Skip to content

පටුනට යන්න

විලෝ ගස් ලොකු පවුලක්, වර්ග රැසක්

විලෝ ගස් ලොකු පවුලක්, වර්ග රැසක්

විලෝ ගස් ලොකු පවුලක්, වර්ග රැසක්

චෙක් ජනරජයේ පිබිදෙව්! ලේඛක විසින්

බැලූ බැල්මට හාත්පසින්ම වෙනස් ගස් වර්ග දෙකක් වගෙයි පේන්නේ. මේවා එකක් හීනියි උසයි. අනික මිටියි, මුදුනෙන් පහතට නැමිලා. එකක් නළා ගසයි. අනික වීපිං විලෝ * ගසයි. ඒත් මේ දෙවර්ගයම අයිති විලෝ පවුලටයි.

විලෝ ගස් නිතර දක්නට ලැබෙන්නේ ගංඉවුරු හා දොළ පාරවල් අසලයි. චෙච් ජනරජයේ වගුරු බිම්වල ඒවා සරුවට වැඩෙයි. පැළ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නේ පුංචි අංකුරවලින්. මීටර් 30කටත් වඩා උසකට වැඩෙන සමහර ගස්වල කොළ පොල් කොළ මෙන් හීනියි, දිගයි. ඒ හින්දා මේ දිග කොළ පොළොවට ආචාර කරන්නාක් මෙන් නැවී තිබෙනවා. නමුත් ෂයිනිං විලෝ සහ පුසි විලෝ ගහේ කොළ කොස් කොළ හැඩයේ තරමක් පළල කොළයි.

විලෝ හා නළා ගස් පවුලේ විශේෂ 350කට වඩා තිබුණත් විශේෂයෙන්ම වීපිං විලෝ ගස දෙස බලන කාහටත් යළි එදෙස බැලීමට සිතෙයි. තවත් විලෝ වර්ගයක් එනම් ගෝට් විලෝ ගස ජනප්‍රිය වී තිබෙන්නේ එහි හැදෙන මල් නිසයි. ඒවා වූල් බෝල වගෙයි පේන්නේ. මල් පොකුරු පිටින් හැදෙන්නේ කොළ හටගන්නත් කලින් නිසා ඒවා එද්දිම එයින් ඇඟවෙන්නේ සරත් ඍතුව අත ළඟ බවයි.

එහි නෑදෑයෙක්

චෙච් ජනරජයේ බොහිමියාවෙහි නළා ගස් සුලබ දසුනක්. අඩුම තරමින් නළා ගස් විශේෂ 35ක්වත් එහි ඇති අතර ඒ සියල්ල විලෝ පවුලට අයිතියි. වැඩිපුර දක්නට ලැබෙන බ්ලැක් පොප්ලා නම් නළා ගස් බොහෝවිට තිබෙන්නේ බොහිමියාවේ තෙත් වනාන්තරවල හා දොළ පාරවල් අසළයි. එක් විශේෂයක් නම් ලොම්බාර්ඩි පොප්ලා නළා ගසයි. හීනි කඳක් ඇති එහි අතු කඳ ළඟින්ම වාගේ ඉහළට එස වී තිබෙනවා. මෙම මනහර ගස තට්ටු 11කින් සමන්විත ගොඩනැඟිල්ලක උසකට එනම් මීටර් 35ක උසකට වුවත් වැඩෙනවා. එමෙන්ම අලංකාර දර්ශනයක් මවමින් මේවා මඟ දෙපස සරසන ආකාරයත් දැකගත හැකියි. විශේෂයෙන්ම මේ මනරම් දසුන දක්නට ලැබෙන්නේ කොළ දීප්තිමත් කහ පැහැයක් ගන්නා සරත් ඍතුවේදීයි.

තවත් නළා ගස් වර්ගයක් තමයි ඇස්පෙන් ගස්. මේවා එතරම් උසට වැඩෙන්නේ නැහැ. මෙහි විශේෂ ලක්ෂණය වෙන්නේ පුංචි සුළං පාරකට වුණත් එහි කොළ සලිත වීමයි. එවිට රිද්මයකට කොළ සෙලවෙන්නේ නැටුමක් රඟන්නා සේයි.

බයිබලයෙත් සඳහන් වෙයි

මැද පෙරදිගත් නළා ගස් වැවෙන බව ඔබ දැන සිටියාද? ඊශ්‍රායෙල් සෙනඟ බබිලෝනියේ වහල්භාවයේ සිටිද්දී ඔවුන්ගේ වීණාවන් නළා ගස්වල එල්ලූ බව බයිබලයේ සඳහන් වෙනවා. (ගීතාවලිය 137:2) ඔවුන් එහෙම කළේ ඇයි? වීණා වැයුවේ දෙවිට ප්‍රශංසා කරන්න වුණත් මේ දුක්ඛිත කාල පරිච්ඡේදයේදී ඔවුන්ට ඒවා වැයීමට තරම් ප්‍රීතියක් තිබුණේ නැති නිසයි. (යෙසායා 24:8, 9) කූඩාරම් මංගල්‍යවලදී කූඩාරම් සෑදීමට මේ ගසේ අතු පාවිච්චි කරන්න අනුමැතිය ලැබී තිබෙන බව දෙවිගේ වචනයෙන් පැහැදිලි වෙනවා. (ලෙවී කතාව 23:40) නිර්භීත හිපපොටේමස් (බෙහෙමොත්) දොළ පාරවල වෙසෙන අතර “දොළේ නළා ගස් ඌ වට කර තිබේ” කියා බයිබලයේ යෝබ් පොතේ විස්තර කරනවා.—යෝබ් 40:22.

අද දින විවිධ භාණ්ඩ සෑදීමටත් මෙම නළා ගස් හා විලෝ ගස් යන දෙවර්ගයම යොදාගන්නවා. ඒවායින් ෆෝර්මිකා, තුනී ලෑලි, ලී සහ කාඩ්බෝඩ් පෙට්ටි මෙන්ම නොයෙකුත් කඩදාසි වර්ග නිපදවා මහත් ලාභයක් උපයනවා. හොඳින් නැමෙන ළපටි අතුවලින් අලංකාර කූඩ සහ ගෘහභාණ්ඩ නිපදවිය හැකි නිසා විලෝ ගසේ වටිනාකම තවත් වැඩි වෙනවා. ඇත්තෙන්ම විලෝ පවුල ලොකු පවුලක්!

[පාදසටහන]

^ 3 ඡේ. මෙම විලෝ වර්ගවලට සිංහල නම් නැහැ.

[10වන පිටුවේ පින්තූරය]

වීපිං විලෝ ගස

[10වන පිටුවේ පින්තූරය]

ඇස්පෙන් කොළ

[10වන පිටුවේ පින්තූරය]

ලොම්බාර්ඩි නළා ගස්

[10වන පිටුවේ පින්තූරය]

ගෝට් විලෝ ගස

[10වන පිටුවේ පින්තූරය]

බ්ලැක් පොප්ලා නළා ගස්