Skip to content

පටුනට යන්න

මුල් පිටුවෙන්

ඔබ හොඳ යාළුවෙක්ද?

ඔබ හොඳ යාළුවෙක්ද?

2010 දෙසැම්බර් 25වෙනිදා බ්‍රිතාන්‍යයේ සිටි 42 හැවිරිදි කාන්තාවක්, තමන් ජීවිතය නැති කරගන්නවා කියා මිතුරු සමාජ වෙබ් අඩවියක් තුළින් තම යාළුවන්ට පණිවිඩයක් යැව්වා. ඇයට ගොඩක් යාළුවන් හිටියත් ඒ එක් කෙනෙක්වත් උදව් කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඒ පණිවිඩය යවලා දවසකට පස්සේ ඇගේ මළ සිරුර පොලිස් නිලධාරීන් විසින් සොයාගත්තා.

නවීන තාක්ෂණය නිසා අන්තර්ජාලය හරහා අද අපිට ඕනෑ තරම් යාළුවන් හොයාගන්න පුළුවන්. ඒත් මුලින් සඳහන් කළ සිද්ධියෙන් පෙන්වන්නේ කෙනෙක්ට කොච්චර යාළුවෝ හිටියත් ඒ හැම කෙනෙක්ම ඇත්තටම හොඳ යාළුවෝ නෙමෙයි කියලයි. ඉස්සරට වඩා අද අපි ගොඩක් අයව ආශ්‍රය කළත් හොඳ යාළුවන්ව හොයාගන්න එක ලේසි නැහැ කියලා සමීක්ෂණවලිනුත් හොයාගෙන තියෙනවා.

අපි හැමෝටම හොඳ යාළුවෝ ඕනේ. ඒත් අපි යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අන්තර්ජාලයෙන් අපිට මුණගැහෙන අයගෙන් ලැබෙයි කියලා හිතන්න බැහැ. ඔබ යාළුවෙකුගෙන් බලාපොරොත්තු වෙන්නේ මොනවාද? ඔබට හොඳ යාළුවෙක් වෙන්න පුළුවන් කොහොමද? යාළුකම හැමදාටම තියාගන්න නම් මොනවාද කරන්න ඕන?

හොඳ යාළුවෙක් වෙන්න උදව් වෙන මඟ පෙන්වීම් බයිබලයේ තියෙනවා. ඒවායින් කරුණු 4ක් දැන් අපි බලමු.

1. සැලකිලිමත් වෙන්න

හොඳ යාළුවෙක් කියන්නේ මිත්‍රයාගේ යහපත ගැන හිතන, අවංක සැලකිල්ලක් දක්වන කෙනෙක්. ඒ වගේ බැඳීමක් ඇති වෙන්නේ දෙන්නගෙම උත්සාහයෙන්. ඒ වෙනුවෙන් කරන කැප කිරීම් කවදාවත් අපතේ යන්නේ නැහැ. ‘යාළුවන් වෙනුවෙන් මගේ කාලය, මිල මුදල් කැප කරන්න මං කැමතිද’ කියලා හිතලා බලන්න. හොඳ යාළුවෙක් ලැබෙන්නේ ඔබ හොඳ යාළුවෙක් වුණොත් විතරයි කියලත් අමතක කරන්න එපා.

යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වන දේ

ඉරෙන්: “ලස්සන මල් වත්තක් වවන්න කාලයයි සැලකිල්ලයි ඕනේ. යාළුවෝ ඇති කරගන්න එකත් ඒ වගේ. ඒකට මුලින්ම, මම හොඳ යාළුවෙක් වෙන්න කැමතියි කියලා අනිත් අය දකින්න ඕනේ. එහෙම වෙන්නේ අපි කරුණාවන්ත සැලකිලිමත් අය වුණොත් විතරයි. ඒ වගේම අනිත් අය වෙනුවෙන් කාලය කැප කරන්නත් කැමැත්තක් තියෙන්න ඕනේ.”

ලුයිස්: “අපි ජීවත් වෙන්නේ අනුන් ගැන හිතනවාට වඩා තමන් ගැන හිතන සමාජයක. ඒ නිසා වාසි ප්‍රයෝජන ගැන හිතන්නේ නැතුව මං ගැන අවංකව සැලකිල්ලක් දක්වන කෙනෙක් මට ඉන්නවා කියන එකත් ලොකු දෙයක්.”

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“අනුන් ඔබට කරනවාට ඔබ කැමති දේ එලෙසින්ම ඔවුන්ටත් කරන්න. දීමට පුරුදු වන්න. එවිට අන් අයත් ඔබට දෙයි.” (ලූක් 6:31, 38) යේසුස් එතන උනන්දු කළේ තමන් ගැන විතරක් නොහිතා අනිත් අය වෙනුවෙනුත් දේවල් කරන්න කියලයි. ඒ නිසා අනිත් අයට උදව් කරද්දී වාසි ප්‍රයෝජන ගැන හිතන්න එපා. එතකොට අපිට හොඳ යාළුවන් ඇති කරගන්න පුළුවන්.

2. හොඳින් අදහස් හුවමාරු කරගන්න

හොඳ යාළුවෝ තමන් කැමති දේවල් ගැනත් අකමැති දේවල් ගැනත් කතා කරනවා. අනිත් කෙනාගේ අදහස්වලට ගරු කරනවා. ප්‍රශංසා කරනවා. දිරිගන්වනවා. සමහර වෙලාවට යාළුවාව නිවැරදි කරන්න ඔහුට උපදෙසක් දෙන්නත් සිද්ධ වෙයි. ඒක ලේසි නැති වුණත් ඔබ හොඳ යාළුවෙක් නම් ඒ දේ කරන්න පසුබට වෙන්නේ නැහැ.

යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වන දේ

හුවාන්: “හොඳ යාළුවෙක්ට පුළුවන් වෙන්න ඕනේ එයාගේ හිතේ තියෙන දේ බය නැතුව මට කියන්න. හැබැයි මං ඒ දේවල් පිළිගත්තේ නැහැ කියලා එයා කේන්ති ගන්නත් හොඳ නැහැ.”

යූනිස්: “මට වටින්නේ මාත් එක්ක කාලය ගත කරන, මට ඇහුම්කන් දෙන යාළුවන්ව. විශේෂයෙන්ම ප්‍රශ්නයක් තියෙන වෙලාවට ඒ වගේ යාළුවන්ව ගොඩක් වටිනවා.”

සිල්විනා: “හොඳ යාළුවෙක් අපේ යහපත ගැන හිතන නිසා අපේ හිත රිදුණත් ඇත්ත කියනවා.”

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“සෑම මිනිසෙක්ම ඇහුම්කන් දීමට ඉක්මන් විය යුතුයි. කතා කිරීමට ප්‍රමාද විය යුතුයි. කෝප වීමටද ප්‍රමාද විය යුතුයි.” (යාකොබ් 1:19) හොඳ යාළුවෙක් ඕනෙම වෙලාවක ඇහුම්කන් දෙන්න ලෑස්තියි. අනිත් කෙනාගේ අදහස්වලට ඇහුම්කන් නොදී දිගින් දිගටම කතා කරන්න එපා. එහෙම කළොත් ඒකෙන් අඟවන්නේ අනිත් කෙනාගේ අදහස්වලට ඔබ ගරු කරන්නේ නැහැ කියලයි. යාළුවෙක් හිතේ තියෙන දෙයක් ඔබට කියද්දී හොඳින් ඇහුම්කන් දෙන්න. කියන දේවල් නිසා ඔබේ හිත ටිකක් රිදුණත් කේන්ති ගන්න එපා. බයිබලයේ ඒ ගැන මෙහෙම කියනවා. “ඔබට ප්‍රේම කරන කෙනෙකු ඔබේ සිත රිදෙව්වත් ඔහු එසේ කරන්නේ විශ්වාසවන්තකමින්ය.”හිතෝපදේශ 27:6.

3. සාධාරණ වෙන්න

අපි කිට්ටුවෙන් කෙනෙක්ව ආශ්‍රය කරද්දී අපිට ඔහුගේ අඩුපාඩු පේනවා වැඩියි. හැමෝම අතින් වැරදි වෙනවා. යාළුවෝ අතිනුත් වැරදි වෙනවා. ඒ නිසා අඩුපාඩු දකිනවා වෙනුවට හොඳ ගතිගුණ දකින්න උත්සාහ කරන්න. වරදක් වුණත් ඒක යාළුකමට බාධාවක් කරගන්න එපා.

යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වන දේ

සැමුවෙල්: “අපි හැම තිස්සෙම අනිත් අයගෙන් අකුරටම දේවල් බලාපොරොත්තු වෙනවා. ඒත් අපි අතිනුත් වැරදි වෙනවා කියන එක අමතක වෙනවා. අනිත් අයගෙන් අපිටත් සමාව ඕනේ කියලා තේරුම්ගන්නවා නම් අපිත් අනිත් අයට සමාව දෙනවා.”

ඩැනියෙල්: “යාළුවෝ අතිනුත් වැරදි වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක ඉක්මනට විසඳගෙන අමතක කරලා දාන්න.”

බයිබලයේ කියන්නේ මෙහෙමයි

ඔබ සමාව දෙන්න කැමති කෙනෙක්ද?කොලොස්සි 3:13, 14

“අප සියලුදෙනා අතින් නොයෙක් අවස්ථාවලදී වැරදි සිදු වෙයි. යමෙකුට තම දිව පාලනය කරගැනීමට හැකි නම් මුළු ශරීරයම හොඳින් පාලනය කරන, කිසි වරදක් නොකරන පරිපූර්ණ මිනිසෙකු වීමට ඔහුට පුළුවන.” (යාකොබ් 3:2) ඒක තේරුම්ගන්නවා නම් යාළුවන් අතින් වෙන සුළු සුළු අඩුපාඩු අමතක කරලා සාධාරණව වැඩ කරන කෙනෙක් වෙන්න අපිට පුළුවන්. බයිබලයේ මෙහෙම කියලා තියෙනවා. “අන් අය කරන දේ ගැන අමනාපයක් ඇති වීමට සාධාරණ හේතු තිබෙන විටත් ඔවුන් ගැන ඉවසන්න. නිතරම ඔවුන්ට මුළු හදවතින්ම සමාව දෙන්න. . . . ඒ සියල්ලට අමතරව ඔබ තුළ ප්‍රේමය තිබිය යුතුයි. මන්ද එක්සත්කමට දායක වන හොඳම බැඳීම එයයි.”කොලොස්සි 3:13, 14.

4. එකම පිරිසකට සීමා වෙන්න එපා

අපිට හැමෝවම අපේ යාළුවෝ කරගන්න බැරි බව ඇත්ත. ඒත් අපි ආශ්‍රය කරන්න ඕන අපේ වයසට, පසුබිමට ගැළපෙන අයව විතරයි කියලා ඒකෙන් අදහස් කරන්නේ නැහැ. අපි විවිධ වයස්වලට, පසුබිම්වලට, ජාතීන්ට අයිති අයව අපේ මිතුරන් කරගද්දී අපේ ජීවිතයටත් විවිධත්වයක් ලැබෙනවා.

යාළුවෙක්ගෙන් බලාපොරොත්තු වන දේ

ඌනයි: “එකම වයසේ, එකම ගතිගුණ තියෙන අයව ආශ්‍රය කරන එක හරියට ඔයා කැමතිම පාට ඇඳුම් හැමදාම අඳිනවා වගේ වැඩක්. ඔයා ඒ පාටට කොච්චර ආස වුණත් හැමදාම ඒ පාට ඇඳුම් ඇන්දොත් දවසක ඒක ඔයාට එපා වෙයි. එකම විදිහේ යාළුවෝ ආශ්‍රය කරන එක ගැන කියන්න තියෙන්නෙත් ඒකම තමයි.”

ෆුන්කේ: “එක එක විදිහේ යාළුවන්ව ආශ්‍රය කරන නිසා මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. හැමෝ එක්කම හිතවත් වෙලා කතාබහ කරන්නත් එක් එක් කෙනාට අනුව හැඩගැහෙන්නත් මං දැන් දන්නවා.”

ඔබත් විවිධ අයව යාළුවන් කරගන්නවාද?2 කොරින්ති 6:13

බයිබලයේ කියන්නේ මෙහෙමයි

“මා දැන් ඔබට කතා කරන්නේ මගේම දරුවන්ට කතා කරනවා හා සමානවය. එහෙයින් ඔබත් ඔබේ හදවත්වල ඇති ප්‍රේමය තව තවත් වැඩි කරගන්න.” (2 කොරින්ති 6:13) බයිබලයේ අපිට උනන්දු කරන්නෙත් තරාතිරම් බලන්නේ නැතුව හැම කෙනෙක්වම ආශ්‍රය කරන්න කියලයි. අපි එහෙම කරනවා නම් ජීවිතයට සතුටකුත් විවිධත්වයකුත් ලැබෙයි. ඒ වගේම ඔබත් අනිත් අයට හොඳ යාළුවෙක් වෙයි.