Skip to content

පටුනට යන්න

නිර්මාණයක්ද?

ගොම කුරුමිණියාගේ ගමන් මඟ

ගොම කුරුමිණියාගේ ගමන් මඟ

ගොමවලින් ප්‍රයෝජන ගන්න ගොම කුරුමිණියා හරිම දක්ෂයි. ඌ බිත්තර දාන්නත් සහකාරියව ආකර්ෂණය කරගන්නත් යොදාගන්නෙත් ගොම. කන්නෙත් ගොම. ගොම අයිති කරගන්න කුරුමිණියාට තරඟ වදින්න වෙන අවස්ථාත් නැතුවාම නෙමෙයි. අලියෙක්ගේ මලපහ ඉවත් කරන්න ගොම කුරුමිණියන් 16,000කට පමණ ගියේ පැය 2ක් වැනි කෙටි කාලයක් බව පර්යේෂකයන් සොයාගත්තා.

සමහර විශේෂයන් ගොමවලින් කුඩා බෝල සාදා ඒවා ඉක්මනින් තල්ලු කරගෙන ගිහින් පොළොවේ වළලනවා. උන් බෝල කරගත් ගොම ගුලිය ගෙන යන්නේ කෙළින් මඟකයි. ඒ නිසා ඉක්මනින්ම ඌට අවශ්‍ය තැනට ඒවා ගෙනියන්නත් ගොම බෝල සොරකම් කරන්න එන කුරුමිණියන්ගෙන් එය ආරක්ෂා කරගන්නත් පුළුවන් වෙනවා.

ගොම කුරුමිණියන් කෙළින් මඟක යන්නේ කොහොමද?

මේ ගැන සිතන්න: අධ්‍යයනවලින් හෙළි වී තිබුණේ ගොම කුරුමිණියන් එහෙම යන්නේ ඉරේ හෝ සඳේ උදව්වෙන් කියලයි. නමුත් සඳ නැති රැයකදී වුණත් ඌට කෙළින් මඟක යන්න පුළුවන්. ඒ ගැන වැඩිදුර අධ්‍යයනය කළ දකුණු අප්‍රිකාවේ පර්යේෂකයන් සොයාගත්තේ ගොම කුරුමිණියා ගමන් කරන්නේ තනි තරුවක ආධාරයෙන් නොව ක්ෂීරපථ මන්දාකිණියේ තිබෙන තරුවලින් නිකුත් වන ආලෝක ධාරාවක ආධාරයෙන් බවයි. සඟරාවකත් ඒ ගැන මෙහෙම සඳහන් වුණා. “සතුන් තම ගමන් මඟ සොයාගැනීමට ක්ෂීරපථ මන්දාකිණිය යොදාගන්නවා කියා වාර්තා වුණු මුල්ම අවස්ථාව මෙයයි.”—Current Biology.

“පෙනෙන නොපෙනෙන තරම් තරු එළියක් තියෙද්දී වුණත් ඌට කෙළින් මඟක ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අනාගතයේදී ඉතා මද ආලෝකය තියෙන අවස්ථාවකදී වුණත් යමක් හඳුනාගැනීමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවන්න ගොම කුරුමිණියා සතු හැකියාව විද්‍යාඥයන්ට උදව් වෙයි” කියා පර්යේෂකවරයෙකු වන මාකස් බර්න් පැවසුවා. උදාහරණයකට මේ ක්‍රමය අනුකරණය කර කඩා වැටුණු ගොඩනැඟිල්ලක හිර වී සිටින මිනිසුන්ව සොයාගැනීමට හැකි රොබෝ යන්ත්‍ර නිපදවීමට හැකි වෙයි.

ඔබේ නිගමනය කුමක්ද? කෙළින් මඟක ගමන් කිරීමේ හැකියාව ගොම කුරුමිණියාට ලැබුණේ අහම්බෙන්ද නැත්නම් එය නිර්මාණයක්ද?

ඔබ දැන සිටියාද?

පස පෙරලා එය සාරවත් කරන්නත් බීජ ව්‍යාප්තියටත් ගොම කුරුමිණියා දායක වෙනවා. ඌ නිසා මැස්සන් බෝ වීමත් පාලනය වෙනවා.