Skip to content

පටුනට යන්න

හිසට වධ දෙන ඉරුවාරදය

හිසට වධ දෙන ඉරුවාරදය

හිසට වධ දෙන ඉරුවාරදය

ජොයිස් ඉතා ක්‍රියාශීලී සේවිකාවක්. දිනක් ඇය කාර්යාලයේ ලිපි ලේඛන දෙස බලමින් සිටින විට ඒවා බොඳ වී පෙනෙන්න පටන්ගත්තා. ඒත් එක්කම ඇගේ දෑස් ඉදිරියේ නළියන රේඛා බොහොමයක්ද කලාමැදිරි එළි වැනි කුඩා ආලෝකයන්ද දිස් වුණා. මොහොතකින් ඇයට සියල්ල නොපෙනී ගියා. සිදු වන්නේ කුමක්ද කියා තේරුම්ගත් ජොයිස්, විගස බෙහෙත් පෙත්තක් ගත්තා.

ජොයිස් පීඩා විඳින්නේ ඉරුවාරදය හෙවත් මිග්‍රේන් ලෙස හඳුන්වන රෝගයෙනුයි. එය සාමාන්‍ය හිසරදයට වඩා හුඟක් වෙනස්. එය කොතරම් වේදනාකාරී දෙයක්ද කියනවා නම් ඒ නිසා කෙනෙකුගේ එදිනෙදා වැඩකටයුතු පවා ඇණහිටින්න පුළුවන්.

සමහරවිට එම වේදනාව හිසේ එක් පැත්තකට පමණක් බලපෑ හැකියි. ඒ වගේම වමනේ ගතියක් ඇති විය හැකි අතර ආලෝකය දෙස බැලීමද අපහසු විය හැකියි. හිසරදය පැය කිහිපයක් හෝ දින කිහිපයක් පුරා පැවතීමට ඉඩ තිබෙනවා.

සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙකුට හිසරදය ඇති වෙනවා. නමුත් ඉරුවාරදය ඇති වන්නේ දහදෙනෙකුගෙන් එක් අයෙකුට පමණයි. එය වැඩිපුරම බලපාන්නේ කාන්තාවන්ටයි. ඉරුවාරදයෙන් පීඩා විඳින සමහර අයට දින කිහිපයක් පුරා තම රැකියාවල නිරත වීමට පවා බැරි වෙන අතර ඔවුන්ගේ පවුල් ජීවිතය හා සාමාන්‍ය වැඩකටයුතු පවා අඩාළ වෙනවා. මෙම රෝගී තත්වය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් වර්ග කර තිබෙන්නේ සාමාන්‍ය ජීවිතයට බාධා ඇති කරන ප්‍රධාන රෝග 20 අතරටයි.

ඉරුවාරදය ඇති වීමට පෙර සමහර අයට අත් සීතල වීම, තෙහෙට්ටුව, කුසගින්න හෝ නුරුස්සන ගතිය ඇති වෙනවා. එමෙන්ම කරකැවිල්ල, හිරි වැටුණු ගතිය, එක දෙක වී පෙනීම, ගොතගැසීම වැනි ලක්ෂණද මතු විය හැකියි. ඊට අමතරව තවත් සමහර අයට කන ඇතුළෙන් හීන් ශබ්දයක් ඇසීම හා පණ නැති ගතියක් ඇති වීමටත් ඉඩ තිබෙනවා.

ඉරුවාරදය ඇති වීමට බලපාන හේතු මොනවාද කියා නිශ්චිතවම සොයාගෙන නැහැ. නමුත් එය සැලකෙන්නේ රුධිරවාහිනිවලට බලපාන ස්නායු පද්ධතියේ ආබාධයක් ලෙසයි. එසේ බලපෑමට ලක් වූ රුධිරවාහිනී තුළින් රුධිරය ගමන් කරන විට හිසේ තද වේදනාවක් ඇති වෙනවා. එක් වෛද්‍ය සඟරාවක මෙසේ සඳහන් වුණා. “මිග්‍රේන් ඇති වන අයට තිබෙන්නේ ඉතා සංවේදී ස්නායු පද්ධතියක්. ඒ නිසා සුව නින්දක් නොලැබීම, සැර සුවඳවල් දැනීම, ගමන් බිමන් යෑම, ආහාර වේල් අතපසු කිරීම, මානසික පීඩනය සහ හෝමෝන මට්ටම වෙනස් වීම ස්නායු පද්ධතියට බලපානවා.” ඉරුවාරදයෙන් පීඩා විඳින අයට ඉරිටබල් බවල් සින්ඩ්‍රම් හෙවත් බඩවැල්වල නිතර ඇති වන අපහසුතාව, කාංසාව හා මානසික අවපීඩනය වැනි රෝගී තත්වයන්ද ඇති වීමට වැඩි ප්‍රවණතාවක් තිබෙනවා.—එම සඟරාව Emergency Medicine.

පාලනය කළ හැකිද?

ඔබේ ස්නායු පද්ධතිය වෙනස් කිරීමට බැරි බව සත්‍යයක්. නමුත් ඉරුවාරදය ඇති වීම පාලනය කිරීමට යම් දේවල් කළ හැකියි. උදාහරණයකට, සමහර අය තමන් දිනපතා ආහාරයට ගත් දේවල් හා මුහුණ දුන් තත්වයන් පොතක සටහන් කර තමන්ට මෙය සෑදුණේ මොන අවස්ථාවේද කියා සොයා බලනවා. ඉන්පසු ඒ අනුව ඔවුන් ඊට බලපෑ හේතු අවම කරගැනීමට උත්සාහ කරනවා.

ඉරුවාරදය ඇති වීමට එක් එක් අයට බලපාන හේතු වෙනස්. උදාහරණයකට ලොරෙන්ට එය ඇති වන්නේ ඔසප් වීමට සති දෙකකට කලිනුයි. ඒ ගැන ඇය මෙසේ පවසනවා. “ඒ කාලෙදී මම වැඩියෙන් මහන්සි වුණොත් අව්වේ හිටියොත් සීතල වැඩි වුණොත් ටිකක් සද්දේ තිබුණොත් නැත්නම් සැර කෑම කෑවොත් මට මිග්‍රේන් හැදෙනවා. ඒ නිසා ඒ දවස්වලට මම හුඟක් පරෙස්සම් වෙනවා.” ඉහත සඳහන් කළ ජොයිස් අවුරුදු 60කටත් අධික කාලයක් පුරා ඉරුවාරදයෙන් පීඩා විඳිනවා. ඇය මෙසේ පවසනවා. “මට දොඩම්, අන්නාසි වගේ පලතුරු කන්න බැහැ. රතු වයින් බොන්නත් බැහැ. ඒවා කාපු බීපු ගමන්ම මට මිග්‍රේන් හැදෙනවා. ඒ නිසා මම ඒ දේවල් කන්නේ බොන්නේ නැහැ.”

සමහර අවස්ථාවලදී ඉරුවාරදය ඇති වීමට පැහැදිලි හේතුවක් හඳුනාගැනීම අමාරු විය හැකියි. උදාහරණයකට එක දවසක ඔබ චොකලට් කෑ විට ඔබට කිසිම අපහසුතාවක් නොදැනුණත් තවත් දවසක ඔබ එය කෑ විට ඔබට ඉරුවාරදය ඇති විය හැකියි. ඊට හේතුව එදිනම ඉරුවාරදයට දායක වන තවත් ආහාරයක් අනුභව කිරීම හෝ පීඩාකාරී තත්වයකට මුහුණ දීම විය හැකියි.

ඉරුවාරදයෙන් පීඩා විඳින ඕනෑම කෙනෙකුට එය අවම කරගැනීමට පහත සඳහන් ක්‍රම උපකාරවත් වන බව විශේෂඥයන් පවසනවා. දිනපතාම එකම වේලාවකට නිදාගැනීමට සහ අවදි වීමට පුරුදු වෙන්න. සති අන්තයේ වැඩිපුර නිදාගැනීමට කැමති නම් වෙනදා අවදි වන වේලාවටම අවදි වී විනාඩි කිහිපයකට යම් වැඩක් කර පසුව නැවත නිදාගන්න. කැෆේන් අඩංගු බීම වර්ග, ඉරුවාරදය ඇති වීමට දායක විය හැකි නිසා දිනකට කෝපි කෝප්ප දෙකකට හෝ කෝලා බීම දෙකකට සීමා වෙන්න. ඒ වගේම නිසි වේලාවට ආහාර ගන්න. බොහෝවිට අධික පීඩනයත් ඉරුවාරදය ඇති වීමට හේතු වෙනවා. නමුත් එය අඩු කරගත හැකියි. ඒ සඳහා යම් විවේකයක් ගැනීමට හැකි වෙන ලෙස ඔබේ කාලසටහන සකස් කරගන්න. ඒ වගේම බයිබලය කියවීම, මිහිරි සංගීතයට සවන් දීම වැනි ක්‍රියාකාරකම්වලින්ද ඔබට යම් සහනයක් ලබාගත හැකියි.

ප්‍රතිකාර තිබෙනවාද?

නිදාගැනීම හොඳම ප්‍රතිකාරයයි. ඒ වගේම වේදනා නාශක පෙතිවලින්ද යම් සහනයක් ලබා ගත හැකියි. *

වර්ෂ 1993දී ට්‍රිප්ටේන් නමැති ඖෂධයක් හඳුන්වා දුන්නා. ඕස්ට්‍රේලියාවේ එක් වෛද්‍ය සඟරාවක මෙසේ සඳහන් වුණා. “මෙම නව ඖෂධය මිග්‍රේන් සඳහා තිබෙන හොඳම ඖෂධයයි. බැක්ටීරියා ආසාදනවලට පෙනිසිලින් සාර්ථක වුණා හා සමානව මිග්‍රේන් ගණයට අයත් හිසරදවලට ට්‍රිප්ටේන් ප්‍රබල ඖෂධයක්.”—The Medical Journal of Australia.

ඉරුවාරදය මාරාන්තික රෝගයක් නොවෙයි. නමුත් ඉන් පීඩා විඳින අයෙකුට නම් එය මාරාන්තික රෝගයකටවත් වඩා වේදනාකාරී විය හැකියි. ට්‍රිප්ටේන් නමැති ඖෂධය දිව්‍ය ඖෂධයක් කියා සමහර අය පවසන්නේ එම දරුණු වේදනාවෙන් සහනයක් ලබා දෙන නිසයි. එසේවුවත් එම රෝගීන් කලින් සඳහන් කළ ලෙස ඉරුවාරදයට හේතු වන අනික් දේවලින්ද වැළකී සිටිය යුතුයි.

ඕනෑම ඖෂධයක් සියයට සියයක්ම සාර්ථකයි කියා කියන්න බැහැ. ඒ නිසා මෙම ඖෂධයෙන් සෑම කෙනෙකුටම සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. උදාහරණයකට සමහර සෞඛ්‍ය ගැටලු තිබෙන අයට මෙම ඖෂධය භාවිත කිරීම අනතුරුදායකයි. ඊට අමතරව ට්‍රිප්ටේන් නමැති ඖෂධයේ මිලද ඉතාමත් අධිකයි. සාමාන්‍යයෙන් මෙම ඖෂධය නිර්දේශ කරන්නේ දරුණු ලෙස ඉරුවාරදයෙන් පීඩා විඳින අයටයි. ඉරුවාරදය නිට්ටාවට සුව කිරීමට බැරි වුණත් “තිබෙන ඖෂධ නිසා එයින් පීඩා විඳින අයට වේදනාවෙන් තවත් දුක් විඳීමට අවශ්‍ය නැහැ” කියා වෛද්‍ය සඟරාවක සඳහන් වුණා.—Emergency Medicine.

[පාදසටහන]

^ 14 ඡේ. පිබිදෙව්! සඟරාව යම් විශේෂිත ප්‍රතිකාර ක්‍රමයක් නිර්දේශ කරන්නේ නැහැ. තමන් තෝරාගත යුත්තේ කුමන ප්‍රතිකාරයද කියා තීරණය කිරීම එක් එක් කෙනා සතු වගකීමක්.

[23වන පිටුවේ පින්තූරය]

දිනපතා ගන්නා ආහාර හා මුහුණ දුන් තත්වයන් සටහන් කරගැනීම, ඉරුවාරදය මඟ හරවාගැනීමට සමහර අයට ප්‍රයෝජනවත් වී තිබෙනවා

[23වන පිටුවේ පින්තූරය]

මිහිරි සංගීතයට සවන් දීමෙන් මානසික පීඩනය අඩු කරගත හැකියි

[23වන පිටුවේ පින්තූරය]

ඉරුවාරදය පරම්පරාවෙන් එන රෝගයක්. ඖෂධ ගැනීමෙන් යම් සහනයක් ලැබිය හැකියි