Skip to content

පටුනට යන්න

125වෙනි පරිච්ඡේදය

යේසුස්ව අන්නස් වෙතටත් පසුව කායෆස් වෙතටත් ගෙන යයි

යේසුස්ව අන්නස් වෙතටත් පසුව කායෆස් වෙතටත් ගෙන යයි

මතෙව් 26:57-68 මාක් 14:53-65 ලූක් 22:54, 63-65 යොහන් 18:13, 14, 19-24

  • කලින් උත්තම පූජකයාව සිටි අන්නස් වෙතට යේසුස්ව ගෙන යයි

  • මන්ත්‍රණ සභාව නීති විරෝධී නඩු විභාගයක් පවත්වයි

අපරාධකරුවෙක් විදිහට යේසුස්ගේ අත් බැඳලා දැන් අරන් යන්නේ අන්නස් ළඟට. අවුරුදු 12දී යේසුස් දේවමාලිගාවේ ගුරුවරුන්ව පුදුම වෙන විදිහට කතා කරපු අවස්ථාවේ උත්තම පූජකයා වෙලා හිටියේ අන්නස්. (ලූක් 2:42, 47) ඔහුගේ සමහර පුත්‍රයනුත් උත්තම පූජකයා විදිහට සේවය කරලා තියෙනවා. දැන් උත්තම පූජකයා වෙලා ඉන්නේ අන්නස්ගේ බෑනා වන කායෆස්.

යේසුස් අන්නස්ගේ ගෙදර ඉද්දී කායෆස්ට මන්ත්‍රණ සභාව රැස් කරන්න අවස්ථාව ලැබෙනවා. ඒකට සාමාජිකයන් 71දෙනෙක් ඇතුළත්. උත්තම පූජකයාට අමතරව කලින් උත්තම පූජකයන් විදිහට සේවය කරපු අයත් ඒ අතරේ ඉන්නවා.

යේසුස්ගේ “ගෝලයන් ගැනත් ඔහුගේ ඉගැන්වීම් ගැනත්” අන්නස් ප්‍රශ්න කරද්දී යේසුස් පිළිතුරු දෙන්නේ මෙහෙමයි. “මම සෑම දෙයක්ම ඉගැන්වූයේ ප්‍රසිද්ධියේයි. මම නිතරම ඉගැන්වූයේ යුදෙව්වරුන් සියලුදෙනා එක් රැස් වන සිනගෝගයකදී නැත්නම් දේවමාලිගාවේදීයි. මම කිසිම දෙයක් රහසින් කිව්වේ නැහැ. ඔබ මගෙන් මේ ප්‍රශ්න අසන්නේ ඇයි? මා පැවසූ දේවල් අසාගෙන සිටි අයගෙන් අහලා බලන්න.”—යොහන් 18:19-21.

යේසුස්ගේ කම්මුලට ගහන නිලධාරියෙක් “ඔබ නායක පූජකයාට පිළිතුරු දෙන්නේ මෙහෙමද” කියලා අහනවා. ඒත් යේසුස් මෙහෙම කියනවා. “මා කී දේ වැරදි නම් ඒ වරද මොකක්ද කියලා මට කියන්න. නමුත් මම පැවසූ දේවල වරදක් නැත්නම් ඔබ මට පහර දෙන්නේ ඇයි?” (යොහන් 18:22, 23) දැන් අන්නස් යේසුස්ව කායෆස් ළඟට යවනවා.

මේ වෙද්දී උත්තම පූජකයා, වැඩිමහල්ලන් සහ නීතිය පිටපත් කරන අය ඇතුළු මුළු මන්ත්‍රණ සභාවම කායෆස්ගේ නිවසේ රැස් වෙලයි ඉන්නේ. පාස්කු දවසේ රෑ නඩු විභාගයක් පවත්වන එක නීති විරෝධී වුණත් තමන්ගේ දුෂ්ට අරමුණ ඉටු කරගන්න ඔවුන් ඒක බාධාවක් කරගන්නේ නැහැ.

මේක සාධාරණ නඩු විභාගයක් වෙයි කියලා හිතන්න බැහැ. මොකද ලාසරුස්ව නැවත නැඟිටෙව්වාට පස්සේ යේසුස්ව මරන්න මන්ත්‍රණ සභාව තීරණය කළා. (යොහන් 11:47-53) මීට ටික දවසකට කලිනුත් යේසුස්ව මරන්න ආගමික නායකයන් කුමන්ත්‍රණය කළා. (මතෙව් 26:3, 4) ඔව්, නඩු විභාගය පටන්ගන්නත් කලින් ඔවුන් යේසුස්ව මරන්න තීරණය කරලා ඉවරයි.

නීති විරෝධී විදිහට නඩු විභාගයක් පවත්වන්න තීරණය කරපු නායක පූජකයන් සහ මන්ත්‍රණ සභාවේ අනිත් අය යේසුස්ට විරුද්ධව බොරු සාක්ෂි හොයනවා. හුඟක් අය ඔහුට විරුද්ධව සාක්ෂි දුන්නත් ඒ සාක්ෂිවල එකඟතාවක් නැහැ. අන්තිමේදී දෙන්නෙක් ඇවිත් කියන්නේ මෙහෙමයි. “අපට ඇහුණා ඔහු මෙහෙම කියනවා. ‘අතින් සෑදූ මෙම දේවමාලිගාව කඩා දමා, අතින් නොසෑදූ වෙන එකක් දවස් තුනකින් මම ගොඩනඟනවා.’” (මාක් 14:58) ඒත් ඔවුන්ගේ සාක්ෂි අතරත් එකඟතාවක් නැහැ.

කායෆස් දැන් යේසුස්ගෙන් මෙහෙම අහනවා. “ඔබ කිසි පිළිතුරක් දෙන්නේ නැද්ද? මොවුන් ඔබට විරුද්ධව දෙන මේ සාක්ෂි ඔබට ඇහෙනවාද?” (මාක් 14:60) මිනිසුන් යේසුස්ට විරුද්ධව එකඟතාවක් නැති බොරු සාක්ෂි දෙද්දී යේසුස් ඉන්නේ නිහඬවයි. ඒ නිසා කායෆස් දැන් වෙන උපක්‍රමයක් යොදාගන්නවා.

කිසිම කෙනෙක් තමන් දෙවිගේ පුතා කියලා කියාගන්නවාට යුදෙව්වන් කැමති නැහැ කියලා ඔහු දන්නවා. කලින් වතාවකදී දෙවියන් තමන්ගේ පියා කියලා යේසුස් කියපු නිසා ඔහු ‘දෙවිට සමාන වීමට උත්සාහ කරනවා’ කියලා චෝදනා කරපු යුදෙව්වන් ඔහුව මරන්න උත්සාහ කළා. (යොහන් 5:17, 18; 10:31-39) ඒ හැම දෙයක් ගැනම දන්න කායෆස් දැන් හරිම කපටි විදිහට යේසුස්ගෙන් මෙහෙම අහනවා. “මා ජීවමාන දෙවිගේ නාමයෙන් දිවුරා ඔබ ඉදිරියේ ප්‍රශ්නයක් අසන්න කැමතියි. ඔබ දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්ද කියා අපට කියන්න.” (මතෙව් 26:63) තමන් දෙවිගේ පුත්‍රයා කියලා යේසුස් මේ වෙද්දී කියලා තියෙනවා. (යොහන් 3:18; 5:25) හැබැයි මේ වෙලාවේ නිහඬව හිටියොත් තමන් දෙවිගේ පුත්‍රයා සහ ක්‍රිස්තුස් කියලා පිළිගන්න යේසුස් කැමති නැහැ කියලා ඇඟවෙන්න පුළුවන්. ඒ නිසයි ඔහු මෙහෙම කියන්නේ. “ඒ මම තමයි. මනුෂ්‍ය පුත්‍රයා බලවත් තැනැත්තාණන්ගේ දකුණු පැත්තේ ඉඳගෙන සිටින ආකාරයත් ආකාශයේ වලාකුළු සහිතව එන ආකාරයත් ඔබට දකින්න ලැබෙයි.”—මාක් 14:62.

ඒක ඇහුණාම කායෆස් තමන්ගේ පිට වස්ත්‍ර ඉරාගනිමින් මෙහෙම කියනවා. “ඔහු දැන් කළේ දේවඅපහාසයක්! අපට තව සාක්ෂිකරුවන් අවශ්‍ය නැහැ. දැන් ඔහුගේ දේවඅපහාසය ඔබට ඇහුණා නේද? ඔබ සිතන්නේ කුමක්ද?” අසාධාරණ විනිශ්චයක් ලබා දෙමින් මන්ත්‍රණ සභාව කියන්නේ “ඔහුට මරණ දණ්ඩනය නියම කළ යුතුයි” කියලයි.—මතෙව් 26:65, 66.

ඊටපස්සේ ඔවුන් යේසුස්ට අපහාස කරමින් අත මිටමොළවලා පහර දෙන්න පටන්ගන්නවා. තවත් අය ඔහුගේ කම්මුලට ගහලා මුහුණට කෙළත් ගහනවා. ඔවුන් යේසුස්ගේ මුහුණ වහලා අපහාසාත්මක විදිහට කියන්නේ “ඔබ අනාගතවක්තෘවරයෙක් නම් ඔබට පහර දුන්නේ කවුද කියා කියන්න” කියලයි. (ලූක් 22:64) රාත්‍රී කාලයේදී නීති විරෝධී විදිහට පවත්වපු මේ නඩු විභාගයේදී ඔවුන් දෙවිගේ පුත්‍රයාට සැලකුවේ මොන තරම් අසාධාරණ විදිහටද!