Skip to content

පටුනට යන්න

දස දෙසින්

දස දෙසින්

දස දෙසින්

“දවස පුරා TV බැලීම, පවුලක් වශයෙන් එකට කෑම වේලක්වත් නොගැනීම වැනි දේවල්” නිසා දරුවන් හා දෙමාපියන් අතර අදහස් හුවමාරුව ඇණහිටලා. එහි ප්‍රතිඵලයක් හැටියට දරුවන් පාසැල් යන අවස්ථාව වෙද්දී අවශ්‍ය දේවල් කියාගන්න බැරි වුණාම ඔවුන් “කේන්තියෙන් පුපුරනවා.”—බ්‍රිතාන්‍යයේ THE INDEPENDENT.

ස්පාඤ්ඤයේ උපදින දරුවන්ගෙන් සියයට 23ක්ම උපදින්නේ අවිවාහක යුවළයන්ටයි. ප්‍රංශයේ මෙය සියයට 43ක්ද, ඩෙන්මාර්කයේ සියයට 45ක්ද, ස්වීඩනයේ සියයට 55ක් ලෙසද එක් වාර්තාවක සඳහන් වෙනවා.—ස්පාඤ්ඤයේ INSTITUTO DE POLÍTICA FAMILIAR.

බ්‍රිතාන්‍යයේ වැසියන්ගෙන් තුනෙන් එකක්ම රාත්‍රියේදී නිදාගන්නේ පැය පහකටත් වඩා අඩුවෙන්. මේ නිසා “අවධානය දීමේ හැකියාව හා මතක ශක්තිය අඩුවීම මෙන්ම නුරුස්නා ගතියක් ඇතිවීම” වැනි දේ සිදු විය හැකියි. අවශ්‍ය තරම් නින්දක් නොලැබීමෙන් “තරබාරු වීම, දියවැඩියාව, මානසික අවපීඩනය, දික්කසාදය හා රිය අනතුරුවලට ලක්වීමට ඇති ප්‍රවණතාව වැඩි වෙයි.”—බ්‍රිතාන්‍යයේ THE INDEPENDENT.

“විනෝදයට” සැහැසියාව

“අහිංසක මිනිසුන්ට යෞවනයන් නිකරුණේ පහර දී ඒ සිද්ධිය ඔවුන්ගේ ජංගම දුරකථනයෙන් රූපගත කරගන්න බව” ස්පාඤ්ඤයේ එක් පුවත්පතක වාර්තා වුණා. (එම පුවත්පත El País) ඔවුන්ගේ ක්‍රියාවන් කොතරම් සැහැසිද කියනවා නම් පහර කන සමහර අයව සුව කරන්නත් බැහැ. යෞවන අය මේ විදිහට හැසිරෙන්නේ ඇයි? “හොරකම නිසා, ජාති භේද නිසා, ඔවුන් යම් කල්ලියකට අයිති නිසා නෙවෙයි. විනෝදයටයි කරන්නේ” කියා එක් සඟරාවක් පවසනවා. (එම සඟරාව XL) අපරාධ පිළිබඳ විශේෂඥයෙකු හා මනෝ වෛද්‍යවරයෙකු වන වින්සෙන්ටේ ගැරිඩෝ ඒ ගැන පවසන්නේ මෙයයි. “සමහරවිට මේ ළමයි බීලයි ඉන්නේ. සමහර වෙලාවට එහෙමමත් නැහැ. නමුත් ඔවුන් පහර දෙන්නේ කිසිම හිතක් පපුවක් නැතුවයි.”

තවමත් සුවයක් නැද්ද?

පොදුවේ පැතිරෙන රෝගවලට තවමත් සුවයක් නැත්තේ ඇයි? මේ ගැන ස්කොට්ලන්තයේ ඩණ්ඩී විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යාඥයෙක් වන මයිකල් ෆර්ගසන් පවසන්නේ මෙයයි. “කනගාටුවට කාරණයක් තමයි බෙහෙත් නිෂ්පාදකයෝ මේ ලෙඩ රෝගවලට අලුත් ප්‍රතිකාර සොයන්නේ නැති එක.” බෙහෙත් නිෂ්පාදකයන්ට මේ වගේ බෙහෙත්වලින් වැඩි ලාභයක් නොලැබෙන නිසා ඔවුන් කරන්නේ වැඩි ලාභයක් ලැබෙන ඇල්ෂයිමර් රෝගය, තරබාරු වීම, පුරුෂ ශක්තිය හීනවීම වැනි රෝගවලට ප්‍රතිකාර සෙවීමයි. නිව් සයන්ටිස්ට් සඟරාව මෙසේ පවසනවා. “මේ අතරතුරේදී සාර්ථක ප්‍රතිකාරයක් නැති නිසා වසරකට මිලියනයක් පමණ සංඛ්‍යාවක් මැලේරියාවෙන් මිය යනවා.”

කුඩා “පාරිභෝගිකයන්”

ඉතාලියේ ලා සැපියෙන්සා විශ්වවිද්‍යාලය පෙන්නුම් කරන්නේ වයස අවුරුදු තුනේදීම දරුවන්ට විවිධ වෙළඳ ලාංඡන හඳුනාගත හැකි බවයි. ඔවුන් වයස අවුරුදු අට වෙද්දී නියම “පාරිභෝගිකයන්” වෙනවා. රූපවාහිනි වෙළඳ දැන්වීම් ඔවුන්ට කොතරම් විශාල බලපෑමක් කර තිබෙනවාද කියනවා නම් ඔවුන් සමහර නිෂ්පාදන ඔවුන්ට අවශ්‍යමයි කියා දෙමාපියන්ට කරදර කරනවා. “මෙහි තිබෙන භයානකකම නම් මේ දරුවන්ගේ මනස් විකෘති වීමයි. ඔවුන් හිතන්නේ වෙළඳ දැන්වීමකින් යමක් දැක්කොත් ඒක ගන්න ඕනෙමයි කියලා” යයි එක් පුවත්පතක වාර්තා කරයි.—එම පුවත්පත La Repubblica.

“ගැබිනි” රොබෝවරයෙක්

මෑතක් වන තුරු ප්‍රසූතිකාගාරවල සේවයේ නියැලෙන වෛද්‍යවරුන් හා හෙදියන් පුහුණුව ලැබුවේ සැබෑ දරු ප්‍රසූතියක් සිදු වන අවස්ථාවේදීයි. නමුත් දැන් ඒ පුහුණුව ලැබීමට කෘත්‍රිම දෙයක් නිර්මාණය කර තිබෙනවා. ඒ ගැන එක් වාර්තාවක සඳහන් කර තිබුණේ “දරුවෙකු ප්‍රසූත කරන රොබෝවරයෙක් නිර්මාණය කර තිබෙනවා” කියලයි. එය නම් කර ඇත්තේ නොයෙල් ලෙසයි. පුහුණුවීම් කටයුතුවලදී මේ රොබෝවරයාව දැන් වැඩි වැඩියෙන් භාවිත කරනවා. අලුත පුහුණුව ලබන අයට මේ රොබෝවරයා නිසා, දරු ප්‍රසූතියේදී සිදු වන සෑම ක්‍රියාවක් හා ඕනෑම ගැටලුවක් සමඟ සාර්ථකව කටයුතු කරන ආකාරය ගැන පුහුණුවක් ලබන්න පුළුවන්. නොයෙල්ට ලැබෙන “දරුවා” කිසිම කරදරයක් නැතුව හම්බ වුණා නම් ලස්සනට රෝස පාටට ඉපදෙයි. ඔක්සිජන් හීනවීමක් හෝ වෙනත් ගැටලුවක් ඇති වුණොත් දරුවා නිල් පාටට ඉපදෙයි. මේ වගේ රොබෝවරයෙක් භාවිත කරන්නේ ඇයි? “මවට හෝ දරුවාට හානියක් වෙනවාට වඩා රොබෝවරයා ඩොලර් 20,000ක් (රුපියල් 20,00,000ක්) දී ගත්තත් කමක් නැහැ. මොකද පුහුණු වන අයගෙන් යම් වරදක් සිදු වුණත් මේක යන්ත්‍රයක් විතරයි” කියා එම වාර්තාව තවදුරටත් පවසයි.