Skip to content

පටුනට යන්න

නිසොල්මනේ සිටින යෝධ රකුසෙක්

නිසොල්මනේ සිටින යෝධ රකුසෙක්

නිසොල්මනේ සිටින යෝධ රකුසෙක්

ගිනිකන්දක් පුපුරන්නේ කොයි මොහොතේද කියා කිව නොහැකියි. සියවස් ගණනක් නිසොල්මනේ සිට එක පාරටම පුපුරා යයි. ඒ මොහොතේ මැවෙන්නේ අලංකාර දසුනක් වුණත් එය විනාශකාරීයි. විනාඩි කිහිපයකින් මුළු පළාතක්ම අළු බවට පත් කර ජීවිත ගණනාවක් බිලිගන්නා රකුසෙකි එය.

ගිනිකඳු අනතුරුදායකද නැද්ද කියා කෙනෙකුට දෙවරක් හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පසුගිය සියවස් තුන පුරාවටම ඒවා සිය දහස් ගණනකගේ ජීවිත බිලිගෙන තිබෙනවා. මේ යෝධ රකුසන් සිටින අහළ පහළක අපෙන් වැඩිදෙනෙක් ජීවත් නොවන බව ඇත්තයි. නමුත් ලෝවැසියන්ගෙන් මිලියන ගණන්දෙනෙක් තවමත් වෙසෙන්නේ ක්‍රියාකාරී ගිනිකඳු ආශ්‍රිතවයි. උදාහරණයකට ඉක්වදෝරයේ අගනුවර වන කුයිටෝ නගරයට නුදුරින්මයි පිචින්චා ගිනිකන්ද පිහිටා තිබෙන්නේ. එමෙන්ම ඇස්ටෙක් භාෂාවෙන් “දුම් නඟින කන්ද” යන අර්ථය ඇති පොපකැටපැට්ල් කන්ද තිබෙන්නේ මෙක්සිකෝ නගරයෙන් කිලෝමීටර් 60ක පමණ දුරකින්. නවසීලන්තයේ ඕක්ලන්ඩ් සහ ඉතාලියේ නේපල්ස් නගර පිහිටා තිබෙන්නේ ගිනිකඳුවල නැත්නම් ඒවා පාමුලයි. මේ අනුව බලන කල, මිලියන සංඛ්‍යාත ජනකායක් ජීවත් වෙන්නේ නිදාගෙන සිටින රෞද්‍ර රකුසෙකු අසලයි. කොයි මොහොතේ හෝ මේ රකුසා බිහිසුණු හඬක් නඟමින් අවදි වීමට ඉඩ තිබෙනවා.

භයානක ගිනිකන්දක්

නේපල්ස්හි ජනයා වසර 3,000ක් පුරා විසූවියස් කන්ද අසල ජීවත් වී තිබෙනවා. එය පිහිටා තිබෙන්නේ නේපල්ස්වලින් කිලෝමීටර් 11ක දුරකින්. එය ලොව පුරා ඇති අතිභයානක ගිනිකඳුවලින් එකක්. එහි පහළ කොටස මුහුදෙන් වැසී තිබෙන නිසා අප දකින්නේ එයින් කොටසක් පමණයි.

ක්‍රිස්තු වර්ෂ 79දී පොම්පෙයි සහ හර්කියුලේනියම් යන නගර සහමුලින්ම විනාශ කර දැමීමත් සමඟම විසූවියස් ගිනිකන්ද ලොව පුරා ප්‍රසිද්ධ වුණා. එවක් පටන් 50ස් වතාවකට වැඩි වාර ගණනක් එය පුපුරා ගොස් තිබෙනවා. ඉන්පසු 1631දී එය බිහිසුණු ලෙස පුපුරා ගියේ 4,000කගේ පමණ ජීවිත බිලිගනිමින්. එදා විසූවියස් කඳු බෑවුම දිගේ ලාවා ගලා ගියා. “ලාවා” යන වචනය භාවිතයට පැමිණියේ එදා සිටයි. ලතින් භාෂාවෙන් ලාබි යන වචනයෙහි අර්ථය “ගලා යෑමයි.”

සියවස් ගණනාවක් පුරා විසූවියස් ගිනිකඳු රකුසා අඩ නින්දෙයි පසු වුණේ. දෙවන ලෝක මහා යුධ සමය අතරතුර 1944දී යළිත් එය පුපුරා ගියේ යුධ වැදී සිටි සොල්දාදුවන්ව විමතියට පත් කරවමිනුයි. අළු වරුසාවලින් ඔවුන්ව නැහැවී ගියා. ඒ වගේම මාසා හා සැන් සෙබාස්තියානෝ නගර දෙක මෙන්ම ප්‍රසිද්ධ දුම්රිය මාර්ගයත් යට වී ගියා. ඒ දුම්රිය මාර්ගය ගැන ජනප්‍රිය ඉතාලි ගැමි ගීයකුත් රචනා කර තිබෙනවා.

අද දින නේපල්ස්හි වෙසෙන ජනයා ජීවත් වන්නේ දරුණු අනතුර අමතක වෙලා වගෙයි. එමෙන්ම සංචාරකයන්ද ඓතිහාසික වටිනාකමක් ඇති පුරා වස්තු හා අලංකාර ගොඩනැඟිලි දැකීමෙන් විස්මයට පත් වෙනවා. සාප්පු හා අවන්හල් සෙනඟගෙනුත්, නේපල්ස්හි වරාය බෝට්ටුවලිනුත් පිරිලා. දිගින් දිගටම ජනයා ඇදී එන අලංකාර ස්ථානයක් වන විසූවියස් කන්ද දැනට රෞද්‍ර රකුසෙකු නොව අගනා මිත්‍රයෙකු ලෙස සැලකෙනවා.

ඕක්ලන්ඩ් ගිනිකඳුවලින් පිරි නගරයක්

නවසීලන්තයේ වරායක් සහිත ඕක්ලන්ඩ් නගරය ගිනිකඳුවලින් ගහනයි. ඇත්තෙන්ම කියනවා නම් කුඩා ගිනිකඳු 48ක් අතරෙයි එහි සිටින මිලියනයකට වැඩි ජනතාවක් වෙසෙන්නේ. ඉපැරණි ගිනිකඳු දෙකක් පිපිරුණු ස්ථාන දැන් වරායන් දෙකක් වී තිබෙනවා. ඊට අමතරව තවත් ඉපැරණි ගිනිකඳු පුපුරා යෑමෙන් ඉතුරු වී තිබෙන්නේ කුඩා දිවයින් පමණයි. පැහැදිලිව පෙනෙන්න තිබෙන රාන්ජිටෝටෝ දිවයිනට දැන් වසර 600යි. එය පෙනෙන්නේ විසූවියස් කන්දෙන්ම බිහි වූ බිලිඳෙකු වගෙයි. එහි උපත ඒ අසල වූ මඕරි ගම්මානයේ විපතයි. අළුවලින් එය මුළුමනින්ම වැළලී ගියා.

ගිනිකඳු තර්ජනයක් වුවත් ඕක්ලන්ඩ්හි ජනයා එයට හුරු වෙලයි ඉන්නේ. ඕක්ලන්ඩ් නගරය මැද පිහිටා තිබෙන මව්න්ගාකීකී නම් ගිනිකන්දේ කොටසක් අද උද්‍යානයක් වී ඇති අතර අනිත් කොටස බැටළු ගොවිපොළක්. තවත් සමහර ගිනිකඳු දැන් විල්, උද්‍යාන හෝ ක්‍රීඩා පිටි බවට පත් වෙලා. එකක් දැන් කනත්තක්. බොහෝදෙනෙක් ගිනිකඳු බෑවුම්වල පදිංචි වන්නේ ඒ අවට පරිසරය සුන්දර දසුනක් මවන නිසයි.

මුලින්ම එහි පදිංචි වුණේ මඕරි ජාතිකයන්. මෑතකදී, එනම් මීට වසර 180කට පෙර යුරෝපීයයන් එහි ගොස් පදිංචි වුණේ ගිනිකඳු පිපිරුණු අතීතය ගැන කිසිදු තැකීමක් නොකරයි. ඔවුන්ගේ අවධානය යොමු වුණේ මුහුද ආසන්න ගොඩබිමේ සරු පසටයි. ලොව පුරා ගිනිකඳු පුපුරා යන අනෙකුත් ස්ථානවල පසත් බොහෝවිට සරුයි. උදාහරණයකට ඉන්දුනීසියාවේ ක්‍රියාකාරි ගිනිකඳු ආශ්‍රිත ප්‍රදේශවල වී වගාවට කදිම සරු පසකුයි තිබෙන්නේ. බටහිර එක්සත් ජනපදයේ භෝග වගාව සඳහා සාරවත්ම පස තිබෙන්නේ ගිනිකඳු ආශ්‍රිතවයි. ගිනිකන්දක් පුපුරා ලාවාවලින් වැසී ගිය ප්‍රදේශයේ පස වසරක් ඇතුළතදී යළිත් සරු වෙයි.

කල් තියා අනතුරු ඇඟවීම්

ගිනිකඳු අසල විසීම අනතුරුදායකයිනේ කියා හුඟදෙනෙකුට හැඟෙන්න පුළුවන්. ඒක ඇත්තයි. එහෙත් දැන් භූමිකම්පා සහ ගිනිකඳු ගැන සෝදිසියෙන් ඉන්න විද්‍යාඥයන්ට හැකියාව තිබෙනවා. ඊට නිදසුනක් වන්නේ, එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂක ආයතනය නේපල්ස් හා ඕක්ලන්ඩ් ගිනිකඳු ඇතුළු ලොව පුරා තිබෙන ක්‍රියාකාරි ගිනිකඳු ගැන විමසිලිමත්ව සිටීමයි. හදිසියකදී කළ යුතු දේ ගැන ඔවුන් දැනුවත්ව සිටිනවා. ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතියෙන් පැය 24 පුරා චන්ද්‍රිකා ඡායාරූප ගැනීම මගින් හා භූමිකම්පා දත්ත එකතු කිරීමේ ජාලය මගින් ලාවාවල හා භූ චලනවල ක්‍රියාකාරිත්වය දැනගැනීමට භූ විද්‍යාඥයන්ට පුළුවන්.

විසූවියස් ගිනිකන්ද යළි පුපුරා යෑමේ අවදානමක් තිබෙන නිසා භූ විද්‍යාඥයන් සැමවිටම සෝදිසියෙන් සිටිනවා. එය 1631දී මෙන් හදිසියෙන් විශාල පිපිරීමකට ලක් වුණොත් ගත යුතු ක්‍රියාමාර්ගය ගැන ඉතාලි බලධාරීන්ද දැනටමත් සැලසුම් යොදා හමාරයි. අනතුරුදායක කලාපයේ වෙසෙන අයට කලින්ම අනතුරු අඟවා පිපිරීමට කලින් එම ප්‍රදේශයෙන් ඔවුන්ව ඉවත් කළ හැකි බවයි ප්‍රවීණයන් පවසන්නේ.

නමුත් ඕක්ලන්ඩ්හි ගිනිකඳුවල තත්වය ඊට වඩා ටිකක් වෙනස්. පුපුරා ගිය ගිනිකන්දක් යළි පුපුරනවා වෙනුවට එහි වෙනත් ස්ථානයක අලුත්ම එකක් පිපිරීමට ඉඩ තිබෙනවා. මෙවැන්නක් සිදුවීමට පෙර දවස් කීපයක් හෝ සති කීපයක් පුරා සුළු සුළු භූමිකම්පා ඇති වන බවයි ප්‍රවීණයන්ගේ විශ්වාසය. එය පූර්ව අනතුරු ඇඟවීමක් වන නිසා එම කලාපයේ වෙසෙන ජනයාට කල් වේලා ඇතුව ආරක්ෂිත ස්ථානවලට යෑමට හැකි වෙයි.

අවදානමට සූදානම්ව සිටීම

පිපිරීමක් සිදුවීමට කලින් අනතුරු ඇඟවීමට තරම් විද්‍යාව දියුණු වී ඇතත් යහපතක් වන්නේ ඊට අවනත වුවොත් පමණයි. වර්ෂ 1985දී කොලොම්බියාවේ නෙවාඩෝ ඩෙල් රූස් ගිනිකන්ද පිපිරෙන බවට අනතුරු ඇඟවීම් ගණනාවක් ලැබුණත් ඊට කිලෝමීටර් 50ක පමණ ඈතින් සිටි ජනයාට බලධාරීන් පැවසුවේ සන්සුන්ව ඉන්න කියායි. නමුත් එය පිපිරී පහළට ගලා ආ මඩ පහරට යට වී 21,000කට වැඩි පිරිසක් මිය ගියා.

මෙවැනි ව්‍යසනයන් නිතර සිදු නොවුණත් යෝධ රකුසා නිදා සිටින කාලය වැඩිදුර පර්යේෂණයන් කිරීමට හා සූදානම් වීමට යොදාගෙන තිබෙනවා. එමනිසා දිගින් දිගටම සෝදිසි කරමින්, ප්‍රමාණවත් ලෙස සූදානම් වෙමින් හා මහජනයාව දැනුවත් කරමින් සිටීම යෝධ රකුසා නිදා සිටින ප්‍රදේශ අසල ජීවත් වන්නන්ගේ දිවි ගලවාගැනීමට උපකාරයක් වේවි.

[16වන පිටුවේ කොටුව⁄පින්තූරය]

සූදානම්ව සිටින්න!

ස්වාභාවික විපතකට මුහුණ දෙන්න ඔබ සූදානම්ද? ඔබේ පළාතේ තිබෙන අවදානම ගැන දැනුවත්ව සිටින්න. පවුලේ සාමාජිකයන් විසිරී ගියොත් යළි එකතු වන ස්ථානය ගැනත්, මේ සැලසුම් ගැන වෙන කාටද දැනුම් දෙන්නේ කියාත් කලින්ම තීරණය කරන්න. හදිසි අවස්ථාවේදී ළඟ තිබිය යුතු දේවල් වන ආහාර හා වතුර, ප්‍රථමාධාර, සුදුසු ඇඳුම් කට්ටල, ගුවන්විදුලි යන්ත්‍ර, ජලය කාන්දු නොවන විදුලි පන්දම් සහ වැඩිපුර බැටරි කීපයක් අතැතිව සිටින්න. දවස් කීපයකට සරිලන ප්‍රමාණයක් තබාගන්න.

[15වන පිටුවේ පින්තූරය]

සංචාරකයින් විසූවියස් කඳු මුදුන අසල ඇවිදිමින්

[හිමිකම් විස්තර]

©Danilo Donadoni/Marka/age fotostock

[15වන පිටුවේ පින්තූරය]

ඉතාලියේ නේපල්ස්හි පසුබිමේ විසූවියස් කන්ද

[හිමිකම් විස්තර]

© Tom Pfeiffer

[15වන පිටුවේ පින්තූරය]

පොම්පෙයි සහ හර්කියුලේනියම් නගර ක්‍රි.ව.79දී විනාශ කළ පිපිරීමේ දර්ශනය

[හිමිකම් විස්තර]

© North Wind Picture Archives

[16වන පිටුවේ පින්තූරය]

ඕක්ලන්ඩ්හි ගිනිකන්දක් මගින් සෑදූ රාන්ජිටෝටෝ දූපත

[16, 17වන පිටුවේ පින්තූර]

ඉහළ සහ දකුණ: මෙක්සිකෝවේ පොපකැටපැට්ල් කන්ද

[හිමිකම් විස්තර]

AFP/Getty Images

Jorge Silva/AFP/Getty Images

[14වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]

USGS, Cascades Volcano Observatory