Skip to content

පටුනට යන්න

තාක්ෂණික උපකරණවලට මම වහල් වෙලාද?

තාක්ෂණික උපකරණවලට මම වහල් වෙලාද?

යෞවන අය අසති

තාක්ෂණික උපකරණවලට මම වහල් වෙලාද?

මේ අයගේ පොදු ලක්ෂණය කුමක්ද?

“මගේ ජීවිතේ SMS යවනවා තරම් වටිනා දෙයක් තවත් නැහැ. එහෙම කරන්න බැරි නම් ඉඳලා වැඩක් නැහැ.”—ඇලන්. *

“අම්මා මට TV එකක් අරන් දුන්නා. එදා ඉඳන් මගේ වැඩේ කාමරේට වෙලා TV බලන එකමයි. ටික දවසකට පස්සේ ඒක නිසා මට ගෙදර අයවයි යාළුවන්වයි ඔක්කොම අමතක වුණා.”—තෙරෙසා.

“මට තිබුණේ ඉන්ටර්නෙට් පිස්සුව. මගේ වෙබ් පිටුවට කවුරු හරි පණිවිඩ එවලද කියලා මට නිතරම බලන්න ඕනේ. ඒ නිසා ගෙදරින් එළියට යන්නවත් හිතුණේ නැහැ. මහ රෑ ඇහැරුණත් මම ඉන්ටර්නෙට් එකට ගිහින් මගේ වෙබ් පිටුවේ මොකක් හරි කරනවා.”—ඇනා.

ඔබ සිතන ආකාරයට තාක්ෂණික උපකරණවලට වහල් වී සිටින්නේ මේ තිදෙනාගෙන් කවුද?

ඇලන් තෙරෙසා ඇනා

ඔබේ දෙමාපියන්ගේ යෞවන කාලයේදී ජංගම දුරකථන නොව අඩුම තරමින් රූපවාහිනියක්වත් නොතිබෙන්න ඇති. සමහරවිට මුළු ගමටම තිබෙන්න ඇත්තේ එකම එක දුරකථනයක් පමණයි. තම දෙමාපියන් ගැන ඇනා නමැති යෞවනිය පවසන දේ බලන්න. “අම්මලාගේ කාලේ අද තරම් තාක්ෂණය දියුණු නැහැ. ජංගම දුරකථනයක් පාවිච්චි කරන්නේ කොහොමද කියලවත් එයාලා තවම දන්නේ නැහැ.”

අද වන විට දුරකථන ඇමතුමක් දෙන්න, සිංදුවක් අහන්න, යම් ක්‍රීඩාවක නියැලෙන්න, ඡායාරූපයක් ගන්න, අන්තර්ජාලයට පිවිසෙන්න, SMS හෝ ඊ-මේල් පණිවිඩයක් යවන්න වැනි බොහෝ දේවල් එකම කුඩා උපකරණයකින් කළ හැකියි. ඔබ කුඩා කාලයේ සිටම පරිගණක, ජංගම දුරකථන සහ රූපවාහිනිය වැනි උපකරණ ඕනෑ තරම් දැක ඇති. ඒ නිසා ඒවා නිතර භාවිත කිරීම ඔබට සාමාන්‍ය දෙයක් වෙන්න පුළුවන්. නමුත් ඔබේ දෙමාපියන් දකින්නේ එය ඇබ්බැහි වීමක් ලෙසයි. ඔබේ දෙමාපියන් එසේ පවසනවා නම් ඔවුන්ගේ අදහස් අද සමාජයට ගැළපෙන්නේ නැහැ කියා පැවසීමට ඉක්මන් වෙන්න එපා. ඒ ගැන පුරාණයේ සිටි සලමොන් රජ මෙසේ පැවසුවා. “කාරණයකට හොඳින් සවන් දීමට කලින් කතා කිරීම මෝඩකමකි.”—හිතෝපදේශ 18:13.

ඔබේ දෙමාපියන් එසේ සිතන්නේ ඇයි කියා ඔබ කල්පනා කර තිබෙනවාද? ඔබ ඇත්තටම ඉහත සඳහන් කළ දේවලට ඇබ්බැහි වෙලාද? ඒ ගැන දැනගැනීමට මේ කුඩා පරීක්ෂණය කර බලන්න.

මම ඇබ්බැහි වෙලාද?

එක් විශ්වකෝෂයක ඇබ්බැහි වීම විස්තර කර තිබෙන්නේ මේ ආකාරයටයි. “යම් ක්‍රියාවක හානිකර ප්‍රතිඵල දැන සිටියත් සීමාව ඉක්මවා දිගින් දිගටම එහි නියැලීම. එම ක්‍රියාව පාලන කිරීමට අවශ්‍යතාවක් තිබුණත් නැතත් එය පාලනය නොකිරීම.” දැන් මෙම ලිපියේ කලින් සඳහන් කළ යෞවනයන් තිදෙනා ගැන සිතන්න. ඔවුන් පැවසූ දේවල් නැවත කියවන්න. ඉහත සඳහන් නිර්වචනයට අනුව ඒ යෞවනයන් තිදෙනාම ඔවුන් භාවිත කරන තාක්ෂණික උපකරණයට ඇබ්බැහි වෙලා කියා ඔබ දුටුවාද? ඔබේ තත්වය කුමක්ද? පහත සඳහන් අය හා සමාන අද්දැකීම් ඔබටත් තිබෙනවාද කියා බලන්න. ඒවා සලකා බැලීමෙන් ඔබත් ඒවාට වහල් වී සිටිනවාද කියා ඔබටම දැනගන්න පුළුවන් වෙයි.

සීමාවක් නැහැ. “මම පැය ගණන් වීඩියෝ ක්‍රීඩා කළා. සමහරවිට මට රෑට නිදාගන්නවත් වෙලාවක් නැහැ. මගේ ජීවිතයත් ඒ ක්‍රීඩාවෙම කොටසක් වුණා. මම ඒ කාලයේ හිටියේ මනෝ ලෝකෙක. මම පවුලේ අයගෙනුත් අනික් අයගෙනුත් හුඟක් ඈත් වෙලයි හිටියේ.”—ඇන්ඩෘ.

දිනකට රූපවාහිනිය නරඹන්න, SMS පණිවිඩ යවන්න, අන්තර්ජාලය භාවිත කරන්න සහ වීඩියෝ ක්‍රීඩා කරන්න, කොතරම් කාලයක් වැය කිරීම සාධාරණයි කියා ඔබ සිතනවාද? .....

ඔබේ දෙමාපියන් පවසන්නේ ඔබ කොතරම් කාලයක් වැය කළොත් ඇති කියාද? .....

ඉහත සඳහන් දේවල් සඳහා ඔබ දිනපතා වැය කරන සම්පූර්ණ කාලය කොපමණද? .....

ඔබ සැපයූ පිළිතුරුවලින් ඔබ ඊට ඇබ්බැහි වෙලා කියා ඔබට දැනෙනවාද?

□ ඔව් □ නැහැ

කැමති වුණත් නැතත් පාලනය කරන්න බැහැ. “මම ඕනෑවට වඩා SMS යවනවා කියලා අම්මයි තාත්තයි හැම වෙලාවෙම කියනවා. මගේ යාළුවන් එක්ක බලනකොට නම් මම යවන්නේ හරිම ටිකයි. ඒත් අපේ අම්මලත් එක්ක බලනකොට නම් මම හුඟක් SMS යවනවා. ඉතිං ඒක සාධාරණයිනේ. අම්මලා ඉන්නේ හතලිස් ගණන්වල. මගේ වයස 15යි.”—ඇලන්.

ඔබ ඕනෑවට වඩා ඉලෙක්ට්‍රොනික උපකරණවලට කාලය දෙනවා කියලා ඔබේ දෙමාපියන් හෝ මිතුරන් ඔබට කවදා හරි පවසා තිබෙනවාද?

□ ඔව් □ නැහැ

කැමති වුණත් නැතත්, ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිත කරන එක පාලනය කරන්න ඔබට අමාරුද?

□ ඔව් □ නැහැ

හානිකර ප්‍රතිඵල. “මගේ යාළුවෝ හැම වෙලාවෙම SMS යවනවා. පාරේ යනකොටත් එහෙම කරනවා. ඇත්තටම ඒක කොච්චර භයානකද!”—ජූලි.

“මගේ ෆෝන් එක ගත්ත අලුත, මගේ වැඩේම කාට හරි කෝල් කරන එක නැත්නම් SMS යවන එක. ඒක මගේ පවුලේ අය එක්කත් සමහර යාළුවෝ එක්කත් තිබුණ බැඳීමට හුඟක් බලපෑවා. ඒත් දැන් නම් මම එහෙම කරන්නේ නැහැ. ඒකට හේතුව මගේ යාළුවෝ එක්ක මොකක් හරි ගැන කතා කර කර ඉන්නකොට ඒ අය නිතරම කියනවා ‘පොඩ්ඩක් ඉන්න මම SMS එකක් යවනකල්’ කියලා. එහෙම කියන එක මට හරි කරදයක් වුණා. මට දැනුයි තේරෙන්නේ, මමත් ඉස්සර ඒකමනේ කළේ කියලා.”—ෂර්ලි.

ඔබ මඟතොටේදී හෝ අමතර පන්තිවලදී SMS පණිවිඩ යවන්න පුරුදු වී සිටිනවාද?

□ ඔව් □ නැහැ

අන් අය සමඟ කරන සාකච්ඡාවන්ට බාධා වන අයුරින් ඔබ නිතරම ඔබේ දුරකථනය භාවිත කරනවාද?

□ ඔව් □ නැහැ

ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතය, ඔබට නිදාගැනීමට හෝ පාඩම් කිරීමට තිබෙන කාලය සොරාගෙන තිබෙනවාද?

□ ඔව් □ නැහැ

සමබර වෙන්න

සමහරවිට ඔබට පරිගණකයක්, ජංගම දුරකථනයක් හෝ වෙනත් ඉලෙක්ට්‍රොනික උපකරණයක් තිබෙන්න පුළුවන්. නමුත් බයිබලයේ දී තිබෙන උපදෙස් අදාළ කරගැනීමෙන් ඒවා පාලනයක් ඇතුව භාවිත කිරීමටත් ඉන් ඇති විය හැකි හානිකර ප්‍රතිඵලවලින් ආරක්ෂා වීමටත් ඔබට හැකියි. පහත සඳහන් ප්‍රශ්න හතර ඔබෙන්ම අසාගන්න.

1. පාවිච්චි කිරීමේ අරමුණ කුමක්ද? “සැබෑ, ගෞරවනීය, ධර්මිෂ්ඨ, පවිත්‍ර, ප්‍රේමයට දායක වන, ඔබින, නිර්මල මෙන්ම ප්‍රශංසනීය දේවලට ඔබේ මනස නිරතුරුවම යොමු කරන්න.”—ෆිලිප්පි 4:8.

කරන්න. පවුලේ අය සහ මිතුරන් සමඟ ගොඩනංවනසුලු තොරතුරු බෙදාගන්න.—හිතෝපදේශ 25:25; එෆීස 4:29.

නොකරන්න. ඕපාදූප පැතිරවීමටවත් අසභ්‍ය දේවල් ඇතුළත් පණිවිඩ, පින්තූර සහ වීඩියෝ දර්ශන නැරඹීමටවත් භාවිත නොකරන්න.—කොලොස්සි 3:5; 1 පේතෘස් 4:15.

2. භාවිත කරන්නේ මොන වගේ වෙලාවන්වලදීද? “සෑම දෙයකටම නියමිත කාලයක් ඇත.”—දේශනාකාරයා 3:1.

කරන්න. වීඩියෝ ක්‍රීඩාවලට, රූපවාහිනිය නැරඹීමට, SMS පණිවිඩ යැවීමට සහ දුරකථන ඇමතුම් දීමට කොතරම් කාලයක් යොදවනවාද කියා නියම කරගන්න. නමස්කාර කටයුතු වැනි වැදගත් අවස්ථාවලදී ඔබේ ඉලෙක්ට්‍රොනික උපකරණ ක්‍රියා විරහිත කරන්න.

නොකරන්න. අධ්‍යාපනය හා නමස්කාර කටයුතුවලට මෙන්ම පවුලේ අය සහ හිතමිතුරන් වෙනුවෙන් යොදවන කාලයට බාධාවක් කරගන්න එපා.—එෆීස 5:15-17; ෆිලිප්පි 2:4.

3. මම ආශ්‍රය කරන්නේ කාවද? “මුළා නොවන්න. නරක ආශ්‍රය නිසා ඔබේ හොඳ පුරුදු නැති වී යයි.”—1 කොරින්ති 15:33.

කරන්න. යහපත් පුරුදු ඇති කරගැනීමට ඔබට උපකාරවත් වන අය සමඟ ඇසුරු කිරීමට එය භාවිත කරන්න.—හිතෝපදේශ 22:17.

නොකරන්න. රූපවාහිනියට, ඊ-මේල්වලට, SMS පණිවිඩවලට, වීඩියෝ ක්‍රීඩාවලට සහ අන්තර්ජාලයට ඔබගේ ප්‍රතිපත්තිවලට, කතා විලාසයට සහ සිතන ආකාරයට හානි කිරීමට ඉඩ නොදෙන්න.—හිතෝපදේශ 13:20.

4. මම කොතරම් කාලයක් වැය කරනවාද? ‘වඩා වැදගත් දේවල් මොනවාද කියා පැහැදිලිව අවබෝධ කරගන්න.’—ෆිලිප්පි 1:10.

කරන්න. ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිත කරන කාලය සටහන් කරගන්න.

නොකරන්න. ඔබ ඉලෙක්ට්‍රොනික උපකරණ සඳහා වැය කරන කාලය වැඩියි කියා ඔබේ දෙමාපියන් හෝ මිතුරන් පවසනවා නම් එය නොසලකාහරින්න එපා.—හිතෝපදේශ 26:12.

කලින් සඳහන් කළ ඇන්ඩෘ සමබරව කටයුතු කිරීම ගැන මෙසේ පවසනවා. “ඉලෙක්ට්‍රොනික උපකරණවලින් විනෝදයක් ලැබෙන බව ඇත්ත. ඒත් ඒ ටික වෙලාවකට විතරයි. ඒ නිසා පවුලේ අයගෙන් සහ යාළුවන්ගෙන් වෙන් කරන්න මම ඒවාට ඉඩ දෙන්නේ නැහැ.”

[පාදසටහන]

^ 4 ඡේ. සමහර නම් වෙනස් කර ඇත.

[25වන පිටුවේ කොටුව/පින්තූර]

යෞවනයන් පවසන දේ

“‘ඔයා ඔය ෆෝන් එක අතේ අලවාගත්තා නම් මීට වඩා හොඳයි’ කියලා අම්මයි තාත්තයි මට නිතරම කිව්වා. ඒක විහිළුවක් කියලා හිතුවත් පස්සේ මට තේරුණා ඒක විහිළුවක් නෙවෙයි කියලා. ඒ නිසා මම SMS යවන එක හුඟක් අඩු කළා. දැන් මම ඉස්සරටත් වඩා සතුටින් ඉන්නවා.”

“හැම වෙලාවෙම මට ඕනේ වුණේ අන්තර්ජාලයට ගිහින් මට එවලා තියෙන පණිවිඩ බලන්නයි. ඒකෙන් මගේ පාඩම් වැඩ අතපසු වුණා වගේම මනසටත් ලොකු බරක්. මම ඒක අඩු කළ නිසා දැන් මට කරදර වෙන්න දෙයක් නැහැ. සමබර වීම හරිම වැදගත්.”

[පින්තූර]

ජොවානි

මාරියා

[26වන පිටුවේ කොටුව]

“මමත් වහල් වුණා”

“අවුරුදු කිහිපයකට කලින් අපි පදිංචිය මාරු කළා. ඊටපස්සේ මට මගේ යාළුවන් එක්ක ආශ්‍රය කරන්න තිබුණේ අන්තර්ජාලය විතරයි. මම කතා කරන්නේ අඳුරන අයත් එක්ක විතරක් නිසා ඒක මට ප්‍රශ්නයක් වෙයි කියලා මම හිතුවේ නැහැ.

“මුලදී නම් කිසි ප්‍රශ්නයක් තිබුණේ නැහැ. මම සතියකට සැරයක් අන්තර්ජාලයෙන් මගේ යාළුවන්ගේ පින්තූර බලනවා, ඒ අය එවන පණිවිඩවලට පිළිතුරු යවනවා. පස්සේ මම මගේ කාලයෙන් වැඩිහරියක්ම ගත කළේ අන්තර්ජාලයේ. ඒ නිසා ටිකෙන් ටික මගේ යාළුවන්ගේ යාළුවන් එක්කත් මම ආශ්‍රය කරන්න පටන්ගත්තා. මේ විදිහට මගේ යාළුවෝ ගණනත් වැඩි වුණා.

“කාලයක් යනකොට මම නිතරම වගේ කල්පනා කළේ ඊළඟට මගේ යාළුවන්ට පණිවිඩ යවන්නෙත්, අලුත් ඡායාරූප ඇතුළත් කරන්නෙත් මොන වෙලාවෙද කියලයි. පින්තූරයක් දෙකක් ඇතුළත් කරන්න කියලා වාඩි වුණත් අන්තිමට දන්නෙම නැතුව මම ඒ වෙනුවෙන් පැය ගාණක් වැය කරලා.

“මේ විදිහට අවුරුදු එකහමාරක් විතර ගත වුණාට පස්සෙයි මට තේරුණේ මම ඇබ්බැහි වෙලා කියලා. දැන් මම අන්තර්ජාලය පාවිච්චි කරන එක හුඟක් සීමා කරලා තියෙනවා. ඒ වගේම මම දැන් ආශ්‍රය කරන්න තෝරගෙන ඉන්නේ මගේ ප්‍රතිපත්තිවලට ගරු කරන අයවයි. ඒ අයව ආශ්‍රය කරන්න මට අන්තර්ජාලය අවශ්‍ය නැහැ.”—18 හැවිරිදි එලන්.

[26වන පිටුවේ කොටුව]

දෙමාපියන්ගෙන් අසන්න

විනෝද වීමට යොදාගන්නා දේවල් ගැන ඔබේ දෙමාපියන් සමඟ කතා කරන්න. ඒ ගැන එක් යෞවනියක් මෙසේ පැවසුවා. “එක සැරයක් මගේ තාත්තා හිතුවා මම අහන CD තැටි නරකයි කියලා. ඒ නිසා මම තාත්තට කිව්වා ‘අපි එකට ඉඳලා ඒක අහමු’ කියලා. තාත්තා ඒකට කැමති වුණා. ඊටපස්සේ ඒකේ කිසිම නරක දෙයක් නැහැ කියලා තාත්තා මට කිව්වා.”

ඉලෙක්ට්‍රොනික උපකරණ ගැන ඔබේ දෙමාපියන්ගෙන් ඇසීමට කැමති ප්‍රශ්නයක් ලියන්න.

[27වන පිටුවේ කොටුව]

දෙමාපියෙනි මේ ඔබටයි

ඔබේ දුව හෝ පුතා ඔබ සමඟ ගත කරන කාලයට වඩා වැඩි කාලයක් ගත කරන්නේ ඉලෙක්ට්‍රොනික උපකරණ සමඟද? එසේනම් ඔබට ඒ සඳහා කළ හැක්කේ කුමක්ද?

ඉක්මන් වී ඒ සියල්ල තහනම් කරන්න එපා. ඒ වගේම ඒ සෑම උපකරණයක්ම නරකයි කියා සිතන්නත් එපා. සමහරවිට ඔබේ දෙමාපියන් භාවිත නොකළ සමහර ඉලෙක්ට්‍රොනික උපකරණ ඔබේ කුඩා කාලයේදී ඔබ භාවිත කරන්න ඇති. ඒ නිසා කල්පනාකාරීව සහ සමබරව ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිත කිරීම සඳහා ඔබේ දරුවන්ව පුහුණු කිරීමට මෙය අවස්ථාවක් කරගන්න. ඔබට එය කළ හැක්කේ කෙසේද?

පළමුවෙන්ම ඔබේ දරුවා සමඟ මේ ගැන කතා කරන්න. ඔබ සිතන ආකාරයට මතු විය හැකි ගැටලු ගැන ඔවුන්ට පවසන්න. දෙවෙනුව, දරුවන් පවසන දේට හොඳින් සවන් දෙන්න. (හිතෝපදේශ 18:13) තුන්වෙනුව, ප්‍රායෝගික යෝජනාවන් ගැන සාකච්ඡා කරන්න. ඉන්පසුව සාධාරණ සීමාවන් පනවන්න. (ෆිලිප්පි 4:5) ඒ සම්බන්ධයෙන් යෞවනියක් වන එලන් මෙසේ පැවසුවා. “මම ඉස්සර හුඟක් SMS යවනවා. ඒ වුණාට මගේ අම්මයි තාත්තයි මගේ ෆෝන් එක ගත්තේ නැහැ. ඒ වෙනුවට මට යම් මඟ පෙන්වීම් දුන්නා. අම්මයි තාත්තයි එහෙම කළ නිසා ඒගොල්ලන් නැති වෙලාවට වුණත් සීමාවක් ඇතුව SMS යවන්න මට ඒක උදව් වුණා.”

ඔබේ දුව හෝ පුතා එම යෝජනාවලට එකඟ වන්නේ නැත්නම් ඔවුන් ඔබගේ මඟ පෙන්වීම් ප්‍රතික්ෂේප කරනවා කියා සිතන්න එපා. ඒ වෙනුවට ඒ ගැන හොඳින් කල්පනා කිරීමට ඔවුන්ට අවශ්‍ය කාලය දෙන්න. බොහෝවිට ඔවුන් ඔබේ මඟ පෙන්වීම පිළිගෙන අවශ්‍ය වෙනස්කම් කිරීමට ඉඩ තිබෙනවා. හේලි නම් යෞවනිය පවසන දෙයින් ඔබට එය පැහැදිලි වෙයි. “මම ඕනෑවට වඩා පරිගණකය පාවිච්චි කරනවා කියලා මගේ දෙමාපියන් කියනකොට මම මුලින්ම ඒක පිළිගත්තේ නැහැ. නමුත් ඊටපස්සේ මමත් ඒ ගැන කල්පනා කරනකොට මටම තේරුණා අම්මයි තාත්තයි කිව්වේ ඇත්ත කියලා.”

[27වන පිටුවේ පින්තූරය]

ඉලෙක්ට්‍රොනික් උපකරණ ඔබව වහලෙක් කරගෙනද?