යෙරෙමියා 26:1-24

26  යොෂියාගේ පුත්‍රයා වූ යූදාහි රජු වන යෙහෝයාකිම්ගේ පාලන සමයේ මුල් කාලයේදී+ යෙහෝවා දෙවිගෙන් පණිවිඩයක් ලැබිණ.  “යෙහෝවා දෙවිගෙන් ලැබුණු ඒ පණිවිඩය මෙයයි. ‘ඔබ දැන් යෙහෝවා දෙවිගේ ගෘහයේ මළුවට යන්න.+ නමස්කාර කිරීම සඳහා යෙහෝවා දෙවි වන මාගේ ගෘහයට පැමිණෙන යූදාහි සියලු නගරවල වැසියන්ට මම ඔබට පැවසීමට අණ කරන සියලු දේ පවසන්න.+ එයින් එක වචනයක්වත් අඩු නොකරන්න.+  සමහරවිට ඔවුන් ඊට සවන් දී ඔවුන්ගේ වැරදි මාර්ගවලින් ඉවත් වීමට ඉඩ තිබේ.+ ඔවුන් එසේ කළොත් ඔවුන්ගේ වැරදිවලට දඬුවමක් ලෙස ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට මා ගත් තීරණය මම වෙනස් කරමි.+  ඔබ ඔවුන්ට මෙසේ කියන්න. “යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘ඔබ මට සවන් දී මා ඔබට දුන්+ නීතියට අනුව ජීවත් නොවන්නේ නම්+  මා හිමිදිරි උදෑසන සිට නොනවත්වා ඔබ වෙතට එවූ මාගේ සේවකයන් වන අනාගතවක්තෘවරුන්ට ඔබ ඇහුම්කන් නොදෙන්නේ නම්+  ෂීලෝ නගරයට සිදු වූ දේ මම මේ ගෘහයටත් සිදු වීමට සලස්වන්නෙමි.+ මේ නගරය පොළොවේ සියලු ජාතීන්ගේ ශාපයට ලක් වීමට ඉඩහරින්නෙමි.’”’”+  යෙහෝවා දෙවිගේ ගෘහයේ සිට යෙරෙමියා ප්‍රකාශ කළ මේ සෑම දෙයක්ම පූජකයෝද අනාගතවක්තෘවරුද සෙනඟද අසාගෙන සිටියෝය.+  යෙහෝවා දෙවි සෙනඟට පවසන්න කියා අණ කළ සියල්ල යෙරෙමියා දැන්වූ පසු පූජකයෝද අනාගතවක්තෘවරුද සෙනඟද ඔහුව අල්ලාගෙන ඔහුට මෙසේ කීවෝය. “ඔබට අනිවාර්යයෙන්ම මැරුම් කන්න සිදු වෙනවා.+  ‘ෂීලෝ නගරයට සිදු වූ දේම මේ ගෘහයටත් සිදු වන්නේය.+ මේ නගරය කිසි වැසියෙකුට වාසය කිරීමට නොහැකි වන ලෙස විනාශ වී පාළුවට යන්නේය’ කියා ඔබ යෙහෝවා දෙවිගේ නාමයෙන් අනාවැකි පැවසුවේ ඇයි?” එවිට මුළු සෙනඟ යෙහෝවා දෙවිගේ ගෘහයේ සිටි යෙරෙමියාව වට කරගත්තෝය. 10  මේ දේ ගැන අසන්න ලැබුණු යූදාහි අධිපතීහු රජමාලිගාවේ සිට යෙහෝවා දෙවිගේ ගෘහයට පැමිණියෝය.+ ඔවුහු පැමිණ යෙහෝවා දෙවිගේ ගෘහයේ අලුත් දොරටුව අසල හිඳගත්තෝය.+ 11  එවිට පූජකයෝ සහ අනාගතවක්තෘවරු එහි සිටි අධිපතීන් සහ සෙනඟ අමතමින් මෙසේ පැවසුවෝය. “මේ මිනිසා මේ නගරය ගැන පැවසූ අනාවැකි ඔබ සියලුදෙනාම අසාගෙන සිටියා නොවේද?+ ඔහු පැවසූ ඒ දේවල් නිසා ඔහුට මරණ දණ්ඩනය හිමි විය යුතුයි.”+ 12  එවිට යෙරෙමියා එතැන සිටි සියලු අධිපතීන්ටත් සෙනඟටත් මෙසේ පැවසුවේය. “මේ ගෘහය ගැනත් මේ නගරය ගැනත් මා ඔබට පැවසූ අනාවැකි සියල්ල ප්‍රකාශ කරන්න කියා මාව එව්වේ යෙහෝවා දෙවියි.+ 13  ඒ නිසා දැන්වත් ඔබේ දෙවි වන යෙහෝවාගේ හඬට කීකරු වී ඔබේ ගතිපැවතුම් හා හැසිරීම් රටාව වෙනස් කරගන්න.+ ඔබ එසේ කළොත් ඔබට විරුද්ධව විපත්ති ගෙන ඒමට යෙහෝවා දෙවි ගත් තීරණය ඔහු වෙනස් කරයි.+ 14  දැන් මම සිටින්නේ ඔබේ භාරයෙයි.+ ඒ නිසා ඔබට හොඳයි කියා සිතෙන ඕනෑම දෙයක් මට කරන්න.+ 15  නමුත් ඔබ මේ දේත් මතක තියාගන්න. ඔබ මාව මරා දැමුවොත් අහිංසකයෙකුගේ ලේ වැගිරවීම ගැන ඔබටත් මේ නගරයටත් එහි වැසියන්ටත් වග කියන්න සිදු වෙයි.+ මන්ද ඔබට මේ සියල්ල පවසන්න කියා මාව එව්වේ යෙහෝවා දෙවියි.”+ 16  එවිට අධිපතියෝද+ සෙනඟද පූජකයන්ට හා අනාගතවක්තෘවරුන්ට මෙසේ පැවසුවෝය. “මේ මිනිසා මරණ දණ්ඩනය ලබන්න තරම් වරදක් කර නැහැ.+ මන්ද මොහු අපට කතා කළේ අපේ දෙවි වන යෙහෝවාගේ නාමයෙනුයි.”+ 17  ඉන්පසු දේශයේ සිටි වැඩිමහල්ලන්ගෙන් කිහිපදෙනෙක් ඉදිරියට ඇවිත් රැස්ව සිටි සෙනඟට මෙසේ කීවෝය.+ 18  “යූදාහි රජු වූ හෙසකියා පාලනය කළ කාලයේදී+ මොරෂෙත් නගරයේ විසූ+ මීකා+ පැමිණ යූදාහි සෙනඟට මෙවැනි අනාවැකියක් පැවසුවා. ‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “කෙතක් හාන්නාක් මෙන් සියොන් නාස්ති කරනු ලබන්නේය.+ යෙරුසලම නටබුන් ගොඩක් බවට පත් වන්නේය.+ දේවමාලිගාව පිහිටා තිබෙන කන්ද පාළු කැලෑවක් බවට පත් වන්නේය.”’+ 19  නමුත් ඒ කාලයේ සිටි යූදාහි රජු වූ හෙසකියාවත් යූදාහි වැසියන්වත් මීකා පැවසූ ඒ දේවල් නිසා ඔහුව මරා දැමුවාද? නැහැ. ඒ වෙනුවට හෙසකියා රජ යෙහෝවා දෙවිට ගරුබිය පෙන්වමින් දේශයට කරුණාව පෙන්වන්න කියා යෙහෝවා දෙවිට කන්නලව් කළා නේද?+ ඒ නිසා ඔවුන් පිටට විපත්ති ගෙන ඒමට යෙහෝවා දෙවි ගත් තීරණය ඔහු වෙනස් කළා.+ නමුත් අපි දැන් සූදානම් වෙන්නේ අප පිටටම මහත් විපතක් පමුණුවාගන්නයි.+ 20  “එමෙන්ම කිර්යත්-යෙයාරීම්හි විසූ+ ෂෙමායාගේ පුත්‍රයා වූ උරියාහ් නම් මනුෂ්‍යයාත් යෙහෝවා දෙවිගේ නාමයෙන් අනාවැකි පැවසූ කෙනෙක්. යෙරෙමියා මේ නගරයටත් මේ දේශයටත් විරුද්ධව පැවසූ අනාවැකිම ඔහුත් පැවසුවා. 21  ඔහු පැවසූ අනාවැකි ආරංචි වූ යෙහෝයාකිම් රජත්+ ඔහුගේ බලවත් සෙන්පතීනුත් අධිපතීනුත් ඔහුව මරන්න සෙව්වා.+ තමාව මරන්න සොයන බව දැනගත් උරියාහ් භය වී+ ඉක්මනින්ම ඊජිප්තුවට පලා ගියා. 22  නමුත් යෙහෝයාකිම් රජ, අක්බොර්ගේ පුත්‍රයා වූ එල්නාතාන්ව+ හා තවත් මිනිසුන් කිහිපදෙනෙකුව ඊජිප්තුවට යවා ඔහුව අල්ලාගෙන එන්න කියා අණ කළා. 23  ඔවුන් ඊජිප්තුවේ සිටි උරියාහ්ව අල්ලාගෙන යෙහෝයාකිම් රජු වෙතට රැගෙන ආවායින් පසු රජ උරියාහ්ට කඩුවෙන් ඇන ඔහුව මරා,+ ඔහුගේ මළ කඳ සාමාන්‍ය ජනයාව තැන්පත් කළ ස්ථානයට වීසි කර දැමුවා.” 24  මේ අවස්ථාවේදී යෙරෙමියාව මරණයට පත් කිරීමට තැත් කළ සෙනඟගෙන් ඔහුට ගැලවීමට ලැබුණේ+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්+ ඔහුට ආරක්ෂාව ලබා දුන් නිසාය.

පාදසටහන්