Skip to content

පටුනට යන්න

කතන්දර 101

යේසුස්ව මරණයට පත් කිරීම

යේසුස්ව මරණයට පත් කිරීම

බලන්න මේ මොන අපරාධයක්ද වෙන්නේ කියලා! යේසුස්ව මරනවා. මිනිස්සු ඔහුව කණුවක එල්ලලා ඔහුගේ අත්වලටයි කකුල්වලටයි ඇණ ගහලා. ඇයි මේ වගේ දෙයක් යේසුස්ට කරන්නේ?

ඒ, සමහර අයට යේසුස්ව පෙන්නන්න බැරි නිසයි. ඒ අය කවුද කියලා ඔයා දන්නවාද? ඒගොල්ලන්ගෙන් එක්කෙනෙක් නම් සාතන් නමැති යක්ෂයා කියලා හඳුන්වන නපුරු දේවදූතයයි. එයා තමයි ආදම් සහ ඒවව යෙහෝවාට අකීකරු කෙරෙව්වෙත්. යේසුස්ගේ හතුරන් ලවා මේ අපරාධය කෙරෙව්වෙත් සාතන්මයි.

මේ කණුවේ යේසුස්ව ඇණගහන්න කලිනුත් ඔහුගේ සතුරන් ඔහුට නපුරුකම් කරනවා. මතකද ඒගොල්ලන් ගෙත්සෙමනේ උයනට ඇවිත් ඔහුව අරන් ගිය හැටි? ඒ සතුරෝ කවුද? ඔව්, ඒ ආගමික නායකයෝ. ඉතින් ඊළඟට මොනවාද වෙන්නේ කියලා බලමුද?

ආගමික නායකයන් ඇවිත් යේසුස්ව අරගෙන යනකොට, ඔහුගේ ප්‍රේරිතයෝ භය වෙලා දුවනවා. දැන් යේසුස් මේ සතුරන් එක්ක තනි වෙලා. හැබැයි ප්‍රේරිත පේතෘස් හා යොහන් වැඩි දුරක් දුවන්නේ නැහැ. ඒගොල්ලන් පස්සෙන් යනවා යේසුස්ට මොනවද වෙන්නෙ කියලා බලන්න.

ඒ පූජකවරු දැන් යේසුස්ව ගෙනියනවා වයසක අන්නස් ළඟට. එයා තමයි උත්තම පූජකයා හැටියට කලින් හිටියේ. සෙනඟ වැඩි වෙලාවක් එතන ඉන්නේ නැහැ. ඊළඟට ඒගොල්ලන් කායාඵස් කියන දැන් ඉන්න උත්තම පූජකයාගේ ගෙදරට යේසුස්ව අරගෙන යනවා. මේ වෙනකොට මෙහෙ ආගමික නායකයන් හුඟදෙනෙක් රැස් වෙලා.

දැන් මේ කායාඵස්ගේ ගෙදරදී ඒගොල්ලන් නඩු විභාගයක් පවත්වනවා. යේසුස් ගැන බොරු කියන්න කියලා මිනිස්සුන්ව විශේෂයෙන්ම සූදානම් කරලයි මෙහාට ගෙනල්ලා තියෙන්නේ. ආගමික නායකයන් එකතු වෙලා කියනවා ‘යේසුස්ව මරලා දාන්න ඕනේ’ කියලා. ඊට පස්සේ ඒගොල්ලන් ඔහුගේ මුහුණට කෙළ ගහනවා. ඒ විතරක් නෙමෙයි අත මිට මොළවලා ඔහුට පහර දෙනවත් එක්ක.

මේ දේවල් වෙනකොට පේතෘස් ඉන්නේ මිදුලේ. එදා රෑ සීත නිසා මිනිස්සු ගිනි ගොඩක් ගහලා ඒක වටේ ඉඳගෙන ඉන්නවා. ඒගොල්ලන් මෙහෙම ඉන්නකොට සේවිකාවක් පේතෘස් දිහා හොඳට බලලා මෙහෙම කියනවා: ‘මේ මිනිහත් හිටියේ යේසුස් එක්කයි.’

‘නෑ, නෑ. ඒ මම නෙමෙයි’ කියලා පේතෘස් උත්තර දෙනවා.

තුන් වතාවක්ම මිනිස්සු පේතෘස්ට කියනවා එයා යේසුස් එක්ක හිටිය කෙනෙක්මයි කියලා. හැබැයි මේ තුන් වතාවෙම පේතෘස් කියන්නේ ඒක බොරුවක් කියලයි. පේතෘස් මෙහෙම උත්තර දුන්න තුන්වන වතාවේදී යේසුස් හැරිලා එයා දිහා බලනවා. මෙහෙම බොරු කිව්ව එක ගැන පේතෘස් ගොඩක් කනගාටු වෙනවා. ඉතින් එයා මොනවාද කරන්නේ? එයා එතැනින් පිට වෙලා මේ කරපු දේ ගැන ගොඩක් දුකෙන් අඬනවා.

සිකුරාදා උදේ පාන්දර මේ පූජකවරු යේසුස්ව ඒගොල්ලන්ගේ ලොකු රැස්වීම් ශාලාවට ගෙනියනවා. මේකට කියන්නේ මන්ත්‍රණ සභාව කියලයි. දැන් ඒගොල්ලන් සාකච්ඡා කරනවා යේසුස්ට මොනවාද කරන්න යන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලන් ඔහුව ගෙනියනවා පොන්තියුස් පිලාත් කියලා ඉන්න යුදා දිස්ත්‍රික්කයේ අධිපතියා ළඟට.

‘මෙයා නරක මිනිසෙක්. මෙයාව මරලා දාන්නම ඕනේ’ කියලා පූජකවරු පිලාත්ට කියනවා. යේසුස්ගෙන් මේ ගැන ප්‍රශ්න ඇහුවාට පස්සේ පිලාත් මෙහෙම කියනවා: ‘මට නම් මෙයාගේ කිසි වරදක් පේන්න නැහැ.’ දැන් පිලාත් යේසුස්ව හෙරොද් අන්තිපස් ළඟට යවනවා. හෙරොද් කියන්නේ ගලීලයේ පාලකයාටයි. හැබැයි එයා දැන් ඉන්නේ යෙරුසලමේ. යේසුස් වරදක් කරලා තියෙනවා කියලා හෙරොද්වත් දකින්නේ නැහැ. ඉතින් එයා ආයෙත් ඔහුව පිලාත් ළඟට යවනවා.

පිලාත් කැමති වෙන්නේ යේසුස්ව නිදහස් කරන්නයි. හැබැයි යේසුස්ගේ සතුරන්ට ඕනේ කරන්නේ වෙන හිරකරුවෙකුව නිදහස් කරන්නයි. එයාගේ නම බරබ්බස්. එයා හොරෙක්. පිලාත් යේසුස්ව මිනිස්සුන්ට පේන්න එළියට ගේනකොට දවල් වෙලා. එයා මිනිස්සුන්ට මෙහෙම කියනවා: ‘මෙන්න! ඕගොල්ලන්ගේ රජ!’ ඒ වුණාට නායක පූජකවරු කෑගහලා කියනවා: ‘එයාව නැති කරලා දාන්න! මරන්න! මරන්න!’ ඉතින් පිලාත් බරබ්බස්ව නිදහස් කරලා, මිනිස්සුන්ට යේසුස්ව අරන් ගිහින් මරන්න අවසර දෙනවා.

යේසුස්ව කණුවට ඇණගහන්නේ සිකුරාදා දවල් කාලයේ. අපරාධකාරයන් දෙන්නෙක්ව, එක් කෙනෙක් යේසුස්ගේ දකුණු පැත්තේ හිටින්නත්, අනිත් එක්කෙනා ඔහුගේ වම් පැත්තෙ හිටින්නත් කණුවලට ඇණගහනවා. හැබැයි ඒ දෙන්නාව මේ පින්තූරයේ පේන්නේ නැහැ. යේසුස් මැරෙන්න ටිකකට කලින් මේ එක අපරාධකරුවෙක් යේසුස්ට කියනවා: ‘ඔබ රජකම ලබාගන්නකොට මාවත් මතක් කරන්න’ කියලා. එතකොට යේසුස් මෙහෙම කියනවා: ‘ඔයා මා එක්ක පාරාදීසයේ ඉන්න යනවා කියලා මම ඔයාට පොරොන්දු වෙනවා.’

මේක හරිම පුදුම පොරොන්දුවක් නේද? යේසුස් මේ කතා කරන පාරාදීසය මොකක්ද කියලා ඔයා දන්නවාද? දෙවි මුලදී පාරාදීසයක් මැව්වේ කොහේද? ඔව්, මේ ලෝකයේ, නේද? යේසුස් ස්වර්ගයේ රජ හැටියට පාලනය කරනකොට, මේ ලෝකයේ තියෙන්න යන ඒ අලුත් පාරාදීසයේ සන්තෝෂයෙන් ජීවත් වෙන්න මේ මිනිසාවත් මරණයෙන් නැඟිට්ටවයි. ඒ ගැන අපි සන්තෝෂ වෙන්නේ නැද්ද?