යෙරෙමියා 43:1-13

43  සෙනඟට පවසන්න කියා යෙහෝවා දෙවි තමාට පැවසූ සෑම දෙයක්ම යෙරෙමියා සෙනඟට පැවසුවේය. ඔවුන්ගේ දෙවි වූ යෙහෝවාගේ පණිවිඩය ඔහු සෙනඟට පවසා අවසන් කළ විගස+  හෝෂායාගේ පුත්‍රයා වූ අෂරියාද+ කාරියාගේ පුත්‍රයා වූ යෝහානාන්ද+ එතැන සිටි හිතුවක්කාර මනුෂ්‍යයෝද+ මෙසේ කීවෝය. “ඔබ ඔය කියන්නේ බොරුවක්.+ ‘විදේශිකයන් ලෙස ජීවත් වීම සඳහා ඊජිප්තු දේශයට යන්න එපා’ කියා සෙනඟට පැවසීමට අපේ දෙවි යෙහෝවා ඔබව එව්වේ නැහැ.+  ඒත් නෙරියාගේ පුත් බාරුක්+ තමයි අපිට එහෙම කියන්න කියා ඔබව පොලඹවන්නේ. ඔහුට ඕනේ අපි කල්දිවරුන්ගේ අතින් මැරුම් කනවා දකින්නයි. එහෙමත් නැත්නම් ඔහුට ඕනේ අපිව ඔවුන්ගේ අතට හසු කර දී වහලුන් හැටියට බැබිලෝනියට යවන්නයි.”+  යූදා දේශයේම දිගටම ජීවත් වෙන්න කියා යෙහෝවා දෙවි පැවසුවත්+ කාරියාගේ පුත්‍රයා වූ යෝහානාන්වත් යුධ හමුදාවේ ප්‍රධානියෝවත් සෙනඟගෙන් කිසිවෙක්වත් ඊට කීකරු වූයේ නැත.+  කාරියාගේ පුත් යෝහානාන් හා යුධ හමුදාවේ ප්‍රධානීහු සියලුදෙනා යූදාහි ඉතුරු වී සිටි මුළු සෙනඟ රැගෙන ඊජිප්තු දේශය බලා පිටත් වූහ. ඔවුන් එසේ රැගෙන ගියේ විවිධ දේශවලට විසිරී ගියත් නැවත යූදා දේශයටම ඇවිත් එහි කෙටි කාලයක් ජීවත්ව සිටි සෙනඟවයි.+  ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන්,+ ෂාපාන්ගේ පුත්‍රයා වූ+ අහිකාම්ගේ පුත්+ ගෙදලියාට+ භාර දී ගිය සියලු පුරුෂයන්වද ඔවුන්ගේ භාර්යාවන්වද දරුදැරියන්වද රාජ කුමාරිකාවන්වද+ අනාගතවක්තෘ යෙරෙමියාව හා නෙරියාගේ පුත් බාරුක්වද+ ඔවුහු එසේ රැගෙන ගියෝය.  යෙහෝවා දෙවිගේ වදන්වලට කීකරු නොවූ ඔවුහු ඊජිප්තු දේශයට පැමිණියෝය.+ ඔවුහු තාහ්පනේස් නම් නගරය දක්වාම ගියෝය.+  තාහ්පනේස්හිදී යෙහෝවා දෙවිගෙන් යෙරෙමියාට පණිවිඩයක් ලැබිණ. දෙවි ඔහුට මෙසේ පැවසුවේය.  “විශාල ගල් කිහිපයක් රැගෙන තාහ්පනේස්හි පාරාවෝගේ මාලිගාවට ඇතුල් වන දොරටුව අසලට යන්න. යුදෙව්වරුන් බලා සිටියදීම ඒ දොරටුව ඉදිරිපිට ඇති ගඩොලින් සෑදූ වේදිකාව තුළ බදාම දමා ඒවා සඟවන්න.+ 10  ඉන්පසු ඔබ යුදෙව්වරුන්ට කතා කර මෙසේ කියන්න. ‘ස්වර්ගයේ සේනාවල අධිපතිද ඊශ්‍රායෙල්හි දෙවිද වන යෙහෝවා මෙසේ පවසන්නේය. “මාගේ සේවකයාද+ බැබිලෝනියේ රජුද වන නෙබුකද්රෙෂර්ව මා කැඳවා,+ සඟවා තැබූ මේ ගල් මත ඔහුගේ සිංහාසනය මම පිහිටුවන්නෙමි. ඔහු තම රාජකීය කූඩාරම මේ ස්ථානයේම පිහිටුවනු ඇත. 11  ඔහු පැමිණ ඊජිප්තු දේශයට පහර දෙනු ඇත.+ එවිට මාරාන්තික වසංගතවලට නියම වූ අය වසංගතවලින් මිය යන්නෝය. වහල්භාවයට නියම වූ අය වහල්භාවයට ගෙන යනු ලබන්නෝය. කඩුවෙන් විනාශ වීමට නියම වූ අය කඩුවෙන් පහර කන්නෝය.+ 12  ඊජිප්තුවේ දෙවිවරුන්ගේ දේවාලවලට මම ගින්නක් අවුළුවන්නෙමි.+ ඔහු ඒ සියල්ල ගිනිබත් කර ඔවුන්ව වහල්කමට ගෙන යන්නේය. එඬේරෙකු ඉතා පහසුවෙන් තම වස්ත්‍රය පැළඳගන්නාක් මෙන්+ ඔහු මුළු ඊජිප්තු දේශයම ඉතා පහසුවෙන් යටත් කරගෙන ජයග්‍රාහීව එතැනින් පිටත්ව යන්නේය. 13  ඔහු ඊජිප්තුවේ බෙත්-ෂෙමෙෂ් නගරයෙහි* කුලුනු කඩා බිඳ දමනු ඇත. දෙවිවරුන්ගේ දේවාලද ඔහු ගින්නෙන් විනාශ කර දමනු ඇත.”’”

පාදසටහන්

මූ.අ., “හිරුගේ මාලිගාවේ.”