Skip to content

පටුනට යන්න

ලොකු ඇස් ඇති පුංචි සතා

ලොකු ඇස් ඇති පුංචි සතා

සමහර අයට මේ සතාව දැක්කම ආස හිතෙනවා. ඒත් තවත් අයට ඌ අමුතු සතෙක්. සෙන්ටිමීටර් 12.5ක් දිග මේ සතාගේ බර ග්‍රෑම් 114ක් විතර වෙනවා. උගේ කකුල් දිගයි. මුළු ශරීරයම සිනිඳු ලොම්වලින් වැහිලා. ඌ පුංචි සතෙක් වුණත් ඌට තියෙන්නේ දිලිසෙන ලොකු ඇස් දෙකක්.

අපි මේ කතා කරන්නේ පිලිපීනයේ ඉන්න උණහපුළු වර්ගයක් (tarsier) ගැනයි. කෙනෙක්ට ඌව දැක්කම හිතෙයි මේච්චර චූටි ඇඟකට ඇයි මෙච්චර විශාල ඇස්, කන්, අත්, කකුල් හා වලිගයක් තියෙන්නේ කියලා. ඒත් ඌ ඇත්තටම අපුරු නිර්මාණයක් කියලා ඌ ගැන හොයලා බලන ඕනම කෙනෙක්ට තේරෙයි.

ඇසීම: නමන්න, දිගහරින්න පුළුවන් හීනි කන් පෙති දෙකක් තියෙන නිසා සියුම් ශබ්දයක් වුණත් ඌට ඇහෙනවා. ඒ නිසා තමාව ගොදුරු කරගන්න එන සතුන්ගෙන් ආරක්ෂා වෙන්න ඌට පුළුවන්. ඒ වගේම ඌ ආහාරයට ගන්න පළඟැටියන්, වේයන්, කුරුමිණියන්, කුරුල්ලන් හා ගෙම්බන් වැනි සතුන්ගේ හඬවලුත් ඌට හොඳින් ඇහෙනවා. ඒ නිසා බෙල්ල හරවලා ගොදුර තියෙන තැන හොයාගන්න ඌට පුළුවන්.

රැඳිලා ඉන්න විදිහ: උගේ ඇඟිලි තුඩුවල තියෙන කොට්ට හා උල් හැඩැති නියපොතු හැදිලා තියෙන විදිහ නිසා පුංචි අතු වුණත් ඌට පහසුවෙන් අල්ලගෙන ඉන්න පුළුවන්. ඌ නිදාගනිද්දී වුණත් අතුවලින් බිමට වැටෙන්නේ නැහැ. ඒ, වලිගයේ යටි පැත්තේ තියෙන ගැටිති අතු උඩ රැඳිලා ඉන්න ඌට උදව් වෙන නිසයි.

 පෙනීම: ඇඟේ ප්‍රමාණය එක්ක බැලුවම මේ තරම් විශාල ඇස් තියෙන වෙන ක්ෂීරපායි සතෙක් නැති තරම්. උගේ ඇහැක් උගේ මොළේට වැඩිය ලොකුයි. ඒත් අනිත් සතුන්ට වගේ ඇස් කරවලා වටපිට බලන්න ඌට බැහැ. ඌ බලන්නේ එක එල්ලේ විතරයි. ඒත් බෙල්ල වටේටම කරකවන්න පුළුවන් නිසා වටපිට බලන එක ඌට ප්‍රශ්නයක් නෙමෙයි.

කඩිසරකම: දිග කකුල් තියෙන නිසා ඌට මීටර් 6ක් තරම් ඈතට පනින්න පුළුවන්. ඒ කියන්නේ උගේ ශරීරයේ දිග වගේ 40 ගුණයකටත් වඩා වැඩි දුරක්. නිශාචර සතෙක් වන ඌට හරියටම ගොදුරට පැනලා ඇඟිලිවලින් ඒක ඩැහැගන්නත් පුළුවන්.

උණහපුළුවා පණ පිටින් සතුන්ව අල්ලගෙන කන්න කැමති බඩජාරි සතෙක් නිසාත් කවුරුත් තමාව අල්ලනවාට කැමති නැති නිසාත් ඌව කූඩු කරලා හැදුවොත් ඌ වැඩි කල් ජීවත් වෙන්නේ නැහැ. පිලිපීනයේ කාගෙත් සිත් ඇදගන්නා මේ සතා ඇත්තෙන්ම අරුම පුදුම නිර්මාණයක්.