Skip to content

පටුනට යන්න

ඔබේ පෞද්ගලිකත්වය තීරණය වන්නේ රුධිර ගණය අනුවද?

ඔබේ පෞද්ගලිකත්වය තීරණය වන්නේ රුධිර ගණය අනුවද?

බයිබලයේ දෘෂ්ටිකෝණය

ඔබේ පෞද්ගලිකත්වය තීරණය වන්නේ රුධිර ගණය අනුවද?

කෙනෙකුගේ රුධිර ගණය අනුව ඔහුගේ හෝ ඇගේ පෞද්ගලිකත්වය තීරණය කිරීම ඇතැම් රටවල ජනප්‍රිය වී ඇත. උදාහරණයක් වශයෙන්, ජපානයෙහි ඇතමුන් සංවාදයක් පටන්ගැනීම සඳහා “ඔයාගේ රුධිර ගණය මොකක්ද?” කියා විමසීම අසාමාන්‍ය දෙයක් නොවේ. මේ අදහසට අනුබල දක්වන්නන් පවසා සිටින්නේ A-ගණයේ රුධිරය සතු වූවන් සන්සුන්, වගකීමෙන් යුතුව කටයුතු කරන සහ නිතර සැක කරන ස්වභාවයකින් සිටින අය බවයි; එමෙන්ම B-ගණයේ රුධිරය ඇති අය හොඳ හිතක්, නිතර වෙනස් වන ස්වභාවයක්, පහසුවෙන් රැවටෙනසුලු ගතියක් ඇති අයයි. එක් රුධිර ගණයක් ඇත්තෙකුට තවත් වර්ගයක රුධිර ගණයක් ඇති කෙනෙකු සමඟ පෑහී සිටීම එක්කෝ අසීරු වීමට හෝ පහසු වීමට හෝ හැකි බවත් ප්‍රකාශ කර තිබේ.

මෙම සංකල්පය මත පදනම්ව සමහරු පාසැල්වල ශිෂ්‍යයන්ව කණ්ඩායම්වලට වෙන් කරන විට, සමාගම්වල විධායකයන් තෝරන විට හෝ කලත්‍රයන් සොයන විටදී පවා රුධිර ගණය වැදගත් සාධකයක් ලෙස සලකති. අපේ රුධිර ගණයෙන් ඇත්තෙන්ම අපේ පෞද්ගලිකත්වය තීරණය වන බවට යම් සාක්ෂි ඇද්ද? මෙම කාරණයට සම්බන්ධ බයිබල් ඉගැන්වීම් තිබේද?

රුධිර ගණය යනු කුමක්ද?

ද වර්ල්ඩ් බුක් මල්ටිමීඩියා එන්සයික්ලොපීඩියාහි මෙසේ පැහැදිලි කරයි. “රතු රුධිරාණු සෛල පටලවල ප්‍රතිදේහජනක යනුවෙන් හැඳින්වෙන ප්‍රෝටීන අඩංගු වේ. රතු රුධිරාණු ප්‍රතිදේහජනක වර්ග 300කට වඩා හඳුනාගෙන තිබේ.” සමහරුන්ට ඇතැම් ප්‍රතිදේහජනක තිබෙතත් වෙනත් අයට ඒවා නැත. එකට පැවතීමට සමහර ප්‍රතිදේහජනකවලට හැකියාවක් නැත. එබැවින් ඉහත සඳහන් විශ්වකෝෂයේ පවසන පරිදි “යම් ප්‍රතිදේහජනක වර්ග තිබීම හෝ නොතිබීම මත පදනම් කොටගෙන විද්‍යාඥයන් මානව රුධිරය විවිධ කාණ්ඩවලට වර්ග කර ඇත.”

රුධිර කාණ්ඩ වර්ග කිරීමේදී වඩාත් පුළුල්ව පිළිගනු ලබන්නේ ABO ක්‍රමයයි. එම ක්‍රමයට අනුව A, B, AB හා O වශයෙන් ගණ හතරකට මානව රුධිරය වර්ග කෙරේ. ඊට අමතරව Rh ක්‍රමයද පොදුවේ භාවිත කෙරේ. ඇත්තෙන්ම, රුධිර කාණ්ඩ වර්ග කිරීමේ ප්‍රසිද්ධ ක්‍රම 20ක් පමණ ඇත. මේ අනුව බලද්දී රුධිරය ඉතා සංකීර්ණ දෙයක් බව පැහැදිලියි. එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකා මෙසේ පවසයි. “එක සමාන නිඹුල්ලුන්ට හැර වෙනත් කිසිවෙකු සතුව එකම රුධිර ගණයක එක සමාන ප්‍රතිදේහජනක තිබිය නොහැකිය. එසේ වන්නේ රතු රුධිරාණු සෛලවල තිබෙන විවිධාකාර ප්‍රතිදේහජනක වර්ග රාශිය නිසාය.”

මේ අනුව නිශ්චිත වශයෙන්ම පවසනවා නම් එක් එක් කෙනාට ආවේණික වූ “රුධිර ගණයක්” පවතී. එමනිසා සමාන රුධිර ගණයන් තිබෙන අය සතුව සමාන පෞද්ගලික ගතිලක්ෂණ පවතිනවායයි පැවසීමේ කිසිදු සත්‍යතාවක් නොමැති තරම්ය. අපේ පෞද්ගලිකත්වය තීරණය වීමට කරුණු කාරණා කීපයක්ම දායක වන බව පැහැදිලිය.

අපේ පෞද්ගලිකත්වය තීරණය වන්නේ කුමකින්ද?

“පෞද්ගලිකත්වය යනු පුද්ගලයන්ව වෙන් කොට හඳුන්වා දෙන සහජයෙන් හා වර්ධනය කරගැනීමෙන් ලබන හැසිරීමේ ගතිලක්ෂණයි” කියා එන්සයික්ලොපීඩියා බ්‍රිටෑනිකාහි පැහැදිලි කරයි. ඇත්තෙන්ම අප උරුම කරගෙන ඇති දේට අමතරව කෙනෙකුගේ පෞද්ගලිකත්වයේ සැකැස්මට බලපාන තවත් සාධකද පවතී. ඒවා නම් පවුල් වාතාවරණය, අධ්‍යාපනය, ආශ්‍රය, ප්‍රසන්න හා අප්‍රසන්න අද්දැකීම් යනාදියයි. එබැවින් අපේ පෞද්ගලිකත්වය තීරණය වන්නේ අපේ ජාන සැකැස්මෙන් පමණක්ම නොවේ. එකම ජාන සැකැස්මෙන් යුත් එක සමාන නිඹුල්ලුන්ගේ පවා බොහෝවිට වෙනස් පෞද්ගලිකත්වයන් තිබේ.

තවත් වැදගත් කරුණක් නම් කෙනෙකුගේ පෞද්ගලිකත්වය වෙනස් වීමට හෝ වෙනස් කරවන්නට හෝ හැකිව තිබීමය. ජනයාව වෙනස් කිරීමට ක්‍රිස්තියානි ඉගැන්වීම්වලට තිබෙන බලය ගැන ප්‍රේරිත පාවුල් අවධාරණය කළේය. ඔහු ලියුවේ මෙයයි. “පරණ පෞද්ගලිකත්වය එහි ක්‍රියාත් සමඟ ඉවත් කර, අලුත් පෞද්ගලිකත්වය පැළඳගන්න. එය මැවූ තැනැත්තාගේ ස්වරූපයට අනුව, නිවැරදි දැනුම මාර්ගයෙන් දිගටම එය අලුත් වන්නේය.” (කොලොස්සි 3:9, 10NW) තමන් පව්කාරයන් බවත්, පාපතර පෙලඹීම් උරුම කරගෙන සිටින බවත් ක්‍රිස්තියානීහු වටහාගනිති. දෙවි ඔවුන්ව පිළිගැනීමට නම් ඔවුන්ගේ පෞද්ගලිකත්වයන් වෙනස් කරගත යුතු විය.

එවැනි වෙනස්කම් කිරීමට හැකි කරවන්නේ කුමකින්ද? දෙවිගේ වචනයේ හෝ පණිවිඩයේ බලයෙනි. බයිබලයෙහි තිබෙන දේවවචනයේ ප්‍රබල බලපෑම සම්බන්ධයෙන් පාවුල් මෙසේ ලීවේය. “දෙවිගේ වචනය ජීවමානය, බලවත්ය, ඕනෑම දෙමුවහත් කඩුවකට වඩා තියුණුය. බාහිර පුද්ගලයාගෙන් ඔහුගේ සැබෑ ඇතුළාන්ත ස්වභාවයද, සන්ධිවලින් ඒවායේ ඇටමිදුලුද වෙන් කරන තරමටම පසාරු කරගෙන යන්නේය. සිතේ සිතුවිලිද චේතනාද ඊට වටහාගත හැක.” (හෙබ්‍රෙව් 4:12NW) කෙනෙකු දෙවිගේ ආත්මයේ බලපෑමට යටත් වන විට හා බයිබලයෙහි සඳහන් යහපත් ප්‍රමිතිවලට එකඟව ජීවත් වීමට උත්සාහ කරන විට ඔහුගේ පෞද්ගලිකත්වය ක්‍රමක්‍රමයෙන් වෙනස් විය හැක. මෙයාකාරයෙන් සකස් කරගත් ක්‍රිස්තියානි පෞද්ගලිකත්වයට “දයානුකම්පාවෙන් යුත් ගැඹුරු සෙනෙහසද, කරුණාවන්තකමද, යටහත් පහත් මනසක්ද, මෘදුකමද, බොහෝ ඉවසිලිවන්තකමද” ඇතුළත් වේ.—කොලොස්සි 3:12NW.

ක්‍රිස්තියානි සාධාරණකම

රුධිර ගණයන් අධ්‍යයනය තහනම් කරන බයිබල් ප්‍රතිපත්තියක් නොමැති බව පිළිගත යුතුය. එහෙත් මානව හැසිරීම සමඟ එයට තිබෙන සම්බන්ධය වෙනත් කාරණයකි. ජීවිතයේ සියලු දේවලදී මෙන් මෙහිදීද අපේ පියවර මෙහෙයවීමට අප දෙවිගේ වචනයට ඉඩහළ යුතුය. (ගීතාවලිය 119:105) එමෙන්ම සාධාරණකමද ඉතා වැදගත් වේ.—ෆිලිප්පි 4:5NW.

තම පෞද්ගලිකත්වයේ දෝෂයන් නිවැරදි කරගැනීමට වෑයම් නොකර සිටීම සඳහා නිදහසට කරුණක් වශයෙන් රුධිර ගණය යොදාගැනීම ඇත්තෙන්ම අසාධාරණ දෙයක් වනු ඇත. තම ජාන සැකැස්ම කුමක් වුවත් ක්‍රිස්තියානීන් හැකි තරම් දුරට යෙහෝවාගේ සහ යේසුස්ගේ ගුණාංග පිළිබිඹු කළ හැකි වන සේ තමන්ගේ පෞද්ගලිකත්වය දිගටම සකස් කරගනිමින් සිටිය යුතුය.—එපීස 5:1.

ඊට අමතරව, යෙහෝවා අන් අය දෙස බලන ආකාරයටම ක්‍රිස්තියානීහුද අන්‍යයන් දෙස බැලීමට වෑයම් කරති. ‘දෙවි සියල්ලන්ටම එක හා සමානව සලකන්නේය.’ (ක්‍රියා 10:34, 35NW) යෙහෝවා සියලු ආකාර ජනයාව සතුටින් පිළිගනියි. එබැවින් ඇතමුන්ගේ රුධිර ගණය නිසාම ඔවුන්ව ඇසුරෙන් කපාහැරීම හෝ ඔවුන්ගේ ඇසුරෙන් වැළකී සිටීම අසාධාරණයක් වන්නාක් මෙන්ම ක්‍රිස්තියානි ක්‍රමයට පටහැනි වනු ඇත. “සමානතාවෙන්” යුතු රුධිර ගණය ඇති අය සමඟ පමණක්ම ඇසුරු කිරීම සම්බන්ධයෙන්ද එයම සැබෑවක් වනු ඇත. බයිබලයේ මෙසේ අවවාද කරයි. “ඔබ දිගටම අනිසි අනුග්‍රහයක් පෙන්වනවා නම්, ඔබ කරන්නේ පාපයකි.”—යාකොබ් 2:9NW.

විද්‍යාව සහ තාක්ෂණය දියුණු වෙමින් තිබියදී මිනිස් සිරුර පිළිබඳව බොහෝ නව සොයාගැනීම් සහ මත ඇති වී තිබේ. මෙම සංකල්පවලට සිත ඇදී යෑම ස්වාභාවිකය. ක්‍රිස්තියානීන් තම සිතුවිලි හැඩගැස්විය යුත්තේ මිනිස් න්‍යායන් අනුව නොව බයිබලයේ මඟ පෙන්වීමට අනුවය. ජීවිතයේ සියලු පැතිවලදී ක්‍රිස්තියානීන් ‘සියල්ල සෝදිසි කර බලා යහපත් දේ තදින් අල්ලාගත’ යුතුයි.—1 තෙසලෝනික 5:21NW.