යෙසායා 24:1-23

24  යෙහෝවා දෙවි දේශයේ කිසි වැසියෙකු ඉතුරු නොකර එය පාළුවට යන්න හරින්නේය.+ ඔහු දේශය නාස්තියට පමුණුවා+ එහි වැසියන්ව විසුරුවාහරින්නේය.+  සාමාන්‍ය ජනයාට හා පූජකයන්ටත් සේවකයාට හා ස්වාමියාටත් සේවිකාවට හා ස්වාමිදුවටත් වෙළෙන්දාට හා ඔහුගෙන් බඩු මිල දී ගන්නාටත් ණයට දෙන්නාට හා ණයට ගන්නාටත් පොලී අය කරන්නාට හා පොලී ගෙවන්නාටත් සිදු වන්නේ එකම දෙයයි.+  සතුරු හමුදා ඇවිත් දේශය හිස් වන තුරුම සෑම දෙයක්ම කොල්ල කන්නෝය.+ ස්ථිර වශයෙන්ම ඒ දේ සිදු වන්නේය. මන්ද ඒ දේ තීන්දු කර ඇත්තේ යෙහෝවා දෙවිය.+  දේශය වැලපෙයි.+ එහි ගස් කොළන් වියළී, කෙත්වතු පාළුවට ගොස් ඇත. එහි උත්තමයෝ පහ වී යන්නෝය.+  දේශයේ වැසියෝ දෙවිගේ නීති නොසලකාහරින්නෝය.+ ඔවුන් තමන්ටම නීති සාදාගෙන+ පරම්පරාවෙන් පරම්පරාවට පවතින ගිවිසුම කඩ කරමින්+ දේශය දූෂ්‍ය කර තිබේ.+  ඒ නිසා දේශය පිටට ශාපයක් පැමිණ+ එහි වැසියෝ දඬුවම් විඳින්නෝය. ඔවුන්ගෙන් දැන් ඉතුරු වී ඇත්තේ ස්වල්පදෙනෙකු පමණි.+  මිදිවැල් වියළී ගොස් ඇති නිසා දේශයේ හොඳ වයින් සොයාගත නොහැක.+ ප්‍රීතියෙන් කල් ගෙවූ සියලුදෙනා දැන් සුසුම්ලති.+  වීණා වයමින් රබන් ගසමින් විනෝද වූ අයගේ ප්‍රීති නාද දැන් අසන්න ලැබෙන්නේ නැත.+  සතුටු ගී ගයමින් වයින් බොන කිසිවෙක් නැත. මත්පැන් පවා ඔවුන්ට තිත්ත වී ඇත. 10  අත්හැර ගිය නගරයේ ගෙවල් දොරවල් සියල්ල වසා දමා ඇත. එහි ගොඩනැඟිලි ගරාවැටී ඇත.+ 11  වයින් හිඟය නිසා වීථිවල මහත් කලබලයක් ඇති වී තිබේ. ප්‍රීති ඝෝෂා කොතැනකවත් අසන්න ලැබෙන්නේ නැත. ප්‍රීති ප්‍රමෝදයෙන් සිටි දේශය දැන් වැලපෙයි.+ 12  නුවර දොරටුව කඩා බිඳ දමා එහි කැබලි ගොඩගසා ඇත. නුවර අදහාගන්න බැරි තත්වයකට පත් වී තිබේ.+ 13  එහෙත් ඔලීව ගසේ පලදාව රැස් කරගන්නා විට* ගෙඩි කිහිපයක් ඉතුරු කර යන්නාක් මෙන්ද+ මිදි අස්වැන්න නෙළාගන්නා විට පල කිහිපයක් ඉතුරු කර යන්නාක් මෙන්ද දේශයේ ඉතා සුළු පිරිසක් ඉතුරු වනු ඇත.+ 14  ඔවුහු ප්‍රීති ප්‍රමෝදයෙන් හඬ නඟන්නෝය. මුහුදෙන් එතෙර දේශවල සිට ඔවුහු යෙහෝවා දෙවිගේ ශ්‍රේෂ්ඨත්වය පැසසුමට ලක් කරති.+ 15  නැඟෙනහිර දෙසින්+ පිහිටි දේශවල වැසියෝද යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරති.+ දූපත්වල වෙසෙන වැසියෝද ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාගේ නමට ප්‍රශංසා කරති.+ 16  පොළොවේ දුර ඈත ප්‍රදේශවල සිට,+ “ධර්මිෂ්ඨ තැනැත්තාණන්ට ගෞරවය දෙන්න”+ කියා ගායනා කරන හඬක් ඇසෙනු ඇත. නමුත් දැන් මම මෙසේ කියමි. “මගේ ශක්තිය හීන වී ඇත.+ මට දරාගත නොහැකි වේදනාවක් දැනේ. වංචනික ලෙස කටයුතු කරන අය තව තවත් වංචා කරන්නෝය.+ ඔවුහු ද්‍රෝහිව කටයුතු කරන්නෝය.”+ 17  දේශයේ වැසියෙනි, විපතක් ඔබ පසුපස ලුහුබැඳ එන්නේය. ඔබ වළකට හෝ උගුලකට හෝ හසු වී වැටෙන්නහුය.+ 18  විපතෙන් බේරීමට පලා යන තැනැත්තා වළකට වැටෙයි. වළෙන් ගොඩ එන තැනැත්තා උගුලකට හසු වෙයි.+ මන්ද ඒ දවසේදී අහසේ කවුළු අරිනු ලබන්නේය.+ පොළොවේ අත්තිවාරම් පවා සෙලවෙන්නේය.+ 19  පොළොව දෙදරුම් කා භූමිය පැලී යන්නේය. මුළු පොළොවම සෙලවෙන්නේය.+ 20  දේශය වෙරිමත් වී වැනිවැනී සිටින මිනිසෙකු මෙන්ද සුළඟට හසු වූ පැල්පතක් මෙන්ද ඒ මේ අත සෙලවෙයි.+ දේශය නැවත ගොඩගන්න බැරි වන තරමටම+ එහි වැසියන් පිරිහෙනු ඇත.+ 21  ඒ කාලයේදී ඉහළ ස්ථානවල සිටින සේනාවටත් පොළොවේ රජවරුන්ටත් යෙහෝවා දෙවි දඬුවම් කරයි.+ 22  ඔවුන්ව සිරකරුවන් මෙන් ගැඹුරු වළකට දමා සිර කරනු ඇත.+ ඔවුන්ව සිරකුටියේ වසා දමා+ බොහෝ කාලයකට පසු සෝදිසි කරනු ලබයි.+ 23  ඒ දවසේදී පුන් සඳත් බැබළෙන හිරුත් ලැජ්ජාවට පත් වනු ඇත.+ මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි සියොන් කන්දේ+ සිට තේජශ්‍රීයෙන් රජකම් කරන්නේය.+ ඔහු යෙරුසලමේ සිට පාලනය කරද්දී ඔහුගේ සෙනඟ අතරේ සිටින මහලු අය පවා ඔහුගේ තේජස දකින්නෝය.+

පාදසටහන්

ද්වි 24:20හි පාදසටහන බලන්න.