Skip to content

පටුනට යන්න

 පිළිසඳරක් | ස්ටීවන් ටේලර්

මූල්‍ය ගණකාධිකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

මූල්‍ය ගණකාධිකරණය පිළිබඳ මහාචාර්යවරයෙක් ඔහුගේ විශ්වාසය ගැන කියයි

මහාචාර්ය ස්ටීවන් ටේලර් ඕස්ට්‍රේලියාවේ තාක්ෂණික විශ්වවිද්‍යාලයේ දේශන පවත්වන කෙනෙක්. ඒ වගේම ඔහු මූල්‍ය වෙළඳපොළ ගැන හා එහි කටයුතු පාලනය වෙන විදිහ පිළිබඳව පර්යේෂණ පවත්වන කෙනෙක්. ඒ පර්යේෂණ ඔහුගේ ආගමික විශ්වාසයන්ට බලපෑවේ කොහොමද කියලා අපි ඔහුගෙන් අහලා බැලුවා.

ඔබේ විස්තර ටිකක් අපිට කියන්න පුළුවන්ද?

මගේ දෙමව්පියන් ක්‍රිස්තියානි. එයාලා හරිම අවංක, මහන්සි වෙලා වැඩ කරන අය. එයාලට ඕන වුණේ මං හොඳට ඉගෙනගන්නවා දකින්න. මම නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයට ඇතුල් වෙලා වාණිජ විෂය ගැන ඉගෙනගත්තා. කාලයක් යද්දී වාණිජ අංශයෙන් කරන පර්යේෂණවලට තමයි මගේ වැඩි කැමැත්තක් තියෙන්නේ කියලා මට තේරුණා.

ඔබ මොන වගේ පර්යේෂණද කළේ?

කොටස් වෙළඳපොළ ක්‍රියාත්මක වෙන විදිහ ගැන තේරුම්ගන්න මට ලොකු ආශාවක් තිබුණා. කොටස් වෙළඳපොළ කියන්නේ සමාගම්වලට ව්‍යාපාර කරගෙන යන්න ඕන කරන මුදල් හොයාගන්න ඒ සමාගම්වල කොටස් විකුණන හා මිල දී ගන්න තැනයි. ඉතිං ඒ සම්බන්ධ දේවල් ගැන මම පර්යේෂණ කළා. උදාහරණයකට කොටස්වල මිල ඉහළ පහළ යන්න බලපාන හේතු ගැන මම හොයලා බැලුවා.

අපිට ඒ ගැන පොඩ්ඩක් විස්තර කරන්න පුළුවන්ද?

සාමාන්‍යයෙන් සමාගමක් ලබන ලාභ හා පාඩු කොටස් වෙළඳපොළට වාර්තා කරන්න ඕනේ. ඒ වාර්තා බලලා තමයි ආයෝජකයන් ඒ සමාගම්වල කොටස් මිල දී ගන්නවාද නැද්ද කියලා තීරණය කරන්නේ. ඒත් සමහර සමාගම් එක එක උපක්‍රම පාවිච්චි කරලා ඔවුන්ගේ සමාගමේ ඇත්ත තත්වය හංගනවා. සමාගම්වලට එහෙම කරන්න පුළුවන් වෙලා තියෙන්නේ ලාභ පාඩු පෙන්නන ක්‍රමයේ තියෙන අඩුපාඩු නිසයි කියලා විචාරකයන් කියනවා. එහෙම නම් සමාගමක් ගැන ආයෝජකයන්ට හරි තොරතුරු දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද? ඒ වගේම මූල්‍ය වෙළඳපොළේ කටයුතු වංචාවක්  නැතුව වෙනවද නැද්ද කියලා ඒක පාලනය කරන නිලධාරීන් දැනගන්නේ කොහොමද? අන්න ඒ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න තමයි අපි පර්යේෂණය කරන්නේ.

ඔබේ ආගම ගැන අපිට ටිකක් කියන්න පුළුවන්ද?

පොඩි කාලේ මම අම්මලත් එක්ක ප්‍රෙස්බිටේරියන් පල්ලියට ගියා. ඒත් ඉස්කෝලෙ යන කාලෙදිම වගේ මම පල්ලියෙන් ටික ටික ඈත් වුණා. මම නිර්මාතෘවරයෙක් ඉන්නවා කියලා විශ්වාස කළා. ඒ වගේම බයිබලයත් විශ්වාස කළා. ඒත් ආගම් ගැන මට විශ්වාසයක් තිබුණේ නැහැ. මං යුරෝපයට ගිය වෙලාවේ ලොකු පල්ලි කිහිපයකටම ගියා. මේ පල්ලිවල මෙච්චර ධන ස්කන්ධයක් තියෙද්දී මිනිස්සු මෙච්චර දුප්පත් ඇයි කියලා මම කල්පනා කළා. ඒ නිසා ආගම් ගැන මට තියෙන විශ්වාසය නැති වුණා.

ඒත් ඔබ හිතපු විදිහ වෙනස් වුණේ කොහොමද?

මගේ බිරිඳ ජෙනිෆ යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් එක්ක බයිබලය සාකච්ඡා කළා. එයාලගේ රැස්වීම්වලටත් ජෙනිෆ ගියා. එයාත් එක්ක රැස්වීමකට ගිහින් එතන වෙන්නේ මොනවද කියලා බලන්න මටත් හිතුණා. ඒ ගිය දවසේ තමයි මට තේරුණේ ඇත්තටම මම බයිබල ගැන මුකුත්ම දැනගෙන ඉඳලා නැහැනේ කියලා.

සාක්ෂිකරුවන් උගන්වන විදිහ ගැන මට ගොඩක් ආස හිතුණා. මුලින්ම එයාලා යම් විෂයක් ගැන ප්‍රශ්න අහනවා. ඊට පස්සේ බයිබලයෙන් ඒකට අදාළ සාක්ෂි හොයලා බලනවා. අන්තිමට තර්කාණුකූල නිගමනයකට එනවා. මම පර්යේෂණ කරන්නෙත් ඒ ක්‍රමයටම තමයි. 1999දී මම යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවෙක් විදිහට බව්තීස්ම වුණා.

ආර්ථික විද්‍යාව ගැන ඔබට තියෙන දැනුම බයිබලයේ තියෙන දේවල් විශ්වාස කරන්න උදව් වුණාද?

ඔව්. උදාහරණයකට ආර්ථික විද්‍යාඥයන් අද තියෙන ආර්ථික ප්‍රශ්න විසඳන්න පුළුවන් ක්‍රම හොයනවා. දෙවියන් ඊශ්‍රායෙල්වරුන්ට දුන් නීති මාලාවේ ඒවට විසඳුම් තියෙනවා. ඒ නීතියේ දෙවියන් කියලා තියෙනවා දුප්පත් අය වෙනුවෙන් යමක් වෙන් කරලා තියන්න කියලා (අද බදු හා රක්ෂණ ක්‍රම වගේ), පොලී රහිතව ණයට දෙන්න කියලා කිව්වා (අද ණය පහසුකම් ලබා දීම වගේ), හැම අවුරුදු 50කට වරක්ම කෙනෙක්ට පවුලෙන් උරුම විය යුතු ඉඩමක් තියෙනවා නම් ඒක එයාට ලැබෙන්න සලස්වන්න කියලා කිව්වා (අද ඉඩම් හිමිකාරත්ව ආරක්ෂා කිරීම වගේ). (ලෙවී කතාව 19:9, 10; 25:10, 35-37; ද්විතීය කතාව 24:19-21) ඉතිං මේ වගේ නීතිවලින් ක්‍රම තුනකින් ඒ අයට ආර්ථික සහන ලැබුණා. (1) මුදල් ප්‍රශ්න ඇති වුණාම එයාලට සහනයක් ලැබුණා. (2) හැමදාම දුප්පත්කමින් මිරිකිලා ඉන්න සිද්ධ වුණේ නැහැ. (3) හැමෝටම අඩුවක් නැතුව ජීවත් වෙන්න පුළුවන් වුණා. ඇත්තටම කිව්වොත් මේ දේ වුණේ ආර්ථික විද්‍යාව කියන විෂය ඇති වෙන්න අවුරුදු 3,000 කටත් කලිනුයි.

ඒ වගේම ආර්ථික ප්‍රශ්න ඇති වෙන එක වළක්වාගන්න උදව් වෙන ගුණාංග වර්ධනය කරගන්නත් බයිබලයේ උනන්දු කරනවා. උදාහරණයකට අවංක, විශ්වාසවන්ත, දයාවන්ත සහ ත්‍යාගශීලී කෙනෙක් වෙන්න කියලා බයිබලයේ කියනවා. (ද්විතීය කතාව 15:7-11; 25:15; ගීතාවලිය 15) මෑතකදී වෙච්ච ආර්ථික බිඳ වැටීම මතකයිනේ. ඒකත් එක්ක, ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධ සමහර අධ්‍යාපනික ආයතන සහ සංවිධාන ඒ ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගෙන් ඉල්ලුවේ හොඳ ආචාර ධර්ම පිළිපදින්න කියලයි. හැබැයි ඒ ආචාර ධර්මවලට වඩා ඒ ගැන බයිබලයේ තියෙන ප්‍රතිපත්ති ගොඩක් ඉහළයි.

විශ්වාස කරන දේවල් ඔබේ ජීවිතේට කොහොමද බලපාලා තියෙන්නේ?

මම කරපු හොඳම ආයෝජනය බයිබලය ඉගෙනගත්ත එක

ජෙනිෆ කියනවා මං දැන් ඉස්සරට වඩා සාධාරණව දේවල් දිහා බලනවා කියලා. මොකද ඉස්සර මට හැම දෙයක්ම අකුරටම කරන්න ඕනේ. මං තද නීතිකාරයෙක්. මට ගණකාධිකරණය එච්චර අමාරු විෂයක් නොවුණේ ඒ නිසා වෙන්න ඇති. ඒත් දේවල් දිහා සමබරව බලන්න මට උදව් වුණේ බයිබලය ඉගෙනගත්ත එකයි. දැන් අපි ගොඩක් සතුටින් ඉන්නවා. ඒ වගේම අපි බයිබලයේ තියෙන දැනුම අනිත් අයත් එක්කත් බෙදාගන්නවා. මං මගේ ජීවිතයේ කරපු හොඳම ආයෝජනය බයිබලය ඉගෙනගත්ත එකයි කියලා දැන් මට බය නැතුව කියන්න පුළුවන්.