Skip to content

පටුනට යන්න

 ඩොමිනිකන් ජනරජය

දේවරාජ්‍යය ගැන බලාපොරොත්තුව සිහිනයක් නෙමෙයි

එෆ්‍රායින් ඩි ලා කෲස්

දේවරාජ්‍යය ගැන බලාපොරොත්තුව සිහිනයක් නෙමෙයි
  • ඉපදුණේ 1918

  • බව්තීස්ම වුණේ 1949

  • තොරතුරු හිරගෙවල් 7ක හිටපු කෙනෙක්. ඒ හිරගෙවල්වලදී මොන තරම් වධ හිංසා කළත් දේවරාජ්‍යය ගැන අනිත් අයට කියන්න ඔහු තුළ තිබුණු ආසාව නැති වුණේ නැහැ.

1948 ඉඳන් බිරිඳ පාවුලා සහ දුවත් එක්ක මම බ්ලාන්කො ආරිබාවල තියෙන සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලට ගියා. රැස්වීම් යන්න එන්න කිලෝමීටර් 40ක දුරක් පයින් යන්න තිබුණත් අපි කවදාවත් රැස්වීමක් අතපසු කළේ නැහැ. 1949 ජනවාරි 3වෙනිදා පාවුලායි මමයි බව්තීස්ම වුණා.

ඊට මාස 6කට පස්සේ මාවයි සභාවේ තව කිහිපදෙනෙක්වයි අත්අඩංගුවට අරන් මාස 3කට හිරේ දැම්මා. අපිට නිදාගන්න වුණේ බිම. දවසටම කන්න දුන්නේ එක වේලයි. ඒ කෙසෙලුයි තේයි. අපිව හිරෙන් නිදහස් කරද්දී සේවයේ යන්න එපා කියලා නිලධාරීන් අපිට තර්ජනය කළා. ඒත් අපි ගෙවල්වලට ආවට පස්සේ හොරෙන්ම රැස්වීම් තියන්නත් සේවයේ යන්නත් පටන්ගත්තා. නිලධාරීන් ඇහැගහගෙන ඉන්න නිසා අපි රැස්වීම් තිබ්බේ සහෝදරයන්ගේ ගෙවල්වල, කෝපි වතුවල සහ ගොවිපොළාවල්වලයි. අපි හැම දවසකම එකම තැන රැස් වුණේ නැහැ. හැමදාම රැස්වීම ඉවර වුණාට පස්සේ ඊළඟ දවසේ රැස්වීම් තියන  තැන කිව්වා. අපි සේවයේ ගියේ තනි තනියෙන්. පොත් පත්වත් බයිබලයක්වත් ගෙනිච්චේ නැහැ. වැඩ කරන්න අඳින විදිහට තමයි සේවයේ යද්දිත් ඇඳගෙන ගියේ. ඒ තරම් පරෙස්සම් වුණත් 1949ත් 1959ත් අතර කාලයේදී මාව අත්අඩංගුවට අරන් හිරගෙවල් හතකට විතර යැව්වා. ඒ හැම වතාවකදීම මට මාස 3ත් 6ත් අතර කාලයක් හිරේ ඉන්න සිද්ධ වුණා.

ගොඩක් වෙලාවට මාව අල්ලලා දුන්නේ මගේම නෑයෝ. ඒ නිසා මං පරෙස්සම් වුණා. සමහර දවස්වල මං නිදාගත්තේ කඳුවල, ගොවිපොළොවල්වල. ඒ වුණත් මාව පොලීසියෙන් අල්ලගෙන ගියා. එක පාරක් මාව සැන්ටෝ ඩොමින්ගෝවල තියෙන ලා වික්ටෝරියා කියන හිරගෙදරට යැව්වා. එතන එක හිර කුටියක 50ක් 60ක් විතර හිටියා. අපිට උදේට කන්න දුන්නේ බඩ ඉරිඟු පිටිවලින් හදපු කෑමක්. දවල්ට බත් ටිකකුයි බෝංචියි දුන්නා. හිරගෙදර හිටිය හැම සාක්ෂිකාරයෙක්ම අනිත් හිරකරුවන්ට බයිබලය ගැන කියලා දුන්නා. ඒ විතරක් නෙමෙයි අපි දිගටම රැස්වීම් තිබ්බා. රැස්වීම්වලදී අපි කළේ බයිබල් පද මතකයෙන් කියන එක හා සේවයේදී ලබපු අද්දැකීම් කියන එකයි.

අන්තිම වතාවට මම හිරේ හිටපු වෙලාවේ හමුදා භටයෙක් මගේ ඔළුවටයි ඉළ ඇටවලටයි තුවක්කු මිටෙන් ගැහුවා. ඒ ගහපු පාරවල් නිසා මං තාම විඳවනවා. ඒත් ඒ වගේ පීඩාවලට මුහුණ දීපු නිසා මගේ විශ්වාසය ශක්තිමත් වුණා. මගේ විඳදරාගැනීමේ හැකියාවත් වැඩි වුණා. ඒ විතරක් නෙමෙයි යෙහෝවා දෙවිට සේවය කරන්න මම අරගෙන තිබුණු අධිෂ්ඨානයත් තවත් ශක්තිමත් වුණා.

දැන් මට වයස 96යි. මම සභාවේ සහායක සේවකයෙක් විදිහට වැඩ කරනවා. මට දුර ඇවිදින්න බැරි නිසා ගේ ඉස්සරහා ඉඳගෙන එතනින් යන එන අයට මම ශුභාරංචිය ගැන කියනවා. දේවරාජ්‍යය ගැන තියෙන බලාපොරොත්තුව මට සිහිනයක් නෙමෙයි. සැබෑම සැබෑ දෙයක්. මම අවුරුදු 60ක් පුරා ඒ ගැන අනිත් අයට කියනවා. ශුභාරංචිය අහපු මුල් දවසේ දේවරාජ්‍යය ගැන ඇති වුණු බලාපොරොත්තුව අදටත් ඒ විදිහටම මගේ මනසේ තියෙනවා. *

^ 11 ඡේ. මේ ලිපිය ප්‍රකාශ කරන්න සූදානම් කරන අතරතුර එෆ්‍රායින් ඩි ලා කෲස් මිය ගියා.