මාක් 13:1-37

  • පවතින සමාජයේ අවසාන කාලය (1-37)

    • යුද්ධ, භූමිකම්පා, ආහාර හිඟකම් (8)

    • ශුභාරංචිය දේශනා කරන්න ඕනේ (10)

    • මහත් පීඩාව (19)

    • මනුෂ්‍ය පුත්‍රයා එන විදිහ (26)

    • අත්තික්කා ගහ ගැන උදාහරණය (28-31)

    • දිගටම සෝදිසියෙන් ඉන්න (32-37)

13  ඔහු දේවමාලිගාවෙන් පිට වෙලා යද්දී ඔහුගේ එක ගෝලයෙක් මෙහෙම කිව්වා. “ගුරුතුමනි, බලන්න! මේ ගොඩනැඟිලි, මේ ගල් කොච්චර ලස්සනද!”+ 2  ඒත් යේසුස් එයාට මෙහෙම කිව්වා. “මේ ලොකු ගොඩනැඟිලි ඔයාට පේනවා නේද? ගලක් උඩ තව ගලක් ඉතුරු වෙන්නේ නැති වෙන්න මේ හැම ගලක්ම බිමට ඇදලා දානවා.”+ 3  ඔහු ඔලීව කන්දට ගිහින් දේවමාලිගාව පේන තැනක ඉඳගෙන ඉද්දී පේතෘස්, යාකොබ්, යොහන් සහ අන්දෘ ඔහු ළඟට ඇවිත් මෙහෙම ඇහුවා. 4  “ඒ දේවල් වෙන්නේ කවදාද කියලා අපිට කියන්න. මේ හැම දෙයක්ම අවසන් වෙන්න ළඟයි කියලා දැනගන්න තියෙන ලකුණ මොකක්ද?”+ 5  ඉතින් යේසුස් එයාලට මෙහෙම කිව්වා. “කාටවත් ඔයාලව රවට්ටන්න ඉඩ දෙන්න එපා.+ 6  හුඟදෙනෙක් ඇවිත් මගේ නම පාවිච්චි කරලා ‘මම ක්‍රිස්තුස්’ කියලා කියයි. ඒකට ගොඩක් අය රැවටෙයි. 7  ඒ වගේම ළඟපාත වෙන යුද්ධ ගැනත් දුර ඈත වෙන යුද්ධ ගැනත් ඔයාලට ආරංචි වෙයි. ඒත් කලබල වෙන්න එපා. ඒ දේවල් සිද්ධ වෙන්න ඕනේ. ඒත් අවසානය තාම ඇවිත් නැහැ.+ 8  “මොකද ජාතියක් ජාතියකට විරුද්ධවත් රාජ්‍යයක් රාජ්‍යයකට විරුද්ධවත්+ සටන් කරයි. එක තැනක භූමිකම්පාවක් වෙලා ඉවර වෙද්දීම තවත් තැනක භූමිකම්පාවක් වෙයි. කෑමත් හිඟ වෙයි.+ ඒ හැම දේකින්ම පේනවා හරිම අමාරු කාලයක්* පටන් අරන් කියලා.+ 9  “ඔයාලත් විමසිල්ලෙන් ඉන්න. මිනිස්සු ඔයාලව උසාවිවලට භාර දෙයි.+ සිනගෝගවලදී ඔයාලට ගහයි.+ ඔයාලා මගේ ගෝලයන් නිසා ඔයාලව ආණ්ඩුකාරයන් සහ රජවරු ඉස්සරහට අරන් යයි. ඒ අය ඉස්සරහා සාක්ෂි දරන්න ඒකෙන් ඔයාලට අවස්ථාව ලැබෙයි.+ 10  අවසානය එන්න කලින්* සියලු ජාතීන්ට ශුභාරංචිය දේශනා කරන්න ඕනේ.+ 11  මිනිස්සු ඔයාලව බලධාරීන්ගේ අතට භාර දෙන්න අරන් යද්දී කියන්නේ මොනවාද කියලා හිතලා කරදර වෙන්න එපා. ඔයාලා කියන්න ඕනෙ මොනවාද කියලා ඒ වෙලාවේදී ඔයාලට දැනගන්න ලැබෙයි. මොකද ඇත්තටම කතා කරන්නේ ඔයාලා නෙමෙයි. ඔයාලා කතා කරන්නේ දෙවියන්ගේ බලයේ උදව්වෙන්.+ 12  සහෝදරයෙක් එයාගෙම සහෝදරයාව මරන්න අල්ලලා දෙයි. තාත්තා කෙනෙක් එයාගෙම දරුවාට ඒ දේම කරයි. දරුවෝ එයාලාගේ දෙමාපියන්ට විරුද්ධ වෙලා දෙමාපියන්ව මරලා දාන්න භාර දෙයි.+ 13  ඔයාලා මගේ අනුගාමිකයන් නිසා* හැමෝම ඔයාලට වෛර කරයි.+ ඒත් අවසානය වෙන කල්ම විඳදරාගෙන විශ්වාසවන්තව ඉන්න කෙනා+ ගැලවෙනවා.+ 14  “ඒත් විනාශයක් කරන පිළිකුල් දේ+ ඒක තියෙන්න සුදුසු නැති තැනක තියෙනවා ඔයාලා දැක්කාම (කියවන කෙනා කියලා තියෙන දේ හොඳට තේරුම්ගන්න), යුදයේ ඉන්න අය කඳුවලට පලා යන්න ඕනේ.+ 15  ගෙදර වහලේ* උඩ ඉන්න කෙනා පල්ලෙහට ඇවිල්ලා කිසිම දෙයක් ගන්න ගේ ඇතුළට යන්න එපා. 16  වත්තේ වැඩ කරකර ඉන්න කෙනා පිට වස්ත්‍රය ගන්න ආපහු ගෙදර යන්න එපා. 17  ඒ දවස් ගැබිනි මව්වරුන්ටත් කිරි දෙන මව්වරුන්ටත් කොච්චර අමාරු වෙයිද!+ 18  ඔයාලට පලා යන්න සිද්ධ වෙන කාලය සීත කාලේදී එන්න එපා කියලා දිගටම යාච්ඤා කරන්න. 19  මොකද ඒ දවස්වලදී ගොඩක් පීඩා ඇති වෙයි.+ ඒ පීඩා දෙවියන් මිනිස්සුන්ව නිර්මාණය කරපු කාලේ ඉඳන් මේ වෙන කල් කවදාවත් ඇවිල්ලා නැති, ආයේ කවදාවත් එන්නේ නැති විදිහේ පීඩාවන් වෙයි.+ 20  ඇත්තටම යෙහෝවා* ඒ දවස් කෙටි කළේ නැත්නම් කිසිම කෙනෙක් බේරෙන්නේ නැහැ. ඒත් ඔහු තෝරගත්ත අය වෙනුවෙන් ඔහු ඒ දවස් කෙටි කරනවා.*+ 21  “ඒ වගේම කෙනෙක් ඔයාලට කිව්වොත් ‘බලන්න! ක්‍රිස්තුස් මෙතන ඉන්නවා’ නැත්නම් ‘අර බලන්න! ඔහු අතන ඉන්නවා’ කියලා ඒක විශ්වාස කරන්න එපා.+ 22  මොකද ක්‍රිස්තුස් කියලා බොරුවට කියාගන්න අයයි, බොරු අනාගතවක්තෘවරුනුයි+ ඇවිත් පුදුම දේවල් කරයි. ලකුණුත් පෙන්නයි. එයාලා හදන්නේ තෝරගත්ත අයවත් නොමඟ යවන්නයි. 23  ඉතින් ඔයාලා පරෙස්සම් වෙන්න.+ මං හැම දෙයක් ගැනම ඔයාලට කලින්ම කියලයි තියෙන්නේ. 24  “ඒත් ඒ දවස්වලදී ඒ පීඩාවෙන් පස්සේ ඉර අඳුරු වෙයි. හඳෙන් කිසිම එළියක් ලැබෙන්නේ නැහැ.+ 25  තරු අහසෙන් කඩාගෙන වැටෙයි. අහසේ තියෙන බලවත් දේවල් දෙදරුම් කයි. 26  එතකොට මනුෂ්‍ය පුත්‍රයා+ මහත් බලයක් සහ තේජසක් ඇතුව වලාකුළුවල එන විදිහ මිනිස්සු දකියි.+ 27  එතකොට ඔහු දේවදූතයන්ව යවලා පොළොවේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කලුත් අහසේ එක කෙළවරක ඉඳන් අනිත් කෙළවර වෙන කලුත් පොළොවේ හතර කොනෙන්ම ඔහුට අයිති, තෝරගත්ත අයව එකට රැස් කරනවා.+ 28  “දැන් අත්තික්කා ගහේ උදාහරණෙන් මේ දේ ඉගෙනගන්න. ඒකේ ළපටි අතු ඇවිත් දලු ලියලද්දී ගිම්හාන කාලේ ළඟයි කියලා ඔයාලා දන්නවා.+ 29  ඒ වගේම ඔයාලා මේ දේවල් වෙනවා දකිද්දී ඔහු දොරකඩ ළඟටම ඇවිල්ලා කියලා ඔයාලට ස්ථිර වෙන්න පුළුවන්.+ 30  ඇත්තටම මම ඔයාලට කියන්නේ මේ හැම දෙයක්ම වෙන කල් මේ පරම්පරාව කොහොමටවත් නැති වෙලා යන්නේ නැහැ.+ 31  අහසයි, පොළොවයි නැති වෙලා යයි.+ ඒත් මගේ වචන කවදාවත් නැති වෙලා යන්නේ නැහැ.+ 32  “ඒ දවස හරි, පැය හරි එන්නේ කවදාද කියලා කවුරුත් දන්නේ නැහැ. ස්වර්ගයේ ඉන්න දේවදූතයන්වත් පුතාවත් ඒක දන්නේ නැහැ. ඒක දන්නේ පියාණන් විතරයි.+ 33  දිගටම සෝදිසියෙන් ඉන්න.+ අවදියෙන් ඉන්න. මොකද නියම කරපු කාලය එන්නේ කවදාද කියලා ඔයාලා දන්නේ නැහැ.+ 34  පිටරට යන මනුස්සයෙක් ගැන හිතන්න. එයා තමන්ගේ නිවස බලාගන්න දාසයන්ට භාර දීලා+ එක එක දාසයාට කරන්න වැඩ දෙනවා. දොරටු පාලකයාට සෝදිසියෙන් ඉන්න කියන අණ දීලා එයා පිටත් වෙලා යනවා.+ 35  ඉතින් සෝදිසියෙන් ඉන්න. මොකද නිවස අයිති ස්වාමියා එන්නේ කොයි වෙලාවෙද කියලා ඔයාලා දන්නේ නැහැ.+ එයා හවස එයිද රෑ 12ට එයිද එළිය වැටෙන්න කලින්* එයිද නැත්නම් උදේ පාන්දර එයිද කියලා ඔයාලා දන්නේ නැහැ.+ 36  ඔයාලා සෝදිසියෙන් හිටියේ නැත්නම් ඔහු හදිස්සියේම ආවාම ඔයාලා නිදාගෙන ඉන්නවා ඔහු දකියි.+ 37  මං ඔයාලට කියන දේ හැමෝටම කියනවා. සෝදිසියෙන් ඉන්න.”+

පාදසටහන්

^ මූ.අ., “ප්‍රසව වේදනා.”
^ මූ.අ., “ඉස්සෙල්ලාම.”
^ හෝ, “මගේ නම දරන නිසා.”
^ හෝ, “පැතලි වහලේ.” ඒ කාලේ ගොඩක් ගෙවල්වල පැතලි වහලක් තිබුණා. සමහර අය නිදාගන්න, අමුත්තන් එක්ක එකට කෑම වේලක් ගන්න ඒක පාවිච්චි කළා.
^ උප. A5 බලන්න.
^ මූ.අ., “කෙටි කරලා තියෙනවා.”
^ මූ.අ., “කුකුළා හඬලන වෙලාවේ.”