අපේ කාලයේදී එක්සත් නමස්කාරය කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
පළමුවන පරිච්ඡේදය
අපේ කාලයේදී එක්සත් නමස්කාරය කීමෙන් අදහස් කරන්නේ කුමක්ද?
1, 2. (අ) අපේ දවසේදී චමත්කාරජනක ලෙස ජනයා එක්රොක් වන්නේ කුමක් වෙතටද? (ආ) අවංක යහපත් මිනිසුන්ට තිබෙන පුදුමාකාර බලාපොරොත්තුව කුමක්ද?
ලොව පුරා වෙසෙන ජනයා එක්සත් නමස්කාරය කරා එක්රොක් වන ආකාරය චමත්කාරජනකයි! සියලුම ජාති, කුල, ගෝත්‍ර සහ භාෂාවන්ට අයත් දශලක්ෂ ගණන් ජනයාව එක්සත් කරවා තිබෙන්නේ එම නමස්කාරයයි. වසරක් වසරක් පාසා තව බොහෝදෙනෙක් ඔවුන් හා අත් වැල් බැඳගනිති. මොවුන්ව බයිබලයෙහි හඳුන්වා ඇත්තේ යෙහෝවාගේ “සාක්ෂිකාරයෝ” කියායි. “මහත් සමූහය” ලෙස හඳුන්වන්නේද මේ අයවමයි. මොවුහු දෙවිට ‘රෑ දාවල් දෙකෙහිම පරිශුද්ධ සේවය’ [NW] පුද කරති. (යෙසායා 43:10-12; එළිදරව් 7:9-15) ඔවුන් එසේ කරන්නේ, යෙහෝවා එකම සැබෑ දෙවි බව හඳුනාගෙන තිබෙන නිසායි. දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට එකඟව තම තමන්ගේ ජීවිත හැඩගස්වාගැනීමට මෙය ඔවුන්ව පොලඹවා තිබේ. එපමණක්ද නොව, තමන් ජීවත් වන්නේ වත්මන් දුෂ්ට ලෝක ක්‍රමයේ “අන්තිම දවස්වල” බවත්, දෙවි ඉතාම ඉක්මනින් එය විනාශ කර දමා, පාරාදීසමය අලුත් ලෝකයක් ඒ වෙනුවට ඇති කරන බවත් ඔවුහු ඉගෙනගෙන සිටිති.—2 තිමෝති 3:1-5, 13; 2 පේතෘස් 3:10-13.
2 දේවවචනය මෙසේ පොරොන්දු වෙයි. “මද කලකින් දුෂ්ටයා නැති වන්නේය. . . . නුමුත් මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගන්නෝය; ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.” (ගීතාවලිය 37:10, 11) “ධර්මිෂ්ඨයෝ දේශය උරුම කරගන්නෝය. එහි සදාකල් වාසය කරන්නෝය.” (ගීතාවලිය 37:29) “[දෙවි] ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය; මරණය තවත් නොවන්නේය; වැලපීමත් හැඬීමත් වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය.”—එළිදරව් 21:4.
3. නමස්කාරයෙහි සැබෑ එක්සත්කම අත් කරගනු ලබන්නේ කෙසේද?
3 එම නව ලොවේ මුල් වැසියන් වනු ඇත්තේ දැන් සැබෑ නමස්කාරයේ එක්සත්ව සිටින අයයි. ඔවුහු දේවකැමැත්ත ඉගෙනගෙන සිටිති. එමෙන්ම, තම උපරිමයෙන් එය ඉටු කරති. එසේ කිරීමේ ඇති වටිනාකම දක්වමින් යේසුස් මෙසේ පැවසීය. “සදාකාල ජීවනයට මඟ නම්, එකම සැබෑ දෙවි වන ඔබ ගැනත් ඔබ එවූ තැනැත්තා වන යේසුස් ක්‍රිස්තුස් ගැනත් ඔවුන් දිගටම දැනුම ලබාගැනීමය.” (යොහන් 17:3, NW) ඒ ගැන ප්‍රේරිත යොහන්ද මෙසේ ලීවේය. “ලෝකයත් ලෝකයේ තෘෂ්ණාවත් පහව යන්නේය. නුමුත් දෙවිගේ කැමැත්ත කරන්නා සදාකාලේටම පවතින්නේය.”—1 යොහන් 2:17.
ඇත්තටම එයින් අදහස් කරන දෙය
4. (අ) අපේ කාලයේදී එක්සත්ව නමස්කාර කිරීම සඳහා මෙතරම් ජනකායක් එක්රැස් වීමෙන් ඇත්තටම අදහස් වන්නේ කුමක්ද? (ආ) මේ එක්රැස් කිරීම ගැන බයිබලයෙහි විස්තර කර ඇත්තේ කෙසේද?
4 අපේ කාලයේදී එක්සත්ව නමස්කාර කිරීම සඳහා මෙතරම් ජනකායක් එක්රැස් වීමෙන් ඇත්තටම අදහස් වන්නේ කුමක්ද? අප සිටින්නේ මේ දුෂ්ට ලෝකයේ අවසානය හා ඒ සමඟම ඇරඹෙන දෙවිගේ අලුත් ලෝකය අබියස බවට එය පැහැදිලි සාක්ෂියකි. මේ ඓතිහාසික එක්රැස් කිරීම ගැන පුරෝකථනය කළ බයිබල් අනාවැකිවල ඉටුවීම අපි ඇසින් දුටු සාක්ෂිකරුවෝ වෙමු. එවන් එක් අනාවැකියක මෙසේ සඳහන් වෙයි. “මතු දවස්වලදී [මේ අන්තිම දවස්වලදී] යෙහෝවාගේ ගෘහයේ පිහිටි කන්ද [ඔහුගේ උත්කෘෂ්ට සැබෑ නමස්කාරය] කඳුවල මුදුනේ [වෙනත් ඕනෑම ආකාරයක නමස්කාර ක්‍රමයකට වඩා ඉහළින්] පිහිටුවනු ලබන්නේය. . . . ජනයෝ එය කරා ගලාගන එන්නෝය. බොහෝ ජාතීන්ද ගොස් කතා කොට: එන්න, යෙහෝවාගේ කන්දටත් යාකොබ්ගේ දෙවිගේ ගෘහයටත් යමු; ඔහු තමන්ගේ මාර්ග ගැන අපට උගන්වනවා ඇත. අපිද ඔහුගේ මාවත්වල යන්නෙමුයයි කියනවා ඇත. මක්නිසාද ශික්ෂාව සියොන් කෙරෙන්ද යෙහෝවාගේ වචනය යෙරුසලමෙන්ද නිකුත් වන්නේය.”—මීකා 4:1, 2; ගීතාවලිය 37:34.
5, 6. (අ) ජාතීන් යෙහෝවා වෙත හැරෙන බව කීම සැබෑවක් වන්නේ කෙසේද? (ආ) අප අපෙන්ම ඇසිය යුත්තේ කිනම් ප්‍රශ්නද?
5 සියලුම ජාතීන් යෙහෝවාගේ ආත්මික නමස්කාර ගෘහය කරා නොපැමිණියත්, සියලුම ජාතීන්ට අයත් පුද්ගලයන් දශලක්ෂ ගණනක් ඒ වෙත ඇදී එති. යෙහෝවා දෙවිගේ ප්‍රේමනීය අරමුණ ගැනත් ඔහුගේ සිත්ගන්නා පෞද්ගලිකත්වය ගැනත් ඉගෙනගන්නා ඔවුහු, ඊට එකඟව ක්‍රියා කිරීමට හද පත්ලෙන්ම පෙලඹෙති. දෙවි තමන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්දැයි ඔවුන් සොයා බලන්නේ මහත් බැගෑපත්කමිනි. ඔවුන්ගේ යාච්ඤාවද ගීතිකාකරුගේ අයැදුම මෙනි. “ඔබගේ කැමැත්ත කරන්ට මට ඉගැන්වුව මැනව; මක්නිසාද ඔබ මාගේ දෙවිය.”—ගීතාවලිය 143:10.
6 යෙහෝවා ඔහුගේ නමස්කාරය උදෙසා එක්සත් කරන්නාවූ මහත් සමූහය අතරේ ඔබත් සිටින ආකාරය ඔබට දැනේද? දේවවචනයේ උල්පත යෙහෝවා බවට ඔබ සැබවින්ම අගය කරනවාද? ඔබ ඉන් ලබා ඇති ඉගැන්වීම්වලට දක්වන ප්‍රතිචාරයෙන් ඒ බව දිස් වෙනවාද? ඔබ ‘ඔහුගේ මාවත්වල ගමන් කරන්නේ’ කොතරම් දුරකටද?
එය අත් කරගන්නා ආකාරය
7. (අ) අවසානයේදී නමස්කාරයේ එක්සත්කම අත් කරගනු ඇත්තේ කොතරම් දුරකටද? (ආ) දැන් යෙහෝවාට නමස්කාර කරන කෙනෙකු බවට පත්වීම ඒ තරම්ම හදිසි කාරණයක් වන්නේ මන්ද? එසේ කිරීම සඳහා අන් අයට උදව් කිරීමට අපට හැක්කේ කෙසේද?
7 යෙහෝවාගේ අරමුණ වන්නේ සෑම බුද්ධිමත් මැවිල්ලක්ම සැබෑ නමස්කාරය තුළ එක්සත්ව සිටීමය. ජීවත්ව සිටින සැවොම එකම සැබෑ දෙවිට නමස්කාර කරන ඒ දවස පැමිණෙන තුරු අප බලා සිටින්නේ කොතරම් ආශාවෙන්ද! (ගීතාවලිය 103:19-22) එහෙත්, එම කාලය පැමිණීමට පෙර යෙහෝවා තමන්ගේ ධර්මිෂ්ඨ කැමැත්ත ප්‍රතික්ෂේප කරන අයව මුලිනුපුටා දැමිය යුතුය. සෑම තැනම වෙසෙන මිනිසුන්ට තම ජීවිත මාර්ග වෙනස් කරගැනීමට අවස්ථාව ලැබෙන පරිද්දෙන්, ඉතාම දයානුකම්පිත ආකාරයෙන් තමන් කරන්ට සැලසුම් කර ඇති දේ කල් ඇතුව යෙහෝවා ඔවුන්ට දන්වයි. (යෙසායා 55: 6, 7) මේ නිසා, තවදුරටත් අපගේ කාලයේදී “සියලු ජාතීන්ටත් ගෝත්‍රයන්ටත් භාෂාවන්ටත් සෙනඟටත්” ප්‍රකාශ කරන ඉතාම හදිසි ආයාචනය වන්නේ “දෙවිට භය වී, ඔහුට ගෞරව දෙන්න; මක්නිසාද ඔහුගේ විනිශ්චයේ පැය පැමුණුණේය. අහසත් පොළොවත් මුහුදත් ජල උල්පතුත් මැවූ තැනැත්තාට නමස්කාර කරන්න” යන්නයි. (එළිදරව් 14:6, 7) ඔබ එම ආරාධනාව පිළිගෙන තිබෙනවාද? එසේ නම්, සැබෑ දෙවිව හඳුනාගෙන ඔහුට නමස්කාර කිරීමට තව බොහෝදෙනෙකුට ආරාධනා කිරීම ඔබේ වරප්‍රසාදයයි!
8. බයිබල් ඉගැන්වීම් ගැන මූලික දැනුමක් ලැබූ පසු, අප දැඩි පරිශ්‍රමයක් දැරිය යුත්තේ කිනම් ප්‍රගතියක් කරා ළඟාවීමටද?
8 යෙහෝවාට සේවය කරනවායැයි කියමින් තමන්ට රිසි සේ ජීවිත ගත කරන අයගේ නමස්කාරය ලැබීම යෙහෝවාගේ අරමුණ නොවේ. දෙවි කැමති වන්නේ මිනිසුන් ඔහුගේ “කැමැත්ත පිළිබඳ නිවැරදි දැනුමක්” [NW] ලබාගෙන ඊට අනුකූලව ඔවුන්ගේ ජීවිතය ගත කරනවා දැකීමටයි. (කොලොස්සි 1:9, 10, 12ආ) බයිබලයේ මූලික ඉගැන්වීම් කෙරෙහි හෘදයාංගම අගයක් ඇති අය ක්‍රිස්තියානි මේරූභාවය කරා එළඹීමට වෙර දරති. ඔවුන්ගේ ආශාව වන්නේ යෙහෝවාව වඩාත් කිට්ටුවෙන් දැනහඳුනා ගැනීමයි. එපමණක්ද නොව, ඔහුගේ වචනය වඩා පුළුල්වත් ගැඹුරටත් තේරුම්ගැනීමට හා ඔවුන්ගේ ජීවිතවලට එය වඩාත් පූර්ණ ලෙස අදාළ කරගැනීමට ඔවුන්ට වුවමනාය. අපගේ ස්වර්ගීය පියා සතු ගුණාංග විදහාපෑමට උත්සාහ කරන ඔවුහු, ඔහු කාරණා දිහා බලන ආකාරයෙන්ම බැලීමට වෑයම් කරති. එමෙන්ම, මේ කාලයේදී පොළොව මුළුල්ලේ කිරීමට සංවිධානය කර ඇති ජීවිත ගළවන වැඩෙහි හවුල් විය හැකි විවිධ මාර්ගද ඔවුහු ප්‍රයෝජනයට ගනිති. ඔබේ ආශාවත් එයමද?—මාර්ක් 13:10; හෙබ්‍රෙව් 5:12–6:3.
9. දැන් පවා සැබෑ එක්සත්කම පවත්වාගත හැක්කේ කෙසේද?
9 යෙහෝවාට සේවය කරන්නන් එක්සත් සෙනඟක් විය යුතු බව බයිබලය අපට කියයි. (එපීස 4:1-3) අප ජීවත් වන්නේ බෙදුණු ලෝකයක වුවත්, අපේම අසම්පූර්ණකම් සමඟ පොර බදින්න අපට සිදු වුණත්, අද පවා එම එක්සත්කම පවතී. තම ගෝලයන් සියලුදෙනාම එකඟත්වයෙන් සිට සැබෑ එක්සත්කම භුක්ති විඳින පිණිස යේසුස් යාච්ඤා කළේය. මෙයින් අදහස් කරනු ලබන්නේ කුමක්ද? මුලින්ම, ඔවුන් යෙහෝවා සහ ඔහුගේ පුත්‍රයා සමඟ හොඳ සබඳතාවක් පවත්වාගත යුතු බවය. දෙවනුව, ඔවුන් එකිනෙකා සමඟ එක්සත්ව සිටිය යුතුය යන්නය. (යොහන් 17:20, 21) එසේ කිරීම සඳහා, යෙහෝවා තම සෙනඟට ඉගැන්වීමේ මාධ්‍යයක් හැටියට යොදාගන්නා සංවිධානය ක්‍රිස්තියානි සභාවයි.
එක්සත්කම සඳහා දායක වන සාධක මොනවාද?
10. (අ) අපේ ජීවිතයට බලපාන ප්‍රශ්නවලට උත්තර තර්කානුකූලව විමසා බැලීමේදී බයිබලය පෞද්ගලිකව පාවිච්චි කිරීමෙන් අපට වර්ධනය කරගත හැකි ගුණාංග කවරේද? (ආ) මෙම ඡේදයේ සඳහන් කර ඇති ප්‍රශ්නවලට උත්තර දීම මගින් ක්‍රිස්තියානි එක්සත්කමට දායක වන සාධක විශ්ලේෂණය කරන්න.
10 නමස්කාරයේ එක්සත්කම සඳහා දායක වන මූලික සාධක හතක් පහත දැක්වේ. එහි ඇති ප්‍රශ්නවලට උත්තර දෙන විට, ඒ එක් එක් කරුණ යෙහෝවා සමඟ මෙන්ම සෙසු ක්‍රිස්තියානීන් සමඟ ඔබට ඇති සම්බන්ධයට බලපාන ආකාරය සැලකිල්ලට ගන්න. මේ කරුණු තර්කානුකූලව විමර්ශනය කිරීමේදී උපුටා දක්වා නැති මුත් සඳහන් කර ඇති බයිබල් පද කියවා බලන්න. එසේ කිරීමෙන් අප සියල්ලන්ටම අවශ්‍ය වන දිව්‍ය ප්‍රඥාව, සිතීමේ හැකියාව සහ විචාර බුද්ධිය වර්ධනය කරගැනීමට හැකි වේ. (හිතෝපදේශ 5:1, 2; පිලිප්පි 1:9-11) දැන් මේ සාධක එකිනෙක සලකා බලන්න.
(1) යහපත සහ අයහපත තෝරාගැනීම සඳහා ප්‍රමිති නියම කිරීමට යෙහෝවාට ඇති අයිතිය අපි පිළිගනිමු. “නුඹේම නුවණෙහි නොපිහිටා, නුඹේ මුළු සිතින් යෙහෝවා කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී ඔහුව සලකන්න. එවිට ඔහු නුඹේ මාවත් සමතලා කරනවා ඇත.”—හිතෝපදේශ 3:5, 6.
තීරණ ගැනීමේදී අප යෙහෝවාගේ උපදෙස් සහ මඟ පෙන්වීම සෙවිය යුත්තේ මන්ද? (ගීතාවලිය 146:3-5; යෙසායා 48:17)
(2) අපට මඟ පෙන්වීමට දෙවිගේ වචනය තිබේ. “නුඹලා පණිවිඩයේ වචනය, එනම් දෙවිගේ වචනය අපෙන් ලැබූ කල, නුඹලා පිළිගත්තේ මනුෂ්‍යයන්ගේ වචනය නොව ඇත්තෙන්ම දෙවිගේ 1 තෙසලෝනික 2:13.
වචනයව තිබෙන්නාවූ, අදහන නුඹලා තුළ ක්‍රියාද කරන්නාවූ [වචනයය.]”—අපට හරියැයි “සිතෙන” දේ කිරීමෙහි තිබෙන අන්තරාය කුමක්ද? (හිතෝපදේශ 14:12; යෙරෙමියා 10:23, 24; 17:9)
යම් කාරණයක් සම්බන්ධයෙන් බයිබලය දී ඇති උපදෙස කුමක්දැයි අප නොදන්නේ නම් කළ යුත්තේ කුමක්ද? (හිතෝපදේශ 2:3-5; 2 තිමෝති 3:16)
(3) අප සියලුදෙනාම ප්‍රයෝජන ලබන්නේ එකම ආත්මික පෝෂණ වැඩසටහනකිනි. “නුඹේ සියලුම දරුවෝද යෙහෝවා විසින් උගන්වනු ලබන්නෝ වෙති.” (යෙසායා 54:13) “ප්‍රේමයටද යහපත් ක්‍රියාවලටද පොලඹවන පිණිස එකිනෙකා ගැන සිතේ තබාගනිමු. සමහරුන්ගේ පුරුද්ද ලෙස අපේම රැස්වීම අත් නෑර, [විනාශයේ] ඒ දවස ළං වන බව නුඹලාට පෙනෙන ප්‍රකාරයට වඩ වඩා එකිනෙකාට අවවාද කරමු.”—හෙබ්‍රෙව් 10:24, 25.
යෙහෝවාගේ ආත්මික පෝෂණ වැඩසටහනින් පූර්ණ ප්‍රයෝජන ගන්නා අයට ලැබෙන ප්‍රයෝජන මොනවාද? (යෙසායා 65:13, 14)
(4) අපේ නායකයා මිනිසෙකු නොව යේසුස් ක්‍රිස්තුස්ය. “නුඹලා රබ්බියි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ ආචාරීන් එක්කෙනෙක්මය. නුඹලා සියල්ලෝම සහෝදරයෝය. පොළොවෙහි කාටවත් පියාණෝයයි නොකියන්න. මක්නිසාද නුඹලාගේ පියාණෝ එක්කෙනෙක්මය, එනම් ස්වර්ගයෙහි සිටින [තැනැත්තාමය]. නුඹලා නායකයෝයයි කියවා නොගන්න. මක්නිසාද නුඹලාගේ නායකයාණෝ එක්කෙනෙක්මය, එනම් ක්‍රිස්තුස්ය.”—මතෙව් 23:8-10.
අප අනිත් අයට වඩා උතුම්යැයි අපෙන් කිසිවෙකු සිතිය යුතුද? (රෝම 3:23, 24; 12:3)
(5) මනුෂ්‍යවර්ගයා සඳහා ඇති එකම බලාපොරොත්තුව හැටියට අප බලා සිටින්නේ දෙවිගේ රාජ්‍ය ආණ්ඩුව කෙරෙහිය. “එහෙයින් නුඹලා මෙසේ යාච්ඤා කරන්න:—ස්වර්ගයෙහි සිටින අපගේ පියාණෙනි, ඔබගේ නාමයට ගෞරව වේවා. ඔබගේ මතෙව් 6:9, 10, 33.
රාජ්‍යය ඒවා. ඔබගේ කැමැත්ත ස්වර්ගයෙහි මෙන් පොළොවෙහිද කරනු ලැබේවා. . . . පළමුකොට ඔහුගේ රාජ්‍යයද ඔහුගේ ධර්මිෂ්ඨකමද සොයන්න; මේ සියල්ලත් නුඹලාට දෙනු ලබන්නේය.”—අපේ එක්සත්කම රැකගැනීමේදී ‘පළමුකොට රාජ්‍යය සෙවීම’ රුකුලක් වන්නේ කෙසේද? (මීකා 4:3; 1 යොහන් 3:10-12)
(6) ක්‍රිස්තියානි එක්සත්කමට දායක වන ගුණාංග යෙහෝවාගේ නමස්කාරකයන් තුළ නිපදවෙන්නේ ශුද්ධාත්මය මගිනි. “ආත්මයේ ඵල නම්—ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, [බොහෝ, NW] ඉවසිලිවන්තකම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසකම [ඇදහිල්ල, NW], මෘදුකම, පමණ දැන ක්‍රියා කිරීම [ආත්ම දමනය, NW] යන මේවාය.”—ගලාති 5:22, 23.
දෙවිගේ ආත්මය මගින් අප තුළ එහි ඵල නිපදවීමට නම් අප කුමක් කළ යුතුද? (ක්‍රියා 5:32)
අපට දෙවිගේ ආත්මය තිබීම සෙසු ක්‍රිස්තියානීන් සමඟ තිබෙන අපේ සබඳතාවට බලපාන්නේ කෙසේද? (යොහන් 13:35; 1 යොහන් 4:8, 20, 21)
(7) දෙවිගේ සියලුම සැබෑ නමස්කාරකයෝ ඔහුගේ රාජ්‍යය පිළිබඳ ශුභාරංචිය දේශනා කිරීමේ හවුල් වෙති. “රාජ්‍යයේ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් පිණිස මුළු ජනාවාස පොළොව පුරාම දේශනා කරනු ලබන්නේය. එවිට අවසානය පැමිණෙන්නේය.”—මතෙව් 24:14, NW.
දේශනා කිරීමේ කර්තව්‍යයේ පූර්ණ ලෙස සහභාගි වීම සඳහා කුමක් අපව පෙලඹවිය යුතුද? (මතෙව් 22:37-39; රෝම 10:10)
11. බයිබල් සත්‍යය අපගේ ජීවිතයට අදාළ කරගන්නා විට අපට අද්දැකිය හැක්කේ කුමක්ද?
11 යෙහෝවාට එක්සත්ව නමස්කාර කිරීමෙන් අප ඔහු වෙත ඇදී යනවා නිසැකය. එපමණක්ද නොව, සෙසු නමස්කාරකයන් සමඟ තිබෙන අපේ ආශ්‍රය පවා ප්‍රබෝධවත් කරගැනීමට එමගින් හැකි වේ. මේ ගැන ගීතාවලිය 133:1 මෙසේ කියයි. “බලව, සහෝදරයන් එකඟව වාසය කිරීම කොපමණ යහපත්ද, කොපමණ ප්‍රසන්නද!” ආත්මාර්ථයෙන්, දුරාචාරයෙන් හා සැහැසියාවෙන් පිරි ලෝකයකින් වෙන්ව සිටීමට හැකි වී තිබීම මොනතරම් සහනයක්ද! යෙහෝවාට සැබෑවටම ආදරය කරන, ඔහුගේ අණ පනත් රකින අයව ඇසුරු කිරීමට හැකිව තිබීම ඊටත් වඩා කොපමණ ප්‍රබෝධජනක දෙයක්ද!
භේදකාරි බලපෑම්වලින් වැළකෙන්න
12. අප තුළ ස්වාධීන ස්වභාවයක් වර්ධනය වීමට ඉඩ නොදිය යුත්තේ මන්ද?
12 අප සතු අගනා ලෝක ව්‍යාප්ත එක්සත්කම කා දමන භේදකාරි බලපෑම්වලට අප එරෙහිව සිටිය යුතුය. මෙයින් එක් බලපෑමක් වන්නේ දෙවිගෙන් සහ ඔහුගේ නීතිවලින් ස්වාධීනව කටයුතු කිරීමට ඇති නැඹුරුවාවයි. මෙහිදී යෙහෝවා අපට උදව් කරන්නේ එම නැඹුරුවාව පිටුපස සිටින උසිගන්වන්නා වන සාතන් නමැති යක්ෂයාගේ වෙස් මුහුණු ගළවා දැමීමෙනි. (2 කොරින්ති 4:4; එළිදරව් 12:9) දෙවි කී දෙය නොසලකා හැරීමට ආදම් සහ ඒවව පෙලඹවූයේ සාතන්ය. දෙවිගේ කැමැත්තට විරුද්ධව තීරණ ගැනීමට බලපෑම් කළේත් ඒ සාතන්මය. එහි ආදීනවවලින් පලා යෑමට ඔවුන්ට නොහැකි වූවා සේම අපටත් නොහැකිය. (උත්පත්ති 3:1-6, 17-19) මේ ලෝකය දෙවිගේ සහ ඔහුගේ නීතිවලින් වෙන් වී ස්වාධීනව කටයුතු කිරීමේ ස්වභාවය තුළ ගිලී ඇත. එමනිසා අප එම නැඹුරුවාව මර්දනය කරගත යුතුයි.
13. දෙවිගේ ධර්මිෂ්ඨ නව ලෝකයේ ජීවත් වීමට අප අවංකවම සූදානමින් සිටිනවාදැයි පෙන්වන්නේ කුමනාකාරයෙන්ද?
13 උදාහරණයක් හැටියට, දැන් පවතින දුෂ්ට ලෝකය වෙනුවට “ධර්මිෂ්ඨකම වාසය කරන” අලුත් අහසක් සහ අලුත් පොළොවක් දෙන බවට වූ යෙහෝවාගේ චමත්කාරජනක පොරොන්දුව ගැන මොහොතක් සිතා බලන්න. (2 පේතෘස් 3:13) ධර්මිෂ්ඨකම රජයන එම කාලයෙහි ජීවත් වීම සඳහා දැන් සිටම සූදානම් වීමට එය අපව පොලඹවන්නේ නැද්ද? මෙයින් අදහස් කරන්නේ බයිබලයේ සඳහන් මෙම ඍජු උපදෙස පිළිගැනීමයි. “ලෝකයටවත් ලෝකයෙහි තිබෙන දේවලටවත් ප්‍රේම නොකරන්න. යමෙක් ලෝකයට ප්‍රේම කෙරේ නම්, පියාණන් කෙරෙහි ප්‍රේමය ඔහු තුළ නැත.” (1 යොහන් 2:15) එබැවින්, මේ ලෝකයේ පැතිර පවතින ස්වභාවය අප හෙළා දැකිය යුතුය. ලෝකය ආත්මාර්ථය, දුරාචාරය හා සැහැසියාව පිළිබඳව දරන ස්වාධීන ආකල්ප අප මුළුමනින්ම පිටුදැකිය යුතුය. යෙහෝවාට හදවතෙන්ම කීකරු වීමත් ඕනෑම අසම්පූර්ණ මාංසික නැඹුරුවාවකට එරෙහි වී, යෙහෝවාට ඇහුම්කන් දීමත් අපේ ජීවිතයේ පුරුද්දක් කරගත යුතුය. දිවිහිමියෙන්ම අප දෙවිගේ කැමැත්ත කිරීමට සෑදී පැහැදී සිටින බව අපේ සිතුවිලි සහ චේතනා මගින් දිස් විය යුතුය.—ගීතාවලිය 40:8.
14. (අ) යෙහෝවාගේ මාර්ග ගැන ඉගෙනගැනීමටත් ඒවා අපේ ජීවිතයට අදාළ කරගැනීමටත් අප දැන්ම ප්‍රස්තාව අල්ලාගැනීම වැදගත් වන්නේ මන්ද? (ආ) ඡේදයේ සඳහන් බයිබල් පදවල අදහස අපට පෞද්ගලිකව බලපාන්නේ කෙසේද?
14 මේ දුෂ්ට ක්‍රමයටත් එහි පැවැත්මටත් කැමති අයව විනාශ කර දැමීම සඳහා යෙහෝවාගේ නියමිත කාලය පැමිණි විට, ඔහු තවත් සුනංගු වන්නේ නැත. ඒ නියමිත දවස යෙහෝවා කල් දමන්නේද නැත. එපමණක්ද නොව, තම කැමැත්ත ඉගෙනගැනීමත් ඒ අනුව ක්‍රියා කිරීමත් සම්බන්ධයෙන් අඩ හෘදයකින් කටයුතු කරන, මේ ලෝකයේ දේවල තවමත් එල්ලී සිටින අය වෙනුවෙන් ඔහු තම ප්‍රමිති වෙනස් කරන්නේද නැත. ඒ නිසා, දේව කැමැත්ත කිරීමට කාලය දැන්ය! (ලූක් 13:23, 24; 17:32; 21:34-36) මහත් සමූහය එම අනගි ප්‍රස්තාව අල්ලාගෙන, යෙහෝවාගේ වචනය සහ සංවිධානය මගින් සපයන උපදෙස් මහත් ඕනෑකමින් සොයමින් ඔහුගේ මාවත් ඔස්සේ අලුත් ලෝකය කරා එක්සත්ව ගමන් කරමින් සිටිනවා දැකීම මොනතරම් හද උණුසුම් කරවන්නක්ද! අප යෙහෝවා ගැන ඉගෙනගන්ට ඉගෙනගන්ට ඔහු කෙරෙහි ඇති අපේ ප්‍රේමය වැඩි වන අතර, දිගටම ඔහුට සේවය කරන්ටද අප පෙලඹෙනු ඇත.
පුනරීක්ෂණ සාකච්ඡාව
• නමස්කාරය පිළිබඳ යෙහෝවාගේ අරමුණ කුමක්ද?
• බයිබලයේ ඇති මූලික ඉගැන්වීම් පිළිබඳව අධ්‍යයනයක් කිරීමෙන් අනතුරුව, අප අවංකවම උත්සාහ කළ යුත්තේ කිනම් ප්‍රගතියක් කරා ළඟාවීමටද?
• යෙහෝවාගේ සෙසු නමස්කාරයන් සමඟ එක්සත්ව සිටීම සඳහා අපට පෞද්ගලිකව කුමක් කළ හැකිද?
[පාඩම් ලිපියේ ප්‍රශ්න]
[4වන පිටුවේ පින්තූරය]
‘මොළොක් ගුණ ඇත්තෝ දේශය උරුම කරගෙන මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය’