Skip to content

පටුනට යන්න

පාලක මණ්ඩලයෙන් ලියුමක්

පාලක මණ්ඩලයෙන් ලියුමක්

ආදරණීය සහෝදර සහෝදරියනි,

“දෙවිට යාච්ඤා කරන විට අප ඔබ ගැන සඳහන් කරන සෑම අවස්ථාවකදීම අපි දෙවිට ස්තුති කරනවා. ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා ඔබ කරන ක්‍රියාවන්ද ඔබේ ප්‍රේමය නිසා ඔබ දරන වෙහෙසද අපගේ ස්වාමීන් වන යේසුස් ක්‍රිස්තුස් කෙරෙහි ඔබට ඇති බලාපොරොත්තුව නිසා ඔබේ විඳදරාගැනීමද අපි අපගේ දෙවි සහ පියාණන් වන තැනැත්තා ඉදිරියෙහි නිරතුරුවම මතක් කරනවා” කියලා පාවුල් කිව්වා. (1 තෙස. 1:2, 3) එදා ඔහුට හැඟුණ විදිහටම තමයි අපිටත් ඔබ ගැන හැඟෙන්නේ. ඒ නිසා ඔබ ගැනත් ඔබ කරන සේවය ගැනත් අපි යෙහෝවා දෙවිට ස්තුති කරනවා.

‘විශ්වාසය නිසා ඔබ කළ ක්‍රියාවන්’ හා ‘ප්‍රේමය නිසා ඔබ දැරූ වෙහෙස’ පහුගිය අවුරුද්දේ වාර්තාවලින් හොඳින් පැහැදිලි වෙනවා. බොහෝදෙනෙක් සේවය වැඩි කරලා. සමහර අය සේවය කරන්න වෙනත් ප්‍රදේශවලට නැත්නම් රටවල්වලට ගිහින් තියෙනවා. තවත් අය මහජනයා ගැවසෙන තැන්වල සාක්ෂි දැරීමට හවුල් වීමෙන් ඔවුන්ගේ සේවය වැඩි කරලා තියෙනවා. සිහි කිරීම පවත්වන කාලයේදී, චාරිකා සතිය තියෙන මාසයේදී සහ 2014 අගෝස්තු මාසයේදී බොහෝදෙනෙක් සහායක පුරෝගාමි සේවය කළා. ඔබ එක් එක් කෙනා මුහුණ දෙන තත්වයන් වෙනස් වුණත් ඔබ හැමෝම යෙහෝවා දෙවිට මුළු හදවතින්ම කරන සේවය අපි ගොඩක් අගය කරනවා. (කොලො. 3:23, 24) ‘විශ්වාසය නිසා ඔබ කළ ක්‍රියාවන්’ ගැන අපි යෙහෝවා දෙවිට ස්තුති කරනවා!

ඒ වගේම ‘ප්‍රේමය නිසා ඔබ දැරූ වෙහෙසත්’ අපි ගොඩක් අගය කරනවා. මොකද ලොව වටා නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා වැනි ගොඩනැඟිලි ඉදි කරන්න ඔබගෙන් ලැබුණේ විශාල දායකත්වයක්. දෙවිගේ සෙනඟ වර්ධනය වෙනවාත් එක්කම ඒ වගේ ස්ථානවල අවශ්‍යතාවත් වැඩි වෙනවා. (යෙසා. 60:22) ගිය අවුරුද්දේ ප්‍රචාරකයන් 82,01,545ක් වාර්තා වුණු අතර මාසයකදී පවත්වපු බයිබල් පාඩම්වල සාමාන්‍යය 94,99,933යි. වර්ධනයත් එක්කම ගොඩක් ශාඛා කාර්යාල ලොකු කරන්න හා අලුත් නමස්කාර මධ්‍යස්ථාන හදන්න ඕන වුණා. ඒ වගේම පරිවර්තන කණ්ඩායම්වලට ඒ භාෂාව කතා කරන අය ඉන්න ප්‍රදේශවල ඉඳන්ම පරිවර්තන කටයුතු කරන්න පුළුවන් කාර්යාලත් අවශ්‍ය වුණා.

‘මේ වගේ වැඩකටයුතුවලට මට උදව් කරන්න පුළුවන් කොහොමද’ කියලා සමහර විට ඔබට හිතෙයි. ගොඩනැඟිලි ඉදි කිරීමේ කණ්ඩායම් එක්ක එකතු වෙලා ඔබටත් වැඩ කරන්න පුළුවන්. ඔබට ඒ වැඩ කරන්න හැකියාව තිබුණත් නැතත් ඔබ සතු වටිනා දේවල් ලබා දීමෙන් මේ වැඩවලට දායක වෙන්නත් පුළුවන්. (හිතෝ. 3:9, 10) දෙවිගේ මණ්ඩපය ගොඩනැඟූ කාලයේදී ඊශ්‍රායෙල්වරුන් මොන තරම් සම්මාදම් කළාද කියනවා නම් සම්මාදම් තවත් අවශ්‍ය නැහැ කියලා නිවේදනයක් කරන්නත් මෝසෙස්ට සිද්ධ වුණා. (නික්. 36:5-7) ඒ අය අපිටත් හොඳ ආදර්ශයක්. ප්‍රේමය නිසා ඔබත් වෙහෙස මහන්සි වී කරන සේවය ගැන ඇත්තෙන්ම අපි යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා.

අපේ සහෝදරයන් යෙහෝවා දෙවිට විශ්වාසවන්තව ඉන්න දරන වෑයම දැක්කාමත් අපිට දැනෙන්නේ ලොකු සතුටක්. උදාහරණයකට දකුණු කොරියාවේ ඉන්න සහෝදරයන් ගැන ටිකක් හිතන්න. 1950 ඉඳන් ඒ රටේ ඉන්න තරුණ සහෝදරයන්ට දෙවිට විශ්වාසවන්තව ඉන්න නිසා සිරදඬුවම් විඳින්න සිද්ධ වෙලා තියෙනවා. දෙවිගේ සේවකයන්ට කාලයක් තිස්සේ ඒ වගේ දඬුවම් විඳින්න සිද්ධ වුණත් ඔවුන්ගේ විශ්වාසය අඩු වෙලා නැහැ. ඇත්තෙන්ම ඔවුන්ගේ විශ්වාසයෙන් අපේ විශ්වාසයත් ශක්තිමත් වෙනවා.

එරිත්‍රියාවේ අපේ සහෝදරයන් තුන්දෙනෙක්ව අවුරුදු 20කට වඩා සිරගත කරලා තියෙනවා. ඊට අමතරව සහෝදරියන්, ඔවුන්ගේ දරුවන් හා තවත් සහෝදරයන්වත් හිරේ දාලා තියෙනවා. මේ අයව නිදහස් කරගන්න කොච්චර උත්සාහ දැරුවත් තවමත් ඒ උත්සාහයන් සාර්ථක වෙලා නැහැ. ඒත් අපේ සහෝදරයන්ගේ විශ්වාසය අඩු වෙලා නැහැ. මොන තරම් දරුණු දේවල්වලට මුහුණ දෙන්න වුණත් ඒ අය විශ්වාසවන්තව ඉන්නවා. අපේ යාච්ඤාවලදී නිතරම අපි ඔවුන්ව මතක් කරනවා.රෝම 1:8, 9.

අපි අතර ඉන්න ගොඩක් අය ඒ වගේ තත්වයකට මුහුණ දෙන්නේ නැති වුණත් වෙනත් අභියෝගයකට මුහුණ දෙනවා වෙන්න පුළුවන්. උදාහරණයකට වයසට යන නිසා ඇති වෙන දුෂ්කරතා, දරුණු අසනීප, දෙවිට නමස්කාර කරන්නේ නැති සැමියා, බිරිඳ හෝ නෑදෑයන් නිසා පීඩා විඳිනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කවුරුත් නොදන්න ප්‍රශ්නයක් එක්ක ඔබ පොර බදිනවා වෙන්නත් පුළුවන්. ඒ මොන ප්‍රශ්න තිබුණත් ඔබ දෙවිට විශ්වාසවන්තව ඉන්න එක ගැන අපි යෙහෝවා දෙවිට ස්තුතිවන්ත වෙනවා.යාකො. 1:12.

අපි ඔබට ගොඩක් ආදරෙයි. විශ්වාසය නිසා ඔබ කළ ක්‍රියාවන්, ප්‍රේමය නිසා ඔබ දැරූ වෙහෙස හා ඔබගේ විඳදරාගැනීම ගැන අපි ‘යෙහෝවා දෙවිට ස්තුති කරනවා.’ (ගීතා. 106:1) දෙවිට සදහටම සේවය කරන්න ඔබට අවශ්‍ය ශක්තිය හා ආශීර්වාදය ලබා දෙන්න කියලා අපි නිතරම යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා.

ඔබගේ සහෝදරයෝ,

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ පාලක මණ්ඩලය