම දෙයකට ඔබ කීකරු වෙන්නෙත් නැහැ.+ 22  විදේශිකයන් ලෙස ජීවත් වීමට ආශාවෙන් බලා සිටින දේශයේදීම+ ඔබට කඩුවෙන්ද+ සාගතයෙන්ද වසංගතවලින්ද පහර කා මිය යෑමට සිදු වන බව දැනගන්න.”

පාදසටහන්

2රාජා 25:23හි, “යයෂනියා” ලෙසද යෙරෙ 43:2හි, “අෂරියා” ලෙසද සඳහන් වේ.